ලංකාවෙන් මිනිසුන් පළා යන්නේ ඇයි?


(2009 ඔක්තෝබර්  20 - W3Lanka) ඉන්දුනීසියා මුහුදේදී අනවසර සංක්‍රමණ හේතුවෙන් අත්අඩගුවට පත් වී සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉන්දුනීසියානු හා ශ්‍රී ලාකික නීති යටතේ කටයුතු කරන බව විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම පවසයි.

අනවසර සංක්‍රමණිකයන් ලෙස විවිධ රටවලට ගොස් අත්අඩංගුවට පත්වීමෙන් ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හානි සිදු කිරීමට ඉඩ දිය නොහැකි බව ඔහු සඳහන් කරයි. බහුතරයක් දෙමළ ජාතිකයන් යයි අනුමාන කෙරෙන මෙම සරණාගතයෝ තමන් ආපසු ලංකාවට නො එවන ලෙස හා ඕස්ට්‍රේලියාවට නොවේ නම් වෙන රටකට හෝ තමන් යවන ලෙස ඉල්ලා සිටිති. 

මේ අතර තවත් 76ක ශ්‍රී ලාංකික යයි අනුමාන කෙරෙන පිරිසක් පසුගිය ඉරිදා කැනඩා මුහුදු සීමාවේදී එරට නාවික හමුදා අත්අඩංගුවට පත් වූහ. 


මෙසේ පළා යන අය අතර දෙමළ ජනයා වැඩි වීමට හේතු වන්නේ ඔවුන් මේ රට තුළදී මුහුණ දෙන අනතුරුදායක තත්වය මෙන් ම විදේශවලට සංක්‍රමණය වීමේ වැඩි නැඹුරුවක් දෙමළ මධ්‍යම පංතික සමාජය තුළ පැවතීම නිසා ය. බොහෝ දෙමළ මධ්‍යම පංතිකයන්ගේ ඥාතීන් දියුණු රටවල පදිංචි වී සිටින අතර, ඔවුන් එසේ යන්නේ සරණාගතයන් ලෙසයි.


විදේශයන්ට පළා යන දෙමළ ජාතිකයන් පමණක් නොව සිංහලයන් පවා කියන්නේ තමන්ට මේ රටේ ආණ්ඩුවෙන්, පොලිසියෙන් කරදර ඇති බවයි. එහෙත්, එසේ පළා යන සිංහලයෝ විදෙස් රටවලදී මාර දේශප්‍රේමියෝ බවට පත් වෙති. ඔවුන් නිතර ම කියන්නේ ඔවුන්ගේ හදවත ඇත්තේ ලංකාවේ කියායි. සංක්‍රමණිකයන් බොහෝ දෙනෙක් එසේ කරන්නේ මේ රටට වඩා යහපත් ජිවන තත්වයක් දියුණු රටවල ඇති බැවින් ය. ඉන්දුනීසියාව අසලදී අත්අඩංගුවට පත් වූ බෝට්ටුවේ සිටින මිනිසුන් දෙස බලන විට හා ඔවුන්ගේ දරුවන් කතා කරන ඉංග්‍රීසි අසන විට පැහැදිලි වන කරණයක් වන්නේ ඔවුන් මේ රටේ දිළිඳු ම හා පීඩිත ම සමාජයන්ට අයත් අය නො වන බවයි.



විදේශ ඇමතිවරයා රටේ කීර්ති නාමයට හානි කිරීම පිළිබඳ අදහස් දැක්වුව ද, මේ රටේ සිටින ජාතිය ගොඩනැඟීමේ ඇමති කට්ටලයෙන් එක් අයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ව්‍යාජ නමක් සහිත විශේෂ අමුත්තන් සඳහා වූ ගමන් බලපත්‍රයකින් බ්‍රිතාන්‍යයට ගොස් එහිදී අත්අඩංගුවට පත් වී සිර දඬුවම් විඳි අයෙකි.


2008 වසරේදී පිට රටවල වැඩ කරන ලංකාවේ මිනිස්සු ඩොලර් මිලියන 2527ක හෙවත් රු. කෝටි 26,000ක ආදායමක් මෙරටට ගෙන ආහ. එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8%කි. මෙය රටේ ප්‍රධාන ම ආදායම් මාර්ගයකි. මෙම මුදල් ලකාවට එවන මිනිසුන් අතර නිති විරෝධී ක්‍රමවලින් විදේශයන්ට සක්‍රමණය වු විශාල ප්‍රතිශතයක් වෙති. 


බල්ලන් මරලා හම්බ කළත් සල්ලි නම් බුරන්නේ නැත.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා