පාරිභෝජනවාදය මත පදනම් වූ බදු ආදායම් මත සුබසාධනවාදී වියදම් රඳවන වික්‍රමසිංහ රාජපක්ෂ දිසානායක අයවැය
අජිත් පැරකුම් ජයසිංහ
ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ මංගල අයවැය පිළිබඳ උණුසුම අද දවසේ අලුත්කඩේ අධිකරණයෙදි විනිසුරුවරයකු ඉදිරියේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවකු මරාදැමීමේ සිද්ධිය නිසා නිවී ගිහින්. ඒ වුණත්, මේ සටහන අයවැය ගැන දේශපාලන විග්‍රහයක්.
සාමාන්‍යයෙන්, අයවැය යෝජනා වැඩි හරියක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ වගේම, සාමාන්‍යයෙන් මේ රටේ ජනතාව ඒ ගැන විධිමත් පසු විපරමක් කරන්නෙත් නැහැ.
ජාතික ජන බලවේගයේ අයවැය යෝජනා විශේෂයෙන් විවේචනය කරන්නට අවශ්‍යතාවක් නැහැ. ඒවා ජනාධිපතිවරයාගේ ජනප්‍රියවාදී දේශපාලනයේම දිගුවක් වන ඊනියා මානව හිතවාදී යෝජනා. හැබැයි, පසුගිය කාලේ ඔහු පොරොන්දු වූ වඩා ජනප්‍රියවාදී තීරණ මෙහි නැහැ.
උදාහරණයක් ලෙස, උසස් පුද්ගල ආදායම් බද්ද හෙවත් APIT අය කරන ආදායම් සීමාව ලක්ෂයේ සිට එක්ලක්ෂ පනස්දාහ හෝ දෙලක්ෂය දක්වා ඉහළ නැංවීමට දුන් පොරොන්දු ඉටු වී නැත. හේතුව සරලයි. එහෙම කළොත් රාජ්‍ය ආදායම් බිඳවැටෙයි.
රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි වීමක් ලබා දී ඇත. මෙතෙක් දීමනා ලෙස පැවති ආදායම් මූලික වැටුපට එකතු කර තිබේ. එසේ කිරීමෙන් ඉදිරියේදී විශ්‍රාම ලබන අයට ඉහළ විශ්‍රාම වැටුපක් ගෙවීමට රජයට සිදුවනු ඇත.
ඉහළ යන රාජ්‍ය වියදම් තුලනය කරගැනීම සඳහා රජය අලුත් බදු ආදායම් හඳුන්වා දී නැත. වාහන ආනයනය කරන්නන්ගෙන් අසාධාරණ අන්දමින් අය කරනු ලබන බදුවලින් රාජ්‍ය ආදායම තහවුරු කරගත හැකි යයි මහ බැංකු අධිපතිවරයා පවා සිතයි. ආර්ථික විද්‍යාවේ සූත්‍රවලින් ප්‍රශ්න විසඳිය හැකි නම් ඔහු නිවැරදි විය හැකිය. එහෙත්, ඔතරම් බදු ගෙවා ජනතාව වාහන මිලදී ගනියිද? රජයට අනිවාර්යයෙන්ම වාහන බදු අඩු කිරීමට සිදු වේ. එවිට මුලින් අධික බදු ගෙවා වාහන මිලදී ගන්නා අයට කෙළ වේ. මෙය යහපාලන ආණ්ඩුව සමයේදී ද සිදු විය.
කහන සල්ලි නැති අය වාහන ගන්නට හදිසි නොවී වාහන මිල අඩු වන තුරු සිටිනු ඇත. රජයට මෙම බදු අනිවාර්යයෙන්ම අඩු කරන්නට සිදු වේ. නැතිනම්, බලාපොරොත්තු වන ආදායම කිසි සේත්ම ලැබෙන්නේ නැත.
කෙසේ හෝ උපයා ගන්නට අපේක්ෂා කරන ආදායම් වියදම් කරන හැටි ගැන යෝජනා රැසක් තිබේ. අස්වැසුම වැනි දිළිඳු සහනාධාර පවා වැඩි කර ඇත. ස්ථාවර තැන්පතුවල ඉතිරි කිරීමට මුදල් ඇති විශ්‍රාමිකයන්ට වැඩිපුර 3%ක පොළියක් රජය ගෙවන බව කියයි. තවත් බොහෝ සුබසාධන වියදම් තිබේ. ඒවා කිසිවකු විවේචනය කරන්නේ නැත. එහෙත්, කළ නොහැකි වියදම් කරන්නට ගොස් ඇනගත්තොත් නම් ආණ්ඩුවට ලේසි වන්නේ නැත.
අයවැය යෝජනා අතර ආර්ථික වර්ධනයට ඉවහල් වන ඇතැම් වැදගත් යෝජනා තිබේ. ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කර හෝ ක්‍රියාත්මක කරන බව කියයි.
භාවිත නොකළ රජය සතු ඉඩම් ඵලදායි ආර්ථික කටයුතු සඳහා බදු දෙන බව කියා ඇත.
එක් ස්ථානයකින් සියලු සේවා යන සංකල්පය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට නීති සම්පාදනය කරන බව කියයි.
මේ අතර, ඉපැයීම් සහ ලාභාංශ නැවත මෙරටට ගෙන්වා ගැනීමට නිරීක්ෂණය කිරීමට සුදුසු ආරක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමට සහ දේශීය සමාගම්වලට විදේශයන්හි ආයෝජනය කිරීමට ඇති බාධක සමාලෝචනය කර ඒවා ක්‍රමයෙන් අඩු කිරීමට ද යෝජනා කර ඇත.
යෝජිත කොළඹ බටහිර 2 පර්යන්තය සහ කොළඹ උතුරු වරාය ව්‍යාපෘති සඳහා අභිලාෂයන් කැඳවීමට අපේක්ෂා කෙරේ. ගුවන් තොටුපළ හා රේගු සංවර්ධනයන් වෙනුවෙන් මුදල් වෙන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලය පුළුල් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
මෙම අයවැය යෝජනා මෙතෙක් ඉදිරිපත් කරන ලද අයවැයවල දිගුවක් මිස කිසිදු කැපී පෙනෙන තීරණාත්මක පියවරක් එහි අඩංගු නොවේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවය වෙනුවෙන් මහජන මුදල් වෙන්කිරීම කලක සිට කරගෙන යන නාස්තියක් තවත් දීර්ඝ කිරීමකි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ අයවැය යෝජනාවලිය බොහෝ දුරට ජවිපෙ විසින් නව ලිබරල් යයි ලේබල් ගසා තිබුණු රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිවල හා මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය මූලික සුබසාධනවාදී ප්‍රතිපත්තිවල සම්මිශ්‍රණයකි.
වැදගත්ම ප්‍රශ්නය මෙයයි. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයක් මුළුල්ලේ විරෝධය පළකරමින්, කඩාකප්පල් කළේ මෙම ප්‍රතිපත්ති නොවේද? ඒවා ක්‍රියාත්මක වුණා නම් රට මීට බොහෝ කලකට පෙර ගොඩයන්නට ඉඩ තිබිණි.
ක්‍රියාත්මක කරන්නේ අවුරුදු 76ක් තිස්සේ ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තිම නම්, ජවිපෙ හා ජාතික ජන බලවේගය විසින් හඳුන්වා දෙන අලුත් දෙය කුමක්ද?
මෙය පාරිභෝජනවාදය මත පදනම් වූ බදු ආදායම් මත සුබසාධනවාදී වියදම් රඳා පවත්වාගෙන යන අයවැයකි. රාජ්‍ය මූලික ආර්ථිකය එකතැන පල්වේ. එය වෙනස් කිරීම සඳහා එඩිතර පියවර ගැනීමට පාලකයෝ බිය වෙති.
මෙවැනි අයවැයක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ යන්තමින් ෂේප් විය හැකිය. එහෙත්, රට සංවර්ධනය වන්නේ නැත.
ජවිපෙ විසින් කරනවා යයි කියන වෙනස වෙනුවෙන් දශක ගණනක් බලය අල්ලාගෙන සිටීමට නම්, මෙම ජනප්‍රියවාදී අයවැය යෝජනා ක්‍රියාත්මක කළ හැකි මට්ටමට හෝ රජය ආදායම් උපදවා ගත යුතුය. එය පවා අභියෝගයකි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.