බෙහෙත් සඳහා වෙළඳ නම වෙනුවට ඖෂධ නම යොදන්න නව නීති


(2009 ඔක්තෝබර්  06- W3Lanka) වෛද්‍යවරුන් රෝගීන්ට ඖෂධ නිර්දේශ කිරීමේදී දැන් බොහෝ විට කරන පරිදි වෙළඳ නාම භාවිතා කිරීම අත්හිටුවා ඖෂධ නාමය ම භාවිතා කිරීම අනිවාර්ය කරන ඖෂධ ප්‍රතිපත්තියක් සඳහා සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා තිබේ.


ඖෂධ නාමයෙන් බෙහෙත් නියම කිරීම අනිවාර්ය කිරීමට සිල්වා ඇමතිවරයා සුදානම් වීමෙන් පෙනෙන්නේ ඔහු යටතේ සේවය කරන ලංකාවේ බහුතරයක් වෛද්‍යවරුන් පිළිබඳ ඔහුට කිසිදු විශ්වාසයක් නොමැති බවයි. එහෙත් මෙවැනි කාරණා හුදු නීති මගින් ම විසඳන්නට යාම ප්‍රායෝගික නැත. මහජන මුදලින් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලැබූ වෛද්‍යවරුන්ට ඖෂධ සමාගම්වලට මහජනයා සූරා කෑමට ඉඩ නො දීමේ වගකීමක් ඇත.


වෛද්‍යවරුන් පවසන්නේ ඖෂධවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පිළිබඳ ඇති ප්‍රශ්න හේතුවෙන් තමන් ඇතැම් විට වෙළඳ නාමය භාවිතා කරන බවයි.‍ වෛද්‍යවරයාගේ මූලික කාර්යය ලෙඩා සුවපත් කිරීමයි. එහිදී ඒ සඳහා හොඳම ක්‍රමය තෝරාගැනීම සඳහා වෛද්‍යවරයාට ඇති නිදහස අහෝසි කිරීමේ හැකියාවක් පාර්ලිමේන්තුවේ සිටින මහදැනමුත්තන්ට තිබේ ද යන්න ප්‍රශ්නයකි.



ඖෂධ සමාගම් වෛද්‍යවරුන්ට විදේශ චාරිකාවල සිට බෙහෙත් තුණ්ඩු ලියන කඩදාසිය දක්වා විවිධ සන්තෝසම් ලබා දෙයි. ඖෂධ නාමය පාවිච්චි කිරීමට වෛද්‍යවරුන් දක්වන නො කැමැත්ත පිටුපස එම කාරණය ද තිබේ.


රෝගීන් ගසා කෑම ඍජුව ම කරන්නේ පෞද්ගලික ඔසුසල් ය. හිතූ හිතූ මිළ ගණන් අනුව බෙහෙත් විකිණීමේ හැකියාව ඔවුන්ට ලැබෙන්නේ රජයේ රෝහල්වල බෙහෙත් හිඟ නිසා ය.


ඇමති නිමල් සිරිපාලට මේ ප්‍රශ්නය සැබැවින් ම විසඳීමට අවශ්‍ය නම් කළ හැකිව තිබෙන දෙයක් වන්නේ රජයේ රෝහල්වල ඖෂධ හිඟය නැති කිරීමයි.


රජයේ රෝහල්වල සහන මිළට ඖෂධ විකුණන රජයේ ඔසුසල් ඇරඹීම වුවත් කරන්නට පුළුවන.

Comments

  1. බෙහෙත් සඳහා වෙළඳ නම වෙනුවට වෙළඳ නම යොදන්න නව නීති යන මාතෘකාව බෙහෙත් සඳහා වෙළඳ නම වෙනුවට ඖෂධ නාම යොදන්න නව නීති යනුවෙන් නිවැරදි විය යුතුයි නේද?


    ප්‍රමාද වී හෝ ගත් නිවැරදි තීරණයක්.

    ReplyDelete
  2. අත්වැරැද්දකි. සමාවෙන්න

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප