Posts

Showing posts from 2025

ඔන්න බුදුනෙ මල් – මෙන්න මං ගියා ප්‍රතිපත්තිය හා මාලිමාණ්ඩුව

Image
  අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ ජනාධිපති අනුර කුමාර දිසානායක අද දින අයවැය ප්‍රකාශයට පත්කරනු ඇත. මෙය අයවැය යෝජනා කියවීමට පැය කීපයකට පෙර කරන පූර්ව අයවැය දේශපාලන තත්ව විශ්ලේෂණයකි. ජාතික ජන බලවේග ආණ්ඩුවට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් නැත. එය එක්කෝ මේ මොහොතට ගැලපෙන ධනේශ්වර ප්‍රතිපත්ති හරියට අනුගමනය කළ යුතුය. නැතිනම්, ඔවුන් පෙනී සිටින බව පෙනෙන සුබසාධනවාදය මත පදනම් වූ, රාජ්‍ය මූලික, ජාතික සමාජවාදී ආර්ථිකයක් පිළිබඳ ප්‍රායෝගික වැඩසටහනක් ඉදිරිපත් කළ යුතුය. ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් රාජ්‍ය වියදම් අඩු කර, දැඩි සකසුරුවම්කමකට යොමු වන බව පෙනේ. ආදායම් වැඩි කරගැනීමට යෝජිත වාහන ආනයනය වැනි ක්‍රියාමාර්ග විදේශ වත්කම් අහිමි වීමට හෝ දේශීය බදු ආදායම් අපේක්ෂිත ප්‍රමාණයට නොලැබීමට හෝ හේතු විය හැකිය. කෙතරම් සකසුරුවමින් වුවද, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ඉඩ තිබේ. පසුගිය මාස තුනේ ද අංශු මාත්‍රයකින් හෝ කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට අසමත් වූ බරවා කකුලක් වැනි රාජ්‍ය අංශයේ බර තවත් ජනතාව මත පැටවෙන්නට ඉඩ තිබේ. රාජ්‍ය වියදම් කප්පාදු කිරීම මගින් මුදල් සංසරණයට හා ආර්ථික ක්‍රියාකාරකම්වලට බලපෑමක් සිදු වේ. රජයේ ප්‍ර...

අදානි ගියා; අලුතෙන් කර්මාන්ත කලාප එනවා

Image
  අජිත් පැරකුම් ජයසිංහ අදානි වගේ ලංකාවට එන්නට හිටපු ආයෝජකයන් ආපහු යනකොට දැන් මාලිමාකාරයන් තවත් අලි බොරුවක් කියනවා අලුතෙන් ආයෝජන කලාප තුනක් පිහිටුවනවාය කියලා. ආයෝජන කලාප තුනක් කිව්වාම ආයෝජකයන් හාරපන්සීයකට ඉඩක්. එහෙම එකක් ආවට ගියාට හදන්නට බැහැ. ඉඩම් සංවර්ධනය, විදුලිය, ජලය, මාර්ග ආදිය වගේම වරාය හා ගුවන් තොටුපළ සංවර්ධනයත් අවශ්‍යයි. ඔය යෝජනාව ක්‍රියාත්මක කරන්නට අලුතෙන් ජලය ඝන මීටර 60,000කවත් කර්මාන්ත ජලය ඕනැ. ලංකාවෙ දැනටත් අති විශාල කර්මාන්ත ජල හිඟයක් තිබෙනවා. ඒ වගේම මෙගවොට් 3000ක විතර විදුලිය අලුතින් අවශ්‍යයි. බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජකයන් පන්නගන්නෙ එවැනි පසුබිමක් තුළ. ඉඩම්, මාර්ග, විදුලි සංදේශ ආදී යටිතල පහසුකම් සංවර්ධනය කරන්නටත් ඕනැ. ඔය ටිකට විතරක් ඩොලර් බිලියන පහක්වත් ඕනැ. ආයෝජකයන් ගෙන්වා ගන්නට පුළුවන් ඊට පස්සෙ. තව වරාය, ගුවන් තොටුපළ සංවර්ධනය ආදියත් අත්‍යවශ්‍යයි. ඒවටත් ඩොලර් බිලියන ගණනක් අවශ්‍යයි. නිකං කියල දානව වගේ ඒ සල්ලි හොයන එක ලේසි නැහැ. ලංකාව අපනයනය මූලික කරගත් කර්මාන්ත සංවර්ධනයක් ඉලක්ක කළ යුතු බව රනිල් වික්‍රමසිංහ පවා කිව්වා. ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය වන ආර්ථික විවෘතභාවය දෙස ඔහු යොම...

ඉදිරි අයවැය කොයි තරම් කොමියුනිස්ට් වනු ඇද්ද?

Image
අජිත් පැරකුම් ජයසිංහ මාලිමා ආණ්ඩුව බලයට පැමිණියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් මධ්‍යයේය. එම ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසර කිරීම සඳහා කාලය අවශ්‍යව තිබිණි. එහෙත්, ජවිපෙට කඩිනමින් මැතිවරණ අවශ්‍ය විය. මැතිවරණයෙන් රනිල් පැරදවීම සඳහා ජවිපෙ සිට සජිත්, නාමල් දක්වා බලවේගය පෙළගැසුණහ. ඒ පිටුපසින් කුමන රටවල් සිටියාද යන්න පැහැදිලි නැත. ලංකාවේ පසුගිය අවුරුදු පහක පමණ අතීතය තුළ ජුලී චං නම් ඇමරිකානු තානාපතිවරිය නම් ඉතා පැහැදිලිවම වියානා සම්මුතිය උල්ලංඝනය වන ආකාරයේ දේශපාලන මැදිහත්වීමක් කළාය. අවසාන ප්‍රතිඵලය ජවිපෙ බලයට පත්වීමයි. බලයට පත් වූ සැණින් ජවිපෙට තම කොමියුනිස්ට් ප්‍රතිපත්ති ඉදිරියට ගැනීමට බැරි විය. එහෙත්, දැන් දැන් ඒ සඳහා අවස්ථාව උදා වෙමින් තිබේ. තව දින කීපයකින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය සමග ජවිපෙ සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය දැක ගැනීමට හැකි වනු ඇත. පැවති සංක්‍රාන්ති මාස කීපය තුළ ජවිපෙ ආණ්ඩුව පෙන්නුම් කළේ ප්‍රතිපත්තියක් නොමැතිකමය. මෙම ප්‍රතිපත්තියක් නොමැතිකම තුළ රටේ යළි භාණ්ඩ හිඟයන් නිර්මාණය විය. සහල් මිල පාලනය සඳහා ...

මතුගම ජානකී සිනමා ඇරලද? නැතිනම් වහලද? ඇරල වගේ වහලද? වහල වගේ ඇරලද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ අද මේ හෝල් එකෙන් පවුලේ අය රානි බලන්න සැලසුම් කරගෙන හිටියා. දහයට විතර හෝල් එකටත් ගිහින් බැලුවා. ඇරලාවත් නැහැ. මේ නම්බර් එකක්වත් ආන්සර් කරන්නෙත් නැහැ. රානි බලන්න වෙන විදියක් හොයාගන්නට ඕනැ. ගම්වල මිනිසුන් සිනමාවෙන් ඈත් කරන්නට හේතු වුණ ප්‍රධාන කාරණයක් තමයි, චිත්‍රපටි හෝල්වල ගැටලුව. මෙච්චර ලොකු චිත්‍රපටි හෝල් දැන් ගම්වලට වැඩකුත් නැහැ. මතුගම ගාමිනී හෝල් එක නම් අමරසිංහ පවුලෙ කට්ටිය ෆෙඩරල් කරගෙන එතන දැන් ජගත් හදපු බිල්ඩිං එකේ තමයි පියරත්න ටෙක්ස් තියෙන්නෙ. ජානකී හෝල් එක තියෙන්නෙ පොළ ළඟ නිසා ඒක හොඳයි, සුපර් මාකට් එකකට. එහෙම වෙනස්කම් කරන ගමන් මිනි සිනමා එකක් දාන්න පුළුවන්. ගම්බදව මධ්‍යම පංතියක් හිටියට ඔවුන් ඒ තරම් සංස්කෘතිකගත වෙලා නැහැ. වෙන්න විදියකුත් නැහැනෙ. ගම් පැතිවල එන්ටර්ටේන්මන්ට් බිස්නස් එකේ ඉන්නෙ බාලම කොලිටි වෙළෙන්දො. සිනමා කර්මාන්තය කියන්නෙ ඉතිහාසයක් මුළුල්ලෙම උපයපු ආකාරය පෙන්නන්නට බැරි ආදායම් හෙවත් කළු සල්ලි සුදු කරන ලොන්ඩරියක්නෙ. ඒ ගැන මෙතන කතා කරන්නට යන්නෙ නැහැ. මතුගම ජානකී සිනමා ඇරලද? නැතිනම් වහලද? ඇරල වගේ වහලද? වහල වගේ ඇරලද? ඔන්න ඔහොම තමයි සිනමා කර්මාන්තයේ...

බුද්ධි අංශය ලවා ගමේ වර්චස් කරවීම

Image
  අජිත් පැරකුම් ජයසිංහ නිදහස් දවසෙ ගමේ ගෙදර ගියා. හිතවතෙකු ඇවිත් කතා කළා. “අජිත් අයියෙ, බුද්ධි අංශෙන් ආවනෙ?” “කොහෙටද? මෙහෙටද?” මං ඇහුවා. අපේ ගෙදර වහලනෙ තියෙන්නෙ. “මගදි හම්බ වුණෙ. (අහවල්) ඇන්ටි එක්ක කතා කර කර ඉන්නකොට මං එතනින් ගියා. ඇන්ටි කිව්වා මෙන්න මෙයා හොඳට දන්නවා, එයාගෙන් අහන්න කියලා.” “ඉතින් මොනවද ඇහුවෙ?” “ඩයස්පෝරා වගේ වචනයක් කියල එහෙම කේස් එකක් කිව්වා. මට මතක නැහැ. විමර්ශනයක් කරනවලු. මගෙන් අජිත් අයිය ගැන විස්තර ඇහුව. මං ඉතින් …..” ආදී වශයෙන් කිව්වා. බඩු හරි දැන්. මුළු ගමේම පත්තු වෙලා මං ගැන බුද්ධි අංශ විමර්ශනය කරනවාය කියලා. දැන් ඉතින් ඩැමේජ් කොන්ට්‍රෝල් කරගන්න උත්සාහ කරන්න එපායැ. ගම්වල හැටි දන්නවනෙ. ඒකනෙ ඒවට ගම් කියන්නෙ. ඒ හින්දා මං මෙහෙම කිව්වා: “ඔය මං දැන් එන්ජීඕ එකක වැඩ කරනවනෙ…….” එහෙම කියන්න පටන් ගත්තා විතරයි මල්ලි පැන්නා. “අන්න හරි අයියෙ. එන්ජීඕ කේස් එකක් කියල තමයි කිව්වෙ. මට අමතක වෙලා තිබුණෙ.” ඔන්න ඕකයි ප්‍රශ්නෙ. මෙන්න මේකයි බුද්ධි අංශවල තත්වෙ. මීට කලිනුත් මං දන්න කෙනෙකු කිව්වා, මං ගැන විමර්ශනයක් කෙරෙනවාය, පොත් කේස් එකක් ගැනය කියලා. දැන් එන්ජීඕ කේස් එකක් ගැන. “ආයෙ ඇහුවො...

මායාදුන්නේට කළ අපහාසය හා රාජ්‍ය සේවයේ අනාගතය

Image
  සුනිල් කන්නන්ගර, හිටපු ජ්‍යේෂ්ට පරිපාලන නිලධාරි ප්‍රියන්ත මායාදුන්නේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට කළේ යැයි කියන ප්‍රකාශය මගින් ඔහුට තවත් බලවත් අගතියක් සිදු කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ 2011ජ්‍යාත්‍යන්තර සමුපකාර දිනය සැමරුම් උත්සවය පැවැත්වීමේදී සමුපකාර අරමුදලින් රුපියලි මිලියන 183ක් වැය කිරීම පිලිබඳ චෝදනාවක් මත ඔහුව අත්අඩංගුවට ගත් බවයි. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව මායාදුන්නේ මහතාව අධිකරණයට ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත් උසාවියට පෙන්වාදී ඇත්තේ ඉහත උත්සවයේ ප්‍රවාහන පහසුකම් සැපයීමේදී රුපියල් ලක්ෂයක මුදලක් අවභාවිතාවීමක් ගැන මායාදුන්නේ මහතා වගකිවයුතු බවය. ඒ අනුව රුපියල් ලක්ෂ දෙකක ඇප බැඳුම් කරයක් මත මායාදුන්නේ මහතා නිදහස් කිරීමට මහේස්ත්‍රත්තුමා නියෝග කර ඇත. දැනට සැකපිට අත්අඩංගුවට ගෙන එසේ නිදහස් කෙරුනු මායාදුන්නේ මහතාට එරෙහිව චෝදනා ගොනුකර නඩු පවරන්නේද නැතිද යන්න ඉදිරියේදී දැන ගත හැකිවනු ඇත. කෙසේවුවත් පොලිස් මාධය ප්‍රකාශකවරයා මේ සිද්ධිය ගැන මාධ්‍යට කළ ප්‍රකාශය නම් අනිවාර්‍යෙන්ම හෙලා දැකිය...

කන්ටේනර් 323

Image
  පරීක්ෂා නොකර වරායෙන් පිට කළ කන්ටේනර් 323 අතරෙ එක්ස්පෝ ලංකා එකේ කන්ටේනර් නැතිය කියන එක කියන්න රේගුව නිවේදන නිකුත් කරන්න ඕනැ නැහැනෙ. එහෙනම් ඉතින් එතන කන්ටේනර් නැති වෙන සමාගම්වල නමුත් නිවේදනයෙ තියෙන්න ඕනැනෙ. එක්ස්පෝ ලංකා කියන්නෙ පෞද්ගලික සමාගමක්නෙ ඒක වෙනුවෙන් රජය කතාකරන්නට හේතුව මොකක්ද? අනෙක, ඔය චෝදනාව කළේ අපි නෙමෙයි. රේගු වෘත්තීය සමිති සන්ධානය. ඔවුන් මේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් තිබෙන පිරිසක්. ඔවුන් නගපු චෝදනාව තමයි මේ 323න් 80%ක් රතු ලේබල් කර තිබුණු ඒවා බව. ඒ අනුව, එවැනි වර්ගීකරණයක් කර ඇති කන්ටේනර් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය අනුගමනය කර ඇති බවක් මේ නිවේදනයෙ නැහැ. මේ නිවේදනයෙම තියෙනවා ඒ 323 භෞතිකව පරීක්ෂා කළ යුතුව තිබුණු කන්ටේනර්ය කියලා. එහෙම භෞතිකව පරීක්ෂා කළ යුතුයි කියලා තීරණය කළා නම් ඉන් පසු එහෙම පරීක්ෂා නොකළ යුතුයි කියලා තීරණය කළේ කොහොමද? ඒ තීරණය ගන්නට දේශපාලකයන් මැදිහත් වුණේ ඇයි? මෙතනදි සිදුවුණ දේ ගැන ඇතිවුණ සැකය නැති කරන්නට මේ නිවේදනය ප්‍රමාණවත් නැහැ. මේ කන්ටේනර් කාගෙද? ඇයි ඒ 323 එහෙම පරීක්ෂා නොකර නිදහස් කළේ? මොනවද ඒවයෙ තිබුණෙ? කවුරුද ඒවා ගෙන්නුවෙ? පැහැදිලි කරලා නිව...

ශ්‍රී සඟරාව ගැන මතක

Image
  අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී සඟරාවෙ පිටු හතරක පහක එක දවසෙන් ඉවර වෙන චිත්‍ර කතාවක් තිබුණා. ඒ සමහර කතාත් මට තාම මතකයි. හඳපානේ ඔරු පදින්න ගිහින් ගඟේ ගිලිලා මැරුණ අක්ක නගෝ දෙන්නෙක් ගැන හොල්මන් කතාවක් තිබුණා. තව කතාවක පෙම්වතිය අන්ධ වීම නිසා ගෙදරින් ‘පොට්ටියක් බඳින්න ඕනැ පොට්ටයෙක්‘ කිව්ව නිසා කොල්ලෙක් කතුරකින් ඇස්වලට ඇනගෙන ‘පොට්ටියක් බඳින්න ඕනැ පොට්ටයෙක්‘ කියලා කෑගහනවා. මං පොඩි කාලෙ මේ පොට්ටයා කියන්නෙ කාටද කියල දැනගෙන හිටියෙ නැහැ. ඇයි ඉතින් මේ පොට්ටනියක් බඳින්න ඕනැ කියල කෑගහන්නෙ කියල තමයි මං කල්පනා කළේ. ඉස්කෝලෙ යන්න පටන් ගන්නත් කලින් තමයි මං ශ්‍රී සඟරාව කියෙව්වෙ. අකුරු ඉගෙන ගත්තෙත් ඒකෙන්මද කොහෙද? මොකද, අක්කා අකුරු ගැටගහගෙන ඒවා කියනවා බලාගෙන ඉඳලා මාත් කියවන්න පටන් අරගෙන. ගෙදර තිබුණ අම්මගෙ ශ්‍රී සඟරා මිටියෙ ‘අහන්න ආසයි අපටත් කියන්න‘ කොටසෙ විහිළු කතා හයියෙන් කියවලා හිනා වුණාට ඇතැම් ඒවා තේරුණේ පස්සෙ කාලෙක. උදාහරණයක් විදියට එක කතාවක තිබුණා, ඒ කාලෙ දෙමළ රාජ්‍ය සේවකයන්ට භාෂා ප්‍රවීණතාව ලබාගන්නට දෙමළ අය සිංහල විභාග ලියද්දි, එක  මහත්තයෙක් ගොනා තණ කයි කියන වාක්‍යය බහුවචනයට හැරෙව්වෙ ගොනා තන දෙ...

කන්ටේනර් කතාව කෙටියෙන් මෙහෙමයි

Image
අජිත් පැරකුම් ජයසිංහ ඔන්න එකමත් එක රටක දැවැන්ත සමාගමක් තියෙනවා. ඒ සමාගම තමයි ඒ රටේ ආනයන අපනයන වෙළඳාමේ විශාලම පංගුකාරයා. මිස්ඉන්වොයිසිං හෙවත් හොර බිල් දැමීම හරහා ඒ රටට ලැබිය යුතු විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිට කළා කියලා චෝදනා එල්ල වෙනකොට ඒක ඒ රටේ ලොකුම ආනයන අපනයන මෙහෙයුම්කරුවාට ඍජුවම අදාළ වෙනවා. මේ අතරෙ මිස්ඉන්වොයිසිං චෝදනාව නගපු අය අතරින් වැඩිම සද්දෙ තියෙන පක්ෂෙට අවුරුදු ගණනක කැම්පේන් එකක් සඳහා වැක්කෙරෙන්න සල්ලි ලැබෙනවා. උන් ඒ සල්ලිවලින් ආණ්ඩු පෙරළනවා. බලයට පත් වුණාට පස්සෙ අර කොම්පැනියෙ හිටපු ලොක්කාට ඒ ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ අතිශය වැදගත් නියෝජිතකමක් ලැබෙනවා. ටික දිනකින් ඒ රටේ ප්‍රධාන වරායේ එතෙක් නොතිබුණු අමුතු තදබදයක් ඇතිවෙනවා. නැව් හරවන් යනවාය කියාත් වාර්තා වෙනවා. කන්ටේනර් නිෂ්කාශනය පමා වෙනවා. ලොරි පෝලිම් ගැහෙනවා. ඩ්‍රයිවර්ලා බනිනවා. ඇමතිලා නිරීක්ෂණ චාරිකා යනවා. උනුත් කාටද බනිනවා. මේ අතර, දේශපාලන නායකත්වයේ නියෝග මත රේගුවෙන් නිිශ්කාෂණය කළ යුතු රතු ලේබල් කන්ටේනර් 300කට වැඩි ප්‍රමාණයක් නිසි පරීක්ෂා කිරීමකින් තොරව පිටවෙනවා. ඒ බහාලුම්වල ආපු දේවල් මොනවද? රත්තරංද? මත්ද්‍රව්‍යද? පුපු...

දූෂණ විරෝධී දේශපාලන සංදර්ශන ද දූෂණයකි

Image
  අජිත් පැරකුම් ජයසිංහ තම ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා දූෂිත දේශපාලකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කරන විමර්ශන දේශපාලන පළිගැනීම් බවට පත් කිරීම ඔවුන්ට සදාචාරාත්මකව ගැලවීමට අවස්ථාව ලබාදීමකි. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ලබාගැනීමට නොහැකි වී තිබෙන්නේ ද විමර්ශන දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඖෂධ වංචා නඩුවේදී කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිස් සම්බන්ධයෙන් විමර්ශන හා නීතිමය ක්‍රියාමාර්ගවලදී දේශපාලන ඇඟිලිගැසීම් තිබුණේ නැත. මේවායින් පාඩම් ඉගෙනගත යුතුය. ඇරියස්කාරයන්ට දේශපාලනික තනතුරු දී ඔවුන් ලවා අවිධිමත් ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට, පොලිසියේ අපරාධ විමර්ශන ක්‍රමවේදය හා නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු පැවරීමේ පටිපාටියවිධිමත් කිරීමට කටයුතු කළ යුතුය. ආණ්ඩුව රාජ්‍ය සේවයේ හා අධිකරණයේ ස්වාධීනත්වයට අත තැබීම ද දූෂිතයන්ට වාසිදායක තත්වයකි. මෙය ද තේරුම් ගත යුතුය. අතීතයේ කරන ලද සියලු වැරදි සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම දුෂ්කරය. තේරෙන උදාහරණයකින් කියනවා නම්, 1989 වකවානුවේ ජවිපෙ විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් දැන් නඩු පැවරීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි. කළ හැකි දෙය වන්නේ මින් ඉදිරියට එසේ සිදු නොවන පරි...

සම්බෝල තහනම වෙනුවට ව්‍යවසායකත්වය

Image
  අජිත් පැරකුම් ජයසිංහ ලංකාවට පොල් ඇවිත් තිබෙන්නේ මීට අවුරුදු දහසකට වැඩි කාලයකට පෙර බව ගිය අවුරුද්දේ පොල් සංවර්ධන මණ්ඩලයේ මේස කැලැන්ඩරය කොහේදී හෝ දැක කියවූ බවට මතකයක් තිබේ. එදා සිට අද දක්වා කාලය තුළ ක්‍රමානුකූලව පොල් අපේ සංස්කෘතියේ මූලිකාංගයක් වී තිබේ. කිරි හොද්ද හා පොල් සම්බෝලය අපේ ආහාර සංස්කෘතියේ මූලිකාංග දෙකක. ඒවා කන එක නවත්තන්නැයි කීම මුග්ධ කතාවකි. කඩෙන් ගත් ගාපු පොල්වලින් හෝ පොල් කිරි පැකට්වලින් නියමාකාරයෙන් ඒ ආහාර හදාගත නොහැකිය. අනෙක, වෙළඳපොළ මිල ගෙවා පොල් අරගෙන ඕනෑ නම් දෙයියන්ට පොල් ගැහුවත් ආණ්ඩුවට ඒ ගැන මොකවත් කීමට අයිතියක් නැත. ඔව්, මේ කියන්නේ කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහගේ ප්‍රකාශය ගැනය. රිලවුන් ද, මිනිසුන් ද පොල් කන නිසා තමන්ට කර්මාන්ත සඳහා පොල් නැති බව කාලයක සිට පොල් කර්මාන්තයෙන් අසන්නට ලැබේ. මිනිසුන් කන පොල්වල අඩංගු තෙල්වලින් විශාල ප්‍රතිශතයක් අපතේ යන බව ඔවුන්ගේ මැසිවිල්ලයි. ඒ කිසා මිනිසුන් පොල් කන එක අධෛර්ය කරන්නට ආණ්ඩුව මැදිහත් විය යුතු යයි ඔවුහු සිතති. චතුරංග අබේසිංහගේ අභද්‍ර ප්‍රකාශයට හේතුව එයයි. ලංකාවේ කර්මාන්තකරුවන්ගේත්, චතුරංග වැනි දේශපාලනඥයන්ගේත් ගැටලු...

ඇමතිතුමාගේ කෝච්චි ගමන

Image
  අජිත් පැරකුම් ජයසිංහ ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගේ දුම්රිය ගමන දේශපාලනිකව ඉතා වැදගත් සංසිද්ධියකි. මෙවැනි දුම්රිය ගමන් හිටපු ප්‍රවාහන ඇමතිවරුන් ද ඇතැම් විට සංදර්ශනාත්මකව කර තිබේ. බොහෝ විට ඔවුන් ඒවා කරන්නේ අලුත් දුම්රියක් හඳුන්වා දීම වැනි පියවර සමගයි. බිමල් රත්නායක තමන් ඉතා නිහතමානී පුද්ගලයකු බව පෙන්වීමට උත්සාහ කළ ද ඔහු ද සෙසු ඇමතිවරුන් මෙන්ම තම කාර්ය මණ්ඩලය ලවා අවස්ථාව කැමරාගත කරගත්තේ සංදර්ශනාත්මකවය. අවසනාවන්ත කාරණය වන්නේ ඔහුගේ ආධුනිකබව හේතුවෙන් සමස්ත පක්ෂයේම යථාර්ථය හෙළිදරව් වීමයි. එනම්, නිර්ධන පංතිකයන් බව අවධාරණය කරන, රැකියා නොකරන, සම්මාදම් කරන ලද පක්ෂ අරමුදලින් ජීවත් වන මෙම තපස්වරුන් පිරිස කවදාවත් බස්රියක, දුම්රියක නොගිය අය බවයි. 1994න් පසු කාලය ඔවුන් ජීවත් වී තිබෙන්නේ පැලවත්තේ පක්ෂ මූලස්ථානය කේන්ද්‍ර කරගත් උප සංස්කෘතික සීමිත අවකාශයක ගැඹුරේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට පොදුජන ප්‍රශ්න ගැන තිබෙන අවබෝධය අවමය. දුම්රියේ ගිය නිර්ධන පංතික ඇමතිවරයා මාර දේවල් ටිකක් සොයාගෙන ඇත. දුම්රිය ප්‍රමාද වෙනවාලු. ෆෑන් කැඩිලලු. වැසිකිලි අපිරිසිදුලු. මේ අතර ආබාධ සහිත අයට දුම්රියට නගින්න බැරි බව ද ඔහු...

මහින්ද රාජපක්ෂ පාරට ඇද දැමීම හා බයියන් ජෙප්පන් කිරීම

Image
  අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ කටුකුරුන්දේදී තම පාක්ෂිකයන් සතුටු කිරීම සඳහා ගැසූ සැලසුම් සහගත කයිවාරුවේ ප්‍රධාන අරමුණක් වන්නේ පළිගැනීම සඳහා ආශාව කුළුගැන්වීමයි. එය ඔහුගේ පාක්ෂිකයන්ගේ සහයෝගය රඳවා තබාගැනීමටත්, අතෘප්තිය මගහැරවීමටත් ඉතා හොඳ උපායකි. මෙම බලවේගය තවමත් ගතානුගතික ජේවීපීකාරයෝය. ඔවුන් සාමාන්‍ය ජනතාව නොවේ. එහිදී ඔහුගේ ප්‍රධාන ඉලක්කයක් වූයේ මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂවාදී දේශපාලන සංස්කෘතියයි. මහින්දගේත්, ගෝඨාභයගේත් ආරක්ෂාව අඩු කර ඇති අතර, තව දුරටත් අඩු කරන බවට හා නිල නිවසින් එළියට ඇද දමන බවට ද ජනාධිපතිවරයා තර්ජනය කළේය. ඔහු කතා කළේ ජනාධිපතිවරයකුගේ වගකීමෙන් නොවේ. එහෙත්, ජවිපෙට ඡන්දය දුන් බහුතරය මහින්දගේ හිටපු අනුගාමිකයන්ය. ඔවුන් මහින්දගෙන් පළිගැනීම කෙසේ භාරගනු ඇද්ද යන්න අපැහැදිලිය. 2001දී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සමග මුලපුරන ලද සටන් විරාමය බිඳ දමමින් මහින්ද රාජපක්ෂ යුද්ධයට පොළඹවා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සෑහෙන වැඩකොටසක් ඉටු කළේය. උතුරු නැගෙනහිර පළාත් වෙන් කරන නඩුව පවා පැවරුවේ ජවිපෙ විසිනි. කොටි සංවිධානයට ද සටන් විර...

ඉදිරි අයවැය හැර මේ නිල චාරිකාවල වැදගත්කමක් නැත

Image
  අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපතිවරයාගේ ඉන්දීය, චීන නිල චාරිකා එම රටවල හා ශ්‍රී ලංකාවේ නිලධාරීන්ගේ න්‍යාය පත්‍රයන් අනුව සිදුවන චාරිත්‍රානුකූල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විනා අන් කිසිවක් නොවේ. එමගින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ ඇමතිවරුන්ට වටිනා රාජ්‍ය තාන්ත්‍රික නිරාවරණයක් ලැබේ. එය ජවිපෙ ආණ්ඩුවට ඉතා වැදගත් උසස් අධ්‍යාපනයකි. එහෙත්, වියදම් අවම කිරීමේ හා එය දේශීයව ප්‍රදර්ශනය කිරීමේ දේශපාලනය හේතුවෙන් එම නිරාවරණය වැඩි පිරිසකට ලබාදීම පමණක් නොව, සහභාගී වන අය පවා එය පූර්ණව ලබාගැනීම සිදු වන්නේ නැති බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. මෙම නිල චාරිකා පසුපස දිනාගන්නා හෝ අහිමි වන කිසිවක් නැත. ඒවායේ අමුතු කුමන්ත්‍රණ ද නැත. රාජ්‍ය නායකයන්ට අතිශය වැදගත් වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගා ගැනීමට එය අවස්ථාවකි. එහෙත්, රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු පුහුණු විය යුතු දෙයකි. එය නායකත්වයේ ප්‍රධාන ලක්ෂණයකි. රාජ්‍ය නායකත්වය අපේක්ෂා කරන අයෙකු එම පුහුණුව ලබාගත යුතුය. ජවිපෙ භාෂාවෙන් කියනවා නම් ගෙදර වැඩ කර තිබිය යුතුය. එහෙම ගෙදර වැඩ කර ඇති බවක් ජනාධිපතිවරයා හෝ ඇමතිවරුන් මුල සිටම පෙන්වන්නේ නැත. ජනාධිපතිවරයා බලයට පත් වී කාර්තු...

මේක විහිළුවක් නොවේ

Image
  අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය පාලනය විහිළු කතා කීම තරම් ලෙහෙසි පහසු නැත. කරන කියන දේ අවබෝධයෙන් කළ යුතුය. එසේම, ශරීර භාෂාව ද ඉතා වැදගත්ය. ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දෙමින් මංගල සමරවීර ඇතුළු ඇමතිවරුන් පිරිසක් සිනාමුසුව පුවරු ප්‍රදර්ශනය කරන ආකාරය යහපාලන ආණ්ඩුවට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමේදී විපක්ෂය විසින් උපයෝගී කරගන්නා ලදි. දේශපාලනයේදී ඇත්ත පවා කිව යුතු ආකාරයක් තිබේ. ලංකාවේ අපරාධ නඩුවලට වැරදිකරුවන් වන්නේ සැකකරුවන් අතරින් 5%ක පමණ පිරිසකි. සැබෑ වැරදිකරුවන් 95%කටම දඬුවම් ලැබෙන්නේ නැත. අපරාධ නඩු සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවලින් පුද්ගලයන්ට නිදහස ලබාගත හැකි මුත්, ඒ පිළිබඳ මහජන මතයෙන් නිදහස් විය නොහැක්කේ ඒ නිසාය. සමාජ ජීවිතයේදී මෙම මහජන මතය ද ඉතා වැදගත්ය. උදාහරණයක් ලෙස, රනිල් වික්‍රමසිංහ බටලන්ද වධකාගාරය පිහිටි නිවාස සංකීර්ණය තුළ ජීවත් වූ නිසා ඔහු එය පිළිබඳ නොදැන සිටියේ යයි කිව නොහැකි බැවින් අධිකරණයෙන් ඔහු වැරදිකරුවකු නොවුණද බටලන්ද ඔහු පිටුපස පැමිණීම වළක්වාගත නොහැකිය. මහින්ද රාජපක්ෂ සම්බන්ධ හෙල්පිං හම්බන්තොට චෝදනාව හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා ඉවත් කර දුන්නද ඔහු මහජන මතයෙන් නිදහස ලබා නැත....

ඇන්ටිජන් හොරාව ඊළඟ ජනාධිපති විදියට පත් කරමුද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ දිලිත් ජයවීර යනු ගෝඨාභය රාජපක්ෂටත්, ඊටත් කලින් මහින්ද රාජපක්ෂටත් දැක්වූ සහයෝගයෙන් ව්‍යාපාරික අවස්ථා උදා කරගෙන දියුණුව සලසා ගත් ‘ව්‍යවසායකයෙකි’. ව්‍යාපාරකරණය ඊනියා වාමාංශික දේශපාලනය මෙන් අති පිරිසිදු විය යුතු යයි මා නොසිතන නිසා මට නම් ඒ ගැන විශේෂ අවුලක් නැත. සියලු ‘බිස්නස්’ එසේය. චන්ද්‍රිකාට හා මහින්දට ජැක් ගසා ජනතා විමුක්ති පෙරමුණ ද ගුවන් විදුලි විකාශන බලපත්‍රයක් ලබාගෙන එය පසුව විකුණා දමා ඇත. කෙසේ වෙතත්, දිලිත් ජයවීර දැන් වෙනත් ගමනකට ප්‍රවේශ වී සිටියි. ඔහුගේ අරමුණ රටේ ජනාධිපති වීමය. දක්ෂිණාංශය ජාතිකවාදී හා ලිබරල්වාදී නායකත්වයක් සොයමින් සිටින මෙම වකවානුවේ ඔහු ඒ සඳහා ශක්තිමත් කරගකරුවෙකි. ජවිපෙ මුල් වී 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ගෙන ආ දවස්වල, ඔහුට එරෙහිව නැගී තිබුණු සුනාමි ආධාර ගසා කෑම සඳහා හෙල්පිං හම්බන්තොට නමින් පෞද්ගලික ගිනුමක් පවත්වාගෙන යාමේ චෝදනාවෙන් ඔහු සෝදා දුන්නේ එවකට අග්‍ර විනිශ්චයකාර සරත් එන්. සිල්වාය. දිලිත් ජයවීරට එරෙහිව තිබෙන චෝදනාව මේ වන විටත් නලින්ද ජයතිස්ස මුල් වී සෝදා දීම ආරම්භ කර තිබේ. එනම්, රු. 3500ට රජයට ඇන්ටිජන් කට්ටල විකිණූ බවට නගන...

CleanSriLanka සාර්ථකද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ, සාර්ථකද නැද්ද යන්න කියන්නට පෙර මේ වැඩසටහන මොකක්දැයි දන්නා කෙනෙකු සොයාගත යුතුය. අපට තේරෙන හැටියට නම් ජනාධිපතිතුමාටවත් මේ ගැන පැහැදිලි අදහසක් නැත. මේක මුළු ශ්‍රී ලංකාවම සුද්ද කරනවා වැනි දෙයක් විය හැකිය. ඒ කියන්නේ ඔවුන් සිතන්නේ ශ්‍රී ලංකාව කිළිටි වී ඇතැයි කියාය. ඒකම මිථ්‍යාවකි. නිදහස ලබන කාලය වන විට ලංකාවේ වැඩි දෙනෙකු වැසිකිළි ගිියේ කැලේටය. පස්ස මෙන්ම අතපය ද ඒ හැටි හේදුවේ නැත. කොකු පණු, කිරි පණු රෝග සුලබය. දත් මැදීම ද අවමය. දුංකල, බුලත් කෑ හකු පිළිකාකාරයෝ සුලබය. උපතේදී සාමාන්‍ය ආයු අපේක්ෂාව අදට වඩා අවුරුදු 25කටත් වඩා අඩුය. මාතෘ මරණ, ළමා මරණ අධිකය. තව ඕනෑ තරම් දේ කිව හැකිය. අපි දැන් සෑහෙන්න දියුණුය. කෙසේ වෙතත්, මාලිමාණ්ඩුව හා රජය ක්ලීන් ශ්‍රී ලංකා කියා එක එක මගුල් කරති. සමහරු අතුපතු ගාන, මකුළු දැල් කඩන ශ්‍රමදාන කරති. මේ අතර පොලිසිය සුපිරි ගේමකට බැස්සේය. මාලිමාවේම සහායක බලවේගයක් වූ ත්‍රීවීල් මල්ලිලාටත්, සජබට බර බව පෙනෙන බස් අයියලාටත් එයින් කලකිරී ඇත. උන්ව ෆෝම් කර ආණ්ඩුවට එරෙහිව යැවිය හැකි යයි විපක්ෂයේ සමහරු සිතති. ඒ සඳහා තාම ඉක්මන් වැඩිය. ක්ලීන් ශ්‍රී ලංකා යටතේ එ...