ලංකාවේ බෝට්ටු මිනිස්සු දෙමළ අනාථයන්ගේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කරයි


(2009 ඔක්තෝබර්  27 - W3Lanka) ලාංකික දෙමළ ජාතිකයන් සිය ගණනින් බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට හා කැනඩාවට පළා යමින් සිටියදී බලධාරීන්ට හමු වීමත් සමග ලංකාවේ රජය දෙමළ ජනයාට සලකන ආකාරය පිළිබඳ ලෝක අවධානය යොමු වෙමින් පවතී. 


ඕස්ට්‍රේලියාව විසින් එරටට ගොඩබැසීමට ඉඩ නොදී හරවා එවන ලද 78දෙනෙකුගෙන් යුත් බහුතරය දෙමළ වන පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර පසුව එය නතර කළ අතර ඔවුන්ව ඉන්දුනීසියාවේ රැඳවුම් කඳවුරක් වෙත ගෙන යාමට නියමිත ය.ඕස්ට්‍රේලියාව මේ මාසයේදී 250ක ලාංකික දෙමළ ජාතිකයන් සහිත තවත් නැවක් මෙසේ ම ඉන්දුනීසියාවට හරවා එවන ලදී. තමන් ලංකාවට ආපසු එවනු ඇතැයි බියෙන් මෙම ඇතැම් සරණාගතයෝ බෝට්ටුවෙන් මුහුදට පැන්න බව ද ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පවසන පරිදි මෙකී පුද්ගලයෝ ලංකාවේ අනාථයන් රඳවා සිටින කඳවුරුවලින් පළා ආ අය වෙති.


මෙම සිද්ධිය හා සම්බන්ධව ප්‍රකාශයක් කරන ඕස්ට්‍රේලියාවේ ග්‍රීන් පක්ෂයේ නායක, සෙනෙට් සභික බොබ් බ්‍රවුන් දෙමළ ජනයාට නිසි ලෙස සැලකීම සඳහා බල කිරීම පිණිස ලංකාවට එරෙහිව සම්බාධක පණවන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ්ගේ රජය මෙම පළා එන්නන් සරණාගතයන් ලෙස නො සලකන අතර ඔවුන් නීති විරෝධී සංක්‍රමණිකයන් බව පවසයි. ඕස්ට්‍රේලියාව මීට කලින් මෙවැනි සරණාගතයන් ක්‍රිස්මස් දූපතේ සය මසක් රඳවා ඔවුන්ගේ රැකවරණ ඉල්ලීම සලකා බලන ප්‍රතිපත්තියක සිටිමුත්, මේ වසරේ ලංකාවෙන් හා ඇෆ්ගනිස්තානයෙන් විශාල සරණාගත පිරිසක් පැමිණීම නිසා මෙම ප්‍රතිපත්තිය වෙනස් කර තිබේ. 


මේ අතර, කැනඩාවේ වැන්කුවර් මුහුදේදී එරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ තවත් නැවක සිටි 76දෙනෙකු මේ වන විට කැනේඩියානු පොලිසිය භාරයේ සිටිති. ඒ අතර සිටි එක් පුද්ගලයෙකු ලංකාවට අධිබල සන්නිවේදන උපකරණ නීති විරෝධී අන්දමින් ආනයනය කිරීමේ චෝදනාව මත අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති අයෙකු බව රජය කියයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා