බුද්ධි අංශය ලවා ගමේ වර්චස් කරවීම
අජිත් පැරකුම් ජයසිංහ
නිදහස් දවසෙ ගමේ ගෙදර ගියා. හිතවතෙකු ඇවිත් කතා කළා.
“අජිත් අයියෙ, බුද්ධි අංශෙන් ආවනෙ?”
“කොහෙටද? මෙහෙටද?” මං ඇහුවා. අපේ ගෙදර වහලනෙ තියෙන්නෙ.
“මගදි හම්බ වුණෙ. (අහවල්) ඇන්ටි එක්ක කතා කර කර ඉන්නකොට මං එතනින් ගියා. ඇන්ටි කිව්වා මෙන්න මෙයා හොඳට දන්නවා, එයාගෙන් අහන්න කියලා.”
“ඉතින් මොනවද ඇහුවෙ?”
“ඩයස්පෝරා වගේ වචනයක් කියල එහෙම කේස් එකක් කිව්වා. මට මතක නැහැ. විමර්ශනයක් කරනවලු. මගෙන් අජිත් අයිය ගැන විස්තර ඇහුව. මං ඉතින් …..” ආදී වශයෙන් කිව්වා.
බඩු හරි දැන්. මුළු ගමේම පත්තු වෙලා මං ගැන බුද්ධි අංශ විමර්ශනය කරනවාය කියලා. දැන් ඉතින් ඩැමේජ් කොන්ට්‍රෝල් කරගන්න උත්සාහ කරන්න එපායැ. ගම්වල හැටි දන්නවනෙ. ඒකනෙ ඒවට ගම් කියන්නෙ. ඒ හින්දා මං මෙහෙම කිව්වා:
“ඔය මං දැන් එන්ජීඕ එකක වැඩ කරනවනෙ…….”
එහෙම කියන්න පටන් ගත්තා විතරයි මල්ලි පැන්නා. “අන්න හරි අයියෙ. එන්ජීඕ කේස් එකක් කියල තමයි කිව්වෙ. මට අමතක වෙලා තිබුණෙ.”
ඔන්න ඕකයි ප්‍රශ්නෙ. මෙන්න මේකයි බුද්ධි අංශවල තත්වෙ. මීට කලිනුත් මං දන්න කෙනෙකු කිව්වා, මං ගැන විමර්ශනයක් කෙරෙනවාය, පොත් කේස් එකක් ගැනය කියලා. දැන් එන්ජීඕ කේස් එකක් ගැන.
“ආයෙ ඇහුවොත්, මගේ අංකෙ දෙන්න, මං ඔක්කොම විස්තර කියන්නම්,” මං කිව්වා. මේක මං කලින් මට මේ තොරතුරු දුන්න අයටත් කිව්වා.
“මට කිව්වා අයියට කියන්න එපාය කියලා.”
මහින්දගෙ කාලෙ ස්වයං නිර්ණ අයිතියට පක්ෂව කැම්පේන් කරපු නිසා මං ලංකාවෙ ඉන්න බැරුව මාස කීපයක් ඉන්දියාවෙ ඉඳලත් ආවා. ඔය හිරු කණ්ඩායමේ වැඩ කරපු එකයි, එතනින් අයින් වුණාට පස්සෙ අර සිංහල කොටි සීන් එකේ එවුන්ව දැනගෙන හිටපු එකයි, එතනත් අජිත් කෙනෙකු හිටපු නිසායි, මං ඒ අජිත්ද කියලා සැක කරලා තිබුණා. ඒ කාලෙ තිබුණ තත්වෙ නරක නිසා මං වහන් වුණා. රස්සාව ගහල ගිහින් ආපහු ලැබුණෙ අවුරුදු ගානකට පස්සෙ.
හැබැයි, ඒ කාලෙවත් මෙහෙම වර්චස් කිරීමක් බුද්ධි අංශ කළේ නැහැ. හොයලා හරි අජිත්ව අත්අඩංගුවට ගත්තා. මං ආපහු ඇවිත් සුපුරුදු දේ කරගෙන ලංකාවෙ හිටියා.
මුන් ගම පුරා වර්චස් කරනවා. මිනිසුන් මාව ඇසුරු කරන්න බය කරනවාද කොහෙද? නැතිනම් ලෝකෙ නැති මොකක්ද මගුලක් හොයනවා.
පොඩ්ඩක් අත ගැස්සිලා මේ ලියන එකක් වරදින කල් බලාගෙන ඉන්නෙ අල්ලගන්න. ඔන්න ඕකයි හිතවතුනි තත්වය. සතුටු වෙන්න.
අරගෙන යන විට උන් ඇවිදින්
සමාජවාදීන්
බලා සිටියා මම නිහඬව
මම උන්ගෙන් කෙනෙකු නොවේ
අරගෙන යන විට උන් ඇවිදින්
කම්කරු නායකයින්
බලා සිටියා මම නිහඬව
මම උන්ගෙන් කෙනෙකු නොවේ
අරගෙන යන විට උන් ඇවිදින්
යුදෙව් ජාතිකයන්
බලා සිටියා මම නිහඬව
මම උන්ගෙන් කෙනෙකු නොවේ
අන්තිමේදි උන් එනකොට
අරගෙන යන්නට මා
කවුරුත් නෑ හිටියේ මට
හිටියේ මම තනියම
මාටින් නිමොලර්ගේ කවියක්. මං කරපු ගීතමය පරිවර්තනයක්. 2008දි විතර අග්නීමා සංගීත කණ්ඩායම ගායනා කළා.
දේශපාලනය ඔහොම තමයි. එක කාලෙක ජවිපෙ කියලා බුද්ධි අංශ හෙව්වා. දැන් ජවිපෙ නෙමෙයි කියලා හොයනවා. කරන දේ 100%ක් කළාම මොන දේකට වුණත් මුහුණ දෙන එක ලේසියි. අපි බලමු මොකාටද එන්නෙ කියලා.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.