වැලි කියුබ් එක රු.6000යි; ඒත් ඉල්මනයිට් ටොන් එකක් රට යවන්නේ රු.4000ට. රටේ සම්පත්වලට වෙන දේ!


(2009 ඔක්තෝබර්  23 - W3Lanka) ඛනිජ සම්පත් අයිති වන රජයේ ආයතනය ඉල්මනයිට් ටොන් එකක් අපනයනය කරන්නෙ ඩොලර් 40කට පමණ හෙවත් රු.4000ක් වැනි මුදලකට බව ද, එහෙත් රට තුළ වැලි කියුබ් එකක් පවා රු. 6000කට අධික මිළකට අලෙවි වන බව ද කුරුණෑගල දිස්ත්‍රික් ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.


වෙල්ඩින් කූර පවා නිෂ්පාදනය කිරීමට යොදා ගනු ලබන අතිශය වැදගත් ඛනිජ සම්පතක් වන ඉල්මනයිට් පිටරට යවා ලංකාව වෙල්ඩින් කූරු චීනයෙන් ආනයනය කරන බව මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී වන සංරක්ෂණ (සංශෝධන) පනත සහ පතල් සහ ඛනිජ සම්පත් (සංශෝධන) පනත පිළිබඳ විවාදයේදී පෙන්වා දුන්නේය.


නීති අනුව අගය එකතු කිරීමකින් තොරව අපනයනය කළ නො හැකි ඇපටයිට් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කරන බව ද බිමල් රත්නායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එහෙත් පරිසර හා ස්වභාවික සම්පත් ඇමති චම්පික රණවක මෙම චෝදනාව සිය පිළිතුරු කතාවේදී ප්‍රතික්ෂේප කළේය.


2006 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම වූ රුපියල් මිලියන 490 පසුගිය වසර වන විට මිලියන 1100 පමණ දක්වා ඉහළ නැංවීමට හැකි වී ඇති බව ද දෙපාර්තමේන්තුවට වැය කරන මුදල මෙන් හැට ගුණයක ප්‍රතිලාභ රටට ලබා දෙන බව ද ඇමතිවරයා පැවසීය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා