දුම්රිය අභ්‍යන්තර මෙහෙයුම් තොරතුරු තාක්ෂණයෙන්


(2009 ඔක්තෝබර්  14 - W3Lanka) දුම්රිය මෙහෙයුම් දුෂ්කරතා ක්ෂණිකව හා ස්වයංක්‍රියව අදාල පාර්ශව වෙත සන්නිවේදනය කළ හැකි වන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වේ.

විශේෂයෙන් දුම්රිය ප්‍රමාදයන් හා හදිසි ආපදා අවස්ථා වලදී ක්ෂණිකව ක්‍රියාත්මක වීම සදහා මෙම තොරතුරු තාක්ෂණ විසදුම භාවිතා කෙරෙන බව දුම්රිය මෙහෙයුම් සාමාන්‍යධිකාරී ජී.ආර්.පී.චන්ද්‍ර තිලක මහතා පවසයි.


දුම්රිය දෙපාර්තමේන්තුවට මෙම නව තාක්ෂණික ක්‍රම වේදය හදුන්වා දීමට පියවර ගෙන ඇත්තේ ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) මගිනි. පරිගණක බිහිදොරක් හා SMS හෙවත් ජංගම දුරකතන කෙටි පණිවිඩ ජාලයක් ඊට සම්බන්ධ ‍කර ඇතැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ව්‍යාපෘති කළමනාකරු රංග ද සිල්වා පවසයි.

මෙමගින් ක්‍රමවත්ව දුම්රිය මෙහෙයුම් තොරතුරු සන්නිවේදනයට ඉඩ සැලසෙන නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට මෙන්ම දුම්රිය මගීන්ට ද වාසි රැසක් අත්වෙන බවද ඔහු ප්‍රකාශ කලේය.
මෙම නව තොරතුරු තාක්ෂණ  ක්‍රමවේදය ක්‍රියාවට නංවන ලද මුල් සති කිහිපයේදීම දුම්රිය මගනා ගමනයන්හි කැපී පෙනෙන වෙනසක් සිදුවී ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.  

 දැනට දිනකට මෙරට දුම්රිය සේවාවන් භාවිතා කරන මගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවයි.ධාවනය කෙරෙන දුම්රිය ගණන 310 කි.

Comments