පොලිසියේ වෘත්තිකභාවයේ විජේපාල වටගල මට්ටම

 

අජිත් පැරකුම් ජයසිංහ,

“මැඩම් ඇහුවා අද මෙයාව ඉදිරිපත් කළේ ඇයි? නිශ්චිත හේතුවක් කියන්න. උසාවි නියෝගයක්වත් නැහැ.”

මෙම ප්‍රකාශය ගනේමුල්ලේ සංජීවට වෙඩි තැබීමෙන් පසු අධිකරණ භූමිය තුළ රූපගත වූ වීඩියෝවක කිසිවකු කියනු ඇසේ.

ගනේමුල්ලේ සංජීව ඝාතනය සියුම් සැලැස්මක් බව පැහැදිලිය. ඉහත දක්වන ලද දෙබස් ඛණ්ඩයෙන් කියැවෙන්නේ අනිවාර්යයෙන්ම එම සැලැස්මෙහි මූලික කොටසකි.

එසේම, ඝාතනයේ සැකකරු යයි කියන අයෙකු ලුහුබැඳ වහා අත්අඩංගුවට ගැනීම ද එකී සැලැස්මේ ම කොටසක් විය හැකිය.

මෙවැනි ක්ෂණික අත්අඩංගුවට ගැනීමක් සිදු වූ තවත් අවස්ථාවක් වන්නේ පාස්කු ප්‍රහාරයි. ප්‍රහාර මාලාවෙන් කෙටි කාලයකට පසු පොලිසිය ඝාතන සැලසුම්කරුවන් වූ ඊබ්‍රාහිම් සහෝදරයින්ගේ ගෙදර සොයා යාමට සමත් විය. එතැන ද තවත් පිපිරීමක් හා හානි සිදු විය. බුද්ධි අංශවලට ප්‍රහාරකයන් සමග සම්බන්ධකම් තිබූ බවට මහ හඬක් නැංවේ.

ලංකාවේ පොලිසිය කෙතරම් බරපතල ප්‍රශ්නයක් බවට පත් වී තිබේද යන්න ගැන තවත් සාක්ෂි කුමටද? පොලිසියට දේශපාලනික නායකත්වය දෙන අපරිණත දේශපාලකයන්ට වඩා අපරාධ හා මත්ද්‍රව්‍ය පාතාලය ප්‍රබලය; ස්මාට්ය. පොලිසියේ මොරාල් එක ගොඩනැගීම පහසු නැත.

මුළු ලෝකයටම පෙනෙන පරිදි, තමන් ආරක්ෂාව ලබා දීම අසමත් වීම නිසා, උසාවියකදී විනිසුරුවරයා ඉදිරියේදීම අපරාධකරුවකු විසින් වෙඩි තබන ලද රෝගියකු එල්ලාගෙන ආ හැටියෙන් හා ජීප් රියක බිම දමා ඇඟ උඩ පවා නැගි බව පෙනෙන පරිදි රෝහල කරා ගෙන ගිය ආකාරයෙන් ලංකාවේ පොලිසියේ වෘත්තිකභාවයේ තරම පෙනේ. ඒ අතින් බැලූ කල පොලිසියට ගැලපෙන ඇමතියකු හා නියෝජ්‍ය ඇමතියකු ද ලැබී තිබේ.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න