ඉදිරි අයවැය කොයි තරම් කොමියුනිස්ට් වනු ඇද්ද?

අජිත් පැරකුම් ජයසිංහ

මාලිමා ආණ්ඩුව බලයට පැමිණියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් මධ්‍යයේය. එම ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසර කිරීම සඳහා කාලය අවශ්‍යව තිබිණි. එහෙත්, ජවිපෙට කඩිනමින් මැතිවරණ අවශ්‍ය විය. මැතිවරණයෙන් රනිල් පැරදවීම සඳහා ජවිපෙ සිට සජිත්, නාමල් දක්වා බලවේගය පෙළගැසුණහ. ඒ පිටුපසින් කුමන රටවල් සිටියාද යන්න පැහැදිලි නැත. ලංකාවේ පසුගිය අවුරුදු පහක පමණ අතීතය තුළ ජුලී චං නම් ඇමරිකානු තානාපතිවරිය නම් ඉතා පැහැදිලිවම වියානා සම්මුතිය උල්ලංඝනය වන ආකාරයේ දේශපාලන මැදිහත්වීමක් කළාය. අවසාන ප්‍රතිඵලය ජවිපෙ බලයට පත්වීමයි.

බලයට පත් වූ සැණින් ජවිපෙට තම කොමියුනිස්ට් ප්‍රතිපත්ති ඉදිරියට ගැනීමට බැරි විය. එහෙත්, දැන් දැන් ඒ සඳහා අවස්ථාව උදා වෙමින් තිබේ. තව දින කීපයකින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය සමග ජවිපෙ සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය දැක ගැනීමට හැකි වනු ඇත.

පැවති සංක්‍රාන්ති මාස කීපය තුළ ජවිපෙ ආණ්ඩුව පෙන්නුම් කළේ ප්‍රතිපත්තියක් නොමැතිකමය. මෙම ප්‍රතිපත්තියක් නොමැතිකම තුළ රටේ යළි භාණ්ඩ හිඟයන් නිර්මාණය විය. සහල් මිල පාලනය සඳහා වෙළඳපොළට මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ආහාර අර්බුදයක් ඇති වීමේ අවදානමක් මතු වී තිබේ. මේ වන විට රට තිබෙන්නේ බලශක්ති අර්බුදයකය. වැදගත් විදෙස් ආයෝජකයන් කීපදෙනෙකු ගිවිසගත් ආයෝජන ඉවත් කරගනිමින් සිටිනු දක්නට ලැබේ. විදේශ සංචිත ක්ෂය වෙමින් ඇත. රජයේ රුපියල් ආදායම් ශක්තිමත් කරගැනීමේ අරමුණින් වාහන ආනයනය සඳහා අවස්ථාව ලබා දුන්නද, අධික බදු හේතුවෙන් සාමාන්‍ය ජනතාවට කුඩා වාහනයක්වත් මිලදී ගැනීම දුෂ්කර වී තිබේ.

ඉදිරි අයවැයෙන් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් සිදුකරන බව රජය පවසා තිබේ. රජයේ සේවකයන්ගේ දීමනා වැටුපට එකතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. මේ අතර අලුතෙන් රාජ්‍ය සේවයට 7,500ක පමණ පිරිසක් බඳවාගැනීමේ සැලසුමක් ද ප්‍රසිද්ධ විය. රැකියා විරහිත උපාධිධාරීහු ද අයවැයෙන් රැකියා බලාපොරොත්තු වෙති.

ඉදිරි අයවැය ජවිපෙ ආණ්ඩුවේ සැබෑ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රකාශයක් වනු ඇත. දැනට කටයුතු සිදු වන ආකාරය අනුව නම්, ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආදායම් හා වියදම් ඉලක්ක සපුරා ගනීවිද යන්න සැක සහිතය.

ජවිපෙ විශ්වාස කරන්නේ හැකි තරම් භාණ්ඩ දේශීයව නිපදවා අපනයනය කරන, ආනයන අවම ජාතික ආර්ථිකයකි. ගෝලීය නිෂ්පාදන හා වෙළඳ දාම සමග සම්බන්ධ වීමේදී ඔවුන් කටයුතු කරන්නේ අතිශය සැකමුසුවය.

මේ අතර, ජාත්‍යන්තර ආධාර සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් චීනය කෙරෙහි වැඩි විශ්වාසයක් තබන්නට කැමති බව පෙනේ. චීනය සමාජවාදී රාජ්‍යයක් වීම එයට හේතුවයි. එහෙත්, චීනය ලංකාවට සුවිශේෂ වශයෙන් කෙතරම් උපකාර කරනු ඇද්ද යන්න පැහැදිලි නැත. චීනය එසේ කළත්, එමගින් ජවිපෙ ප්‍රවර්ධනය කරන ස්වෛරීත්වය කෙතරම් දුරට රැකගත හැකිද යන්න සැක සහිතය. එසේම, චීන – ඉන්දීය – බටහිර තුලනය අහිමි කරගැනීම විසින් කුමන ප්‍රතිවිපාක ඇති කරනු ඇද්ද යන්නද සලකා බැලිය යුතුය.

දැනට දක්නට ලැබෙන ප්‍රවණතාව අනුව නම්, ජවිපෙ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. ඉවත් වීම අනිවාර්ය බව පෙනේ. දැනට නවත්වා තිබෙන දේශීය විනිමය මුද්‍රණය කිරීමේ සීමා ඉවත් කර සල්ලි අච්චු ගසා ගැනීමට හැකි වන පරිදි නව නීති සම්පාදනය කරගැනීමට ද ආණ්ඩුව පෙළඹෙනු ඇත.

වඩා රාජ්‍ය මූලික ආර්ථිකයක් සඳහා නැවත උත්සාහයක් ඉදිරි කාලයේදී දක්නට ලැබෙනු ඇත. ඒ පසුපස ඇත්තේ සරල දැක්මකි. එනම්, දූෂණය ඉවත් කර, කාර්යක්ෂම රාජ්‍ය අංශයක් නිර්මාණය කළ හැකිය යන විශ්වාසයකි. ඒ සඳහා රජය සියල්ලට පෙර මිනිසුන් වෙනස් කළ යුතුය. වෙනස් කළ හැකි යයි ජවිපෙ සිතා සිටියි. කරන්නට පුළුවන් නම් නරක නැත. මිනිසුන් වෙනස් කරන්නටත්, ආර්ථික වශයෙන් අල්ලාගෙන සිටින්නට හැකි විය යුතුය. මැතිවරණයෙන් මැතිවරණයට යන ලංකාවේ පාලන ක්‍රමය තුළ ඊළඟ මැතිවරණය දිනාගැනීම සඳහා ජනප්‍රියත්වය රැකගැනීම ඔලුවට ගසන එක ද මේ අතර තවත් ගැටලුවකි.

Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්