Posts

Showing posts from September, 2009

ලංකාවේ ඝාතන සංස්කෘතිය ගුවන් සේවය හරහා ඉන්දියාවටත් යොමු වෙයි

(2009 සැප්තැම්බර්  30 - W3Lanka ) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩ කළ ඉන්දීය ජාතික ගුවන් නියමුවකු තනිවම නැවතී සිටි ඔහුගේ නිවසේදී කෲර ලෙස පිහිවලින් ඇන මරා එල්ලා තිබියදී අසල්වැසියකුගේ තොරතුරක් මත පොලිසිය විසින් සොයාගෙන තිබේ.  පනස් හැවිරිදි රාමන් කුමාර් රෝයි නම් මෙම ගුවන් නියමුවා සැප්තැම්බර් 23දා සිට දින කීපයක් නිවාඩු ඉල්ලා තිබේ. ඔහු මරා දමා දැන් දින කීපයක් ගත වී ඇතැයි සැලකේ.  ඔහුගේ පවුලේ අය ජීවත් වන්නේ කැනඩාවේය. මීගමු පොලිසිය පරීක්ෂණ පවත්වයි.

නොසැලකිල්ල නිසා දෙහිවල සතුන් වත්තේ ටේපියර් මිය යයි

Image
(2009 සැප්තැම්බර්  30 - W3Lanka ) බෙල්ජියමේ සතුන් වත්තකින් මීට 13 වසරකට පෙර ගෙන එන ලද ටේපියර් ජෝඩුවකින් ඉතිරි වී සිටි සත්වයා දෙහිවල සත්වෝද්‍යානයේ බලධාරීන්ගේ නොසැලකිල්ල හා ප්‍රේක්ෂකයන්ගේ නොමනා ක්‍රියා හේතුවෙන් 28දා මිය ගොස් තිබේ. මරණයට හේතුව පොලිතින් අනුභවයයි. සතාගේ බඩේ තිබී පොලිතින් කිලෝ එකහමාරක පමණ ප්‍රමාණයක්‌ පශු වෛද්‍යවරුන් විසින් සොයාගෙන තිබිණි. ටේපියර් යනු ඌරකුට සමාන හැඩරුව ඇති වඳ වී යමින් සිටින ක්ෂීරපායී සත්වයෙකි. ඌ වසර 25ක් 30ක් ජීවත් විය හැකි සත්වයෙකි. සතුන් වත්තේ බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා පසුගිය සමයේ සතුන් විශාල ගණනක් මිය ගිය අතර ඇනකොන්ඩා සර්ප පැටවුන් 16ක් ද ඒ අතර වෙති.

තෙවසරක් ගත වෙද්දීත් නැඟෙනහිර අවතැන් වූවන් 2500ක් තවමත් අනාථයි

Image
(2009 සැප්තැම්බර්  30 - W3Lanka ) මඩකලපුව කොකූවිල් ප්‍රදේශයේ කඳවුරක සිටි පවුල් 91 කට අයත් පුද්ගලයන් 321 ක්‌ බස්‌ රථ 15 කින් නැවත පදිංචි කිරීම සඳහා ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයට ඊයේ රැගෙන යාමත් සමග නැඟෙනහිර පළාතේ සියලු අවතැන් වූවන් යළි පදිංචි කර හමාර බව රජය කරන ප්‍රචාරය අසත්‍යයක් බව වාර්තා වේ. ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ සාම්පූර් ප්‍රදේශයේ අධි ආරක්‍ෂිත කලාපයක් පිහිටුවීම හේතුවෙන් එහි යළි පදිංචි වීමට ඉඩ නොදුන් අය ඇතුළු පවුල් 745 කට අයත් 2500 දෙනෙක්‌ තවමත් කිලිවෙඩ්ඩි, පට්‌ටිපිඩල් හා පිල්ලන්කේන් යන ප්‍රදේශවල රැඳී සිටින බව වාර්තා වේ. රජය සාම්පූර් ප්‍රදේශයේ ඉඩම් තාප බලාගාරයක් පිහිටුවීම සඳහා ඉන්දීය රජයට අයත් NTPC සමාගමට පවරා දීම‍ට තීරණය කර තිබේ. සාම්පූර් පිහිටා තිබෙන්නේ ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ වෙරළාශ්‍රිතවයි. 2006 වසරේ නැඟෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව දියත් වූ යුද මෙහෙයුම් හේතුවෙන් ත්‍රිකුණාමල හා මඩකලපුව පදිංචිව සිටි පවුල් 41,000 කට අයත් 150,000 කට වැඩි පිරිසක්‌ අවතැන්ව කඳවුරු 112 ක රැඳී සිටියහ. කඳවුරු 91ක පවුල් 35,000 කට අයත් 135,000 දෙනකු මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පදිංචි

එල්ෆින්ස්ටන් ඉදිරිපිට ගාමිනිගේ පිළිරුවක් අද විවෘත වේ

Image
(2009 සැප්තැම්බර්  30 - W3Lanka ) සිංහල සිනමාවේ විශිෂ්ඨ නළුවකු සහ අධ්‍යක්ෂවරයකු වූ ගාමිනි ෆොන්සේකා අභාවප්‍රාප්ත වී පස් වසක් සපිරෙන අද සවස මරදානේ එල්ෆින්ස්ටන් රංග ශාලාව ඉදිරිපිට ඉදි කරනු ලැබූ ඔහුගේ පිළිරුවක් විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. Show all 1936 මාර්තු 21 වැනිදා දෙහිවලදී උපත ලැබ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ගාමිනි ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘රේඛාව‘ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂවරයා වූ ‘විලි බ්ලේක්’ ගේ සහයකයා සහ නළුවකු ලෙස සිනමාවට පිවිසියේය. 2004 සැප්තැම්බර් 30 දින ගාමිනි ෆොන්සේකා දිවියෙන් සමු ගත්තේය.

සේවක හා වෘත්තීය සමිති හිමිකම් පැහැර ගන්නා ගැසටි පත ඉවත් කරගන්න රජය අධිකරණයට එකඟ වෙයි

(2009 සැප්තැම්බර්  30 - W3Lanka ) 1589/30 අංක දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් රජයේ සේවකයින් සහ වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් කප්පාදු කිරීමට එරෙහිව සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය මගින් ගොනුකළ නඩුව, කැබිනට් මණ්ඩලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබු විශේෂ ප‍්‍රකාශනයකට අනුව අවසන් කිරීමට ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. මෙම නඩුව විනිසුරු පී. අමරතුංග ඇතුළු ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ තෙවැනි වරටත් සලකා බැලූ අවස්ථාවේදී රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාග අසමත් වන සේවකයින් සේවයෙන් ඉවත් කිරීමටත්, වෘත්තීය සමිතිවලත්, වෘත්තීය සමිති නායකයින්ගේත් අයිතිවාසිකම් අහිමි කරනු ලබන අහිතකර කොන්දේසි ඉවත්කර ගැනීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබු තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ගන්නා ලදි. මෙම අහිතකර කොන්දේසි ඉවත්කර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන නිසා තව දුරටත් මෙම නඩුව ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව විනිසුරු මණ්ඩලය ප‍්‍රකාශ කිරීමත් සමඟ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමන්තා වීරකෝන් මහත්මිය කැබිනට් මණ්ඩලය ගත් මෙම තීන්දුව යම් විදි

‘භාෂිත' නමින් නව අක්ෂර මාලාවක්

(2009 සැප්තැම්බර්  29 - W3Lanka )  පරිගණකය සමග සිංහල භාෂාවෙන් කටයුතු කිරීම සදහා ‘භාෂිත” නමින් නව අක්ෂර මාලාවක් හඳුන්වා දුන් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යටතේ එස්එල්එස් 1136 ප්‍රමිතියට අනුකූලව මෙම භාෂිත අක්ෂර මාලාව නිර්මාණය කර තිබේ. භාෂිත අක්ෂර සමග පහසුවෙන් සහ ඉතා නිර්මාණාත්මකව පරිගණකය ඔස්සේ සිංහල භාෂාවෙන් ලිපි ලේඛන සකස් කිරීම මෙන්ම වෙබ් අඩවි සැකසීම ගැටළුවකින් තොරව සිදුකල හැකියැයි නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ මහතා පවසයි. www.siyabas.lk  වෙබ් අඩවියට පිව්සීමෙන් මෙම භාෂිත අක්ෂර මාලාව නොමිලේ බාගත කර ගැනීමට පහසුකම් සලසා තිබෙන බව ශ්‍රී  ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සදහන් කරයි. අපගේ නිරීක්ෂණය වන්නේ යුනිකෝඩ් අක්ෂර සම්බන්ධයෙන් තිබෙන පොදු ගැටළුවක් වන අකුරුවල විවිධත්වයක් හා සුන්දර හැඩ නොතිබීම පිළිබඳ ගැටළුව මෙයින් ද විසඳී නැති බවයි. (ඡායාරූපය: භාෂිත අකුරු මහාචාර්ය ජේ.බී. දිසානායකයන් වෙත)

යුද්ධයේ අන්තිම අදියරේ වියදම ගමකට කෝටි දෙක බැගින් දෙන්න ප්‍රමාණවත්

Image
(2009 සැප්තැම්බර් 29 - W3Lanka ) අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී හෙළි කළ පරිදි කොටින්ට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී රජය විසින් දරන ලද පිරිවැය ඩොලර් බිලියන 2.8කි. එම මුදල වර්තමාන විනිමය අනුපාතික අනුව රු. 323,524,675,651.85කට සමානය. තේරෙන භාෂාවෙන් කීවොත් රු. කෝටි 32, 352කට මඳක් වැඩිය. මෙයට අමතරව කොටි සංවිධානය විසින් ද මෙම යුද්ධය වෙනුවෙන් අඩු තරමේ මෙම මුදලින් හතරෙන් පංගුවක තරම්වත් වියදමක් දරන්නට ඇත. එවිට යුද්ධයේ අවසාන අදියරේදී පමණක් වියදම කෝටි 40,000 ඉක්මවයි. මේ යුද්ධය නොකෙරුණා නම් ලංකාවේ එක ගමකට රු. කෝටි දෙක බැගින් බෙදා දෙන්නට මේ මුදල සෑහේ. කෝටි දෙකකින් ගමකට කෙතරම් දේ කරන්නට තිබිණිද? අකාලේ අහිමිව ගිය සිංහල, දෙමළ ජීවිත සංඛ්‍යාව මිළ කළ නොහැකිය. එසේම යුද්ධයෙන් වූ දේපල හානි සහ ජන ජීවිතයට වූ හානි ද ගනනය කර නැත. අද ඇති ප්‍රශ්නය වන්නේ මෙතරම් වියදමක් දැරූ යුද්ධයෙන් අප දිගු කාලීන සාමයක් දිනා ගත්තේ ද යන්නයි.

රනිල් ළමයා රංජිත්ට ‍ඇම්බැට්ටයා කීවේය; රංජිත් ළමයා රනිල්ට කේවට්ටයා කීවේය

(2009 සැප්තැම්බර් 29 - W3Lanka ) පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ ජනබල සේනා රැස්වීමකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් නියෝජ්‍ය මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය හඳුන්වනු ලැබුවේ ඇම්බැට්ටයකු ලෙසයි. ඇම්බැට්ටයා යනු අප දන්නා තරමින් කරණවෑමියායි. සියඹලාපිටියට මුදල් අමාත්‍යංශය තුළ පැවරී තිබෙන්නේ ලාභ ගණන් කරන පී.බී. ජයසුන්දරලාගේ, අජිත් නිවාඩ් කබ්රාල්ලාගේ රැවුල කැපීම වැනි කටයුතු නිසා එසේ කියන්නට ඇතැයි සිතිය හැකිය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කේවට්ටයකු යයි හඳුන්වන සියඹලාපිටිය 'රටට වින කරන අය නම් කේවට්ටයෝ’ යයි අද දිනමිණ පුවත්පතට පවසයි. කේවට්ට යනු උම්මග්ග ජාතකයේ රජුට වැරදි උපදෙස් දෙන පුරෝහිතයෙකි. දැන් සිටින රජ්ජුරුවන් රනිල්ගෙන් උපදෙස් නොගන්නා බැවින් සියඹලාපිටිය රනිල්ට දැමූ නම ගැලපෙන්නේ නැත. රජතුමා උපදෙස් ගන්නේ බැසිල්, ගෝඨාභය, පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් වැනි මහෞෂධ පඬිරුවන්වලිනි. හතළිහක් පමණ වන ජනාධිපති උපදේශක කේවට්ටයන් පිරිසක් ඉන්නා අතර එක කේවට්ටයකු වන වාසුදේව නානායක්කාර මහෞෂධ පී.බී. ජයසුන්දර දූෂකයකු බව පෙන්වා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගියේය. මහ රජතුමා ඔය කේවට්ටයන් වැඩි

තමිල්නාඩුවේ ලාංකික සරණාගතයන්ට ඉන්දීය පුරවැසිභාවය දෙන්න යෝජනා

(2009 සැප්තැම්බර් 29 - W3Lanka )  තමිල්නාඩුවේ කවුරුවල වෙසෙන ලක්ෂයක් පමණ වන ලාංකික දෙමළ සරණාගතයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබා දීම පිළිබව තමන් මධ්‍යම ආණ්ඩුව සමග සාකච්ඡුා කරන බව තමිල්නාඩු මහ ඇමති මුතුවේල් කරුණානිධි පවසයි. සැප්තැම්බර් 26දා තමිල්නාඩුවේ කාංචිපුරම්හි පැවති ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් ව්‍යාපාරයේ සමාරම්භක දින සමරු උත්සවයකදී මේ හා අදාළ යෝජනාවක් සම්මත කර ගැනිණි. 1983 සිට ලංකාවේ යුද්ධය නිසා අවතැන් වූ සරණාගතයන් 73,572 ක් ක`දවුරු 115ක ද, 30,000ක් ස්වයංව ද ඉන්දියාවේ වෙසෙති.

බුදු පිළීමයේ හිස ගලවා මල් ආසනය මත තබා පපුව පළා නිදන් සොයති

Image
(2009 සැප්තැම්බර් 28 - W3Lanka ) ලෝකෙන් උතුම්ම රට යයි කියන ලංකාවේ ප්‍රෞඪ උරුමය විනාශ කිරීමට බටහිර ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් ඇතැයි කියනු නිතර අසන්නට ලැබේ. ක්‍රි.ව. 1755දී කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමයේ ඉදි කළේ යයි කියන යටිනුවර, දෙහිගම, වෙහෙරගල විහාරයේ බුදු පිළීමයේ හිස ගලවා මල් ආසනය මත තබා පපුව පළා නිදන් සෙවූ මේ සොරුන් බටහිරින් ආ අය හෝ ක්‍රිස්තියානින් හෝ යයි සොයාගෙන නැත. මෙවැනි නිදන් මංකොල්ල කීයක් නම් පසුගිය සමයේ සිදු විණිද? මිහිඳු හිමියන් සැතපුණේ යයි විශ්වාස‍ කෙරෙන මිහින්තලාවේ මිහිඳු ගුහාවේ ශෛලමය යහන ද පුපුරුවා නිදන් සෙවූ ලාංකිකයන්ට මේවාත් වැඩද?

දුප්පත් කම්කරුවන්ට ලාබෙට අරක්කු ටිකක් දියව් - ඇමති මිල්රෝයිට මල් මිටක්

Image
(2009 සැප්තැම්බර් 28 - W3Lanka ) වැඩ කරන කම්කරුවන් සඳහා අඩු මිලකට මිලදී ගත හැකි රජයේ අනුමත මත්පැන් වර්ගයක්‌ ලබාදිය යුතු බව තමාගේ අදහස යෑයි ජනතා වතු කළමනාකරණ සහ සංවර්ධනය කිරීමේ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු මහතා ප්‍රධාන සුරාබදු පරීක්‍ෂක සහ සුරාබදු පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ 15 වැනි සංවත්සර අමතමින් කීවේය. "සුරාබදු දෙපාර්තමේන්තුවට අමතරව සෑම පොලිස්‌ ස්‌ථානයකින් සහ තවත් වැටලීම් ඒකකවලින් මත්පැන් වැටලීම් කරනවා ඒත් නීති විරෝධී මත්පැන් නැවැත්වීමට බැරිවෙලා තියෙනවා. එසේ බැරිවී තිබෙන්නේ අඩු ආදායම් කම්කරුවන් නීති විරෝධී මත්පැන්වලට පුරුදු වී සිටීම නිසයි. එම නිසා නීති විරෝධී මත්පැන් නැති කිරීමට එම කම්කරුවන්ට අඩු මිලකට මත්පැන් වර්ගයක්‌ ලබාදිය යුතුයි," යි ඇමති පවසයි. ඇතැම් කම්කරුවන් ඇඟපතේ අමාරුවට ක

දෙහිවල සතුන් වත්තේ උපන් ඇනකොන්ඩා පැටවුන් විස්ස මළේ කාගේ වරදින්ද?

Image
(2009 සැප්තැම්බර් 28 - W3Lanka ) 2003දී චෙක් ජනරජයෙන් ලංකාවට ගෙන එන ලද ඇනකොන්ඩා (Eunectes murinus) නම් විශාල සර්ප වර්ගයේ ජෝඩුවකට දාව පසුගිය ජුලි 12දා දෙහිවල සත්වෝද්‍යානයේදී මෙලොව එළිය දුටු ඇනකොන්ඩා පැටවුන් 20 දෙනාම මේ වන විට මිය ගොසිනි. අන්තිම පැටවා මිය ගියේ සැප්තැම්බර් 23දායි. මොවුන්ගේ උපත පිළිබඳ සත්වෝද්‍යාන බලධාරීන් ජනමාධ්‍ය හරහා මහ හඬක් නැගුව ද එම සතුන් මිය ගොස් ඇත්තේ නිසි පෝෂණයක් හා රැකබලා ගැනීමක් නැතිකමින් බව ආරංචි මාර්ග පවසයි.  කුස තුළ බිත්තර මෝරා පැටවුන් බිහි වන හෙවත් ovoviparious, අඩි 30ක්දෙක්වා දිගට වැඩෙන, වසර 30ක් 35ක් ජීවත් වන්නේ යයි කියන මෙම උරගයන් 20 ඉපදුණු දිනවල සතුන් වත්තේ ලොක්කන් කතා කළේ ඔවුන් වෙනත් සත්වෝද්‍යාන සමග හුවමාරු කර ගන්නා ආකාරය ගැනයි. මේ සතුන් පිළිබඳ ප්‍රචාරය වීමෙන් පසු සතුන් වත්ත බැලීමට එන පිරිස වැඩි වී ආදායම් ද වැඩි විය. එහෙත් ඒ සතුන් මළේ මී පැටවුන්ට වඩා කන්නට දෙයක් ඔවුන්ට නොදීම නිසා යයි කියනු ලැබේ.

ලංකාවේ කකුල් හතරේ බල්ලන් ලක්ෂ 25ක්

Image
(2009 සැප්තැම්බර් 28 - W3Lanka ) ශ්‍රී ලංකාවේ සිටින බල්ලන් (කකුල් හතරේ අය පමණි) සංඛ්‍යාව ලක්ෂ 25ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය තක්සේරු කර තිබේ. වන්ධ්‍යාකරණ සැත්කම් ඔස්සේ මෙම සංඛ්‍යාව 2016 වන විට ලක්ෂ 10 දක්වා අඩු කිරීමට වැඩසටහනක් දියත් වන බව ද පැවසේ. ජාතික සෞඛ්‍ය අය වැයෙන් කෝටි 50 ක මුදලක් වැය කරන්නේ ජලභීතිකා නිවාරණ කටයුතු වෙනුවෙන් බව සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මේ වසරේ පසුගිය අගෝස්තු මාසය දක්වා ජලභීතිකා රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 35 කි. මෑතදී හීලෑ අලින් දෙදෙනෙකු ද ජලභීතිකා රෝගයට ගොදුරු වූ බව හඳුනාගන්නා ලදී. රජයේ රෝහල් මගින් ජලභීතිකා නිවාරණය සඳහා ලබා දෙන එන්නතකට සෞඛ්‍ය අමාත්‍යංශය රු. 35,000 ක් වැය කරයි.

අනාථ කඳවුරු උණුසුම්: අට හැවිරිදි දරුවකුට වෙඩි

Image
(2009 සැප්තැම්බර් 27 - W3Lanka ) යුද අනාථයන් රඳවා තිබෙන වවුනියාවේ අනාථ කඳවුරුවලින් ඔවුන් නිදහස් කිරීම පමා වීමත් සමගම අසහනය මෝදු වෙමින් ගැටුම්කාරී තත්වයන් මතු වෙමින් ඇති බව වාර්තා වේ. සෙනසුරාදා රාත්‍රියේ සෙට්ටිකුලමේ මැනික් ෆාම් කඳවුරේ ඇති වූ හමුදාව විසින් වෙඩි තැබීමේ සිද්ධියකින් අට හැවිරිදි දරුවකු ඇතුළුව අඩු තරමේ තිදෙනෙකුවත් තුවාල ලබා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර පැවසීය. ඔහු පවසන්නේ මෙම පුද්ගලයන් පළා යාමට උත්සාහ කළ බව හා ඉන් අනතුරුව හමුදාවට ගල් ගැසූ බවයි. එක් පුද්ගලයකු ‍අත් බෝම්බයකින් ද පහර දීමට උත්සාහ කළ බව ඔහු පවසයි. ඔහු පවසන විස්තර අනුව දැන් මෙම කඳවුරුවල ඇත්තේ මීට මාස කීපයකට පෙර රජය පැවසූ ආකාරයේ ප්‍රීතිමත් වාතාවරණයක් නොවන බව පෙනේ. අවතැන් කඳවුරුවල සිටින ජනයා හා ආරක්ෂක සෙබළුන් අතර ගැටුම්කාරී සිද්ධි ගණනාවක්ම පසුගිය සමයේ ජනමාධ්‍ය වාර්තා කළහ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසන්නේ පිසූ ආහාර නොසැපයීම නිසා ආහාර උයා ගැනීම පිණිස දර සොයා ගැනීමට මෙම පිරිස කඳවුරේ වෙනත් කලාපයකට යමින් සිටි බවයි.

පුවත්පත් මණ්ඩලයට එරෙහිව හා තිස්සනායගම් නිදහස් කරගැනීමට සමුළුවක්

Image
(2009 සැප්තැම්බර් 27 - W3Lanka ) ජනමාධ්‍යවේදීන්ගේ දෑතට විලංගු දමා ලියන්නටත්, කියන්නටත් ඇති අයිතිය උදුරා ගන්නට සැරසෙමින් පුවත්පත් මණ්ඩලය යලි සක‍්‍රීය කිරීමට එරෙහිව හා තම මතය ලියූ වරදට ත‍්‍රස්තවාදියෙකු කර, විසි වසරකට සිපිරිගෙට යැවූ මාධ්‍යවේදී ජේ. එස්. තිස්සනායගම් නිදහස් කර ගැනීම සඳහාත්, ජනමාධ්‍යවේදීන් බහුතරයකගේ නියෝජනයෙන්ද, සිවිල් සංවිධාන, දේශපාලන පක්‍ෂ, කලාකරුවන්, ආගමික නායකයින් සහ යුක්තිගරුක සමාජයක් උදෙසා පෙනී සිටින සියලූ පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් යුත් දැවැන්ත සමුළුවක් 2009 සැප්තැම්බර් මස 29 වැනි අඟහරුවාදා සවස 4.00ට කොළඹ 07, ධර්මපාල මාවතේ, ජයවර්ධන කේන්ද්‍රයේදී (විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට) පැවැත්වීමට සුදානම් කර ඇත. එදින පුවත් පත් මණ්ඩලයට එරෙහිව ජනතා විරෝධය සටහන් කරන මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කරන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ජනමාධ්‍ය නිදහසේ ඇති අගය වටහාගත් අයට මෙම සමුළුව නියෝජනය කරන මෙන් සවිධායකයෝ ඇරයුම් කරති. සමුළුව කැඳවා තිබෙන්නේ පහත සඳහන් මාධ්‍ය සංවිධාන විසිනි. x    ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය x    ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය x    මාධ්‍ය සේවක වෘත්ත

මෙන්න අලුත්ම ප්‍රශස්තිය - යුවරජා ඔබ

(2009 සැප්තැම්බර් 27 - W3Lanka) මෙන්න ලංකාවේ අලුත්ම ප්‍රශස්ති රැල්ලේ අලුත්ම ගීතය. ගීතය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටයි. මෙවර ගායනයෙන් ගොඩ යන්නේ අමිල පෙරේරා සහ නිශාන්ත කල්පගේයි. සංගීතයෙන් ගොඩ යන්නේ ශාන්ත ජයලත් තිසේරායි. ලිව්වේ කවුරුදැයි මෙම වීඩියෝවේ සඳහන් වන්නේ නැත. උපහාර උත්සව සූදානම්වෙමින් තිබේ. මීළඟ ගීතය බැසිල්ටයි. එය නිර්මානය කරන අය වහා ඉදිරිපත් වන්න. ඊළඟ එක නාමල්ටයි. එය ගැනත් සිතන්න. කලාකරුවනි, යුව රජුන් පත් කර ගැනීම රජුටම පවරන්න. යුවරජුන් වීමට සිටින වෙනත් අය තරහා වුවහොත් ඔන්න අපි නම් දන්නේ නැත. රජුන් ඇසුර සැප මෙන්ම භයානක ද විය හැකි බව පැරණි සාහිත්‍යයේ ඇත. මෙය යූටියුබ් දැමූ අය කියන පරිදි මෙතෙක් බිහි වූ හොඳම ගීය මෙයයි. එතකොට සහේලි රෝචනා ගමගේ මහරජාණන් ගැන කී එක මීට වඩා පල් විය යුතුය. ඔන්න අපි නම් ඔවා ගැන දන්නේ නැත. ඔයගොල්ලන්ගෙ මැට්ටං තම්මැට්ටං නෙමෙයිනේ. ජයවේවා! ජයවේවා! ඔහොම යං!

ඉස්ලාම් අත්හැර ක‍්‍රිස්තියානියට හැරී ප‍්‍රසිද්ධියට පත් ලාංකික රිෆ්කාගේ කතාව

Image
ෆාතිමා රිෆ්කා බාරි යනු එක්සත් ජනපදයේ ඔහියෝ ප‍්‍රාන්ත රාජ්‍යයෙහි ජීවත් වූ 17 හැවිරිදි ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති යව්වනියක්. ඇය පසුගිය දිනවල එරට ජනමාධ්‍යවල පුවතක් නිර්මානය කළා. උපතින් ඉස්ලාම් දහම හිමි මුස්ලිම් අයෙකු වූ ඇය පසුගියදා ක‍්‍රිස්තියානිය වැළඳගෙන තිබෙනවා. එය ඇගේ ෆේස්බුක් විස්තරයෙන් සිය පවුලේ අය දැන ගැනීමෙන් පසු ඇය ෆ්ලොරිඩා රාජ්‍යය වෙත පළා විත් තිබෙනවා. ඇය සහ ඇමරිකාවේ ශුභාරංචි ක‍්‍රිස්තියානි නිකායිකයන් පවසන්නේ ඇගේ දෙමාපියන් ඇය ලංකාවට ගෙන ආවොත් ඇය නියත වශයෙන්ම පවුලේ ගෞරවය වෙනුවෙන් මරා දැමෙනු ඇති බවයි. කුරානයේ මෙවැනි ගරුත්වය වෙනුවෙන් කරනු ලබන මරණ පිළිගන්නා බව හා ලංකාවේ ශුභාරංචි ක‍්‍රිස්තියානි නිකායිකයන් ඝාතනයට ලක් වන බව ඇතැම් එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරනවා. ලොව පුරා මෙවැනි ගරුත්වය වෙනුවෙන් කෙරෙන මරා දැමීම් 5000ක් පමණ වසරකට සිදු වන බව ඔවුහු එක්සත් ජාතීන්ගේ ජනගහණ වාර්තා උපුටා දක්වමින් පවසනවා. මේ අතර මේ යව්වනියගේ මවිපියන් වන මොහොමඞ් සහ අයිෂා බාරි පවසන්නේ සිය දියණිය මුරණ්ඩු ගතිගුණ ඇත්තියක බවයි. මොහොමඞ් ස්වර්ණාභරණ වෙළෙන්දෙක්. රිෆ්කාට තර්ජන ඇති බවට විශ්වාස කළ හැකි වාර්තා නැති බව ෆ්ල

ඉන්දියාවේ චීන භීතිකාව: මුහුදේ සහ ගොඩබිම ‘රතු අනතුර‘

Image
ඉෂාන් තරූර් සැප්තැම්බර් 20දා ටයිම් සඟරාවට ලියන ලද ලිපියක ඡායානුවාදයකි. ඉන්දියාවත් චීනයත් අතර දිගු කාලයක් තිස්සේ තිබෙන භූමි සීමා ගැටළු පිළිබඳ පවත්වන ලද තවත් සාකච්ඡා වටයක් පසුගිය ග‍්‍රීෂ්ම ඍතුවේදී අසාර්ථකව අවසන් විය. එම සාකච්ඡා අරම්භ වද්දී ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ හිමාල අඩවියේ දේශ සීමාවල දරුණු ගැටුම් ඇති වන බවයි. එහෙත් දෙපාර්ශ්වයේම බලධාරීහු මෙය ප‍්‍රතික්ෂේප කළහ. ඉන්දීය මාධ්‍යයන්හි ඇතැම් බලවේග දිනපතාම වාගේ පෙන්වා දෙන්නේ චීනය ඉන්දියාවේ නැඟීම මෙල්ල කිරීමට කුමන්ත‍්‍රණ කරන බවයි. මෙම කරුණ ඔප්පු කිරීම සඳහා ඔවුන් ඉවහල් කර ගත්තේ චීන රාජ්‍ය මාධ්‍ය විසින් මෑතදී පළ කරන ලද උඩඟු කතුවැකි කීපයකි. පසුගිය සතියේ ප‍්‍රධාන ඉන්දීය ජනමාධ්‍ය චීනයේ අතික‍්‍රමණයන් හැඳින්වීම සඳහා පාවිච්චි කළේ ‘රතු උවදුර‘ හා ‘මකරාගේ ප‍්‍රවේශය’ වැනි යෙදුම්ය. 1962දී දේශසීමා ප‍්‍රශ්නයක් මත චීනය ඉන්දියාව සමග යුද වැදුණේය. එහෙත්, චීනය අද වන විට ඉන්දියාවේ විශාලතම වෙළඳ සහකරුවායි. එහෙත් දෙරට අතර කර්කශ අතීතය තවමත් හොල්මන් කරයි. බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන් විසින් සලකුණු කරනු ලැබූ දේශ සීමාව නොපිළිගන්නා චීනය  ඊසානදිග ඉන්දියාවේ සමස්ත අරුණාච

මතට තිත නිසා රැකියා අහිමි වෙතැයි සුරාබදු නිළධාරීහු අසහනයේ

(2009 සැප්තැම්බර් 26 - W3Lanka )  මහින්ද රාජපක්ෂ පාලනය විසින් ළඟදීම මතට තිත තබන බැවින් සුරා බදු නිලධාරීන් මහත් අසහනයට පත් වී සිටින බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙසේ අසහපයට පත් වී සිටින පුෂ්ප කුමාර සිල්වා නමැති එක් සහකාර සුරා බදු කොමසාරිස්‌වරයකු පසුගිය 16 වැනිදා පස්‌වරු 2.30 ට පමණ යුනියන් පෙදෙසේ පිහිටි අවන්හලකට පැමිණ විකිණීමට තිබූ මත්පැන් බෝතලයක්‌ ගෙන එහි සේවය කළ සේවකයකුගේ හිසට වත්කර පහර දීමෙන් මේ වන විට එම සේවකයා කොළඹ අක්‌ෂි රෝහලේ ප්‍රතිකාර ලබන බව පෙන්වා දෙමින් පොලිසිය අදාළ නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කළේය.  සැකකරු රුපියල් දෙලක්‌ෂ විසිපන් දහසක මුදල් හා ශරීර ඇප මත මුදාහැරීමට කොටුව අතිරේක මහෙස්‌ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා (24 දා) පස්‌වරුවේ නියෝග කළේය. ඔහු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ රියන්සි අර්සකුලරත්නයි.  රජයේ මතට තිත හා මසට තිත වැනි ප්‍රතිපත්ති හේතුවෙන් මෙසේ අසහනයට පත් වන සේවකයන් වෙනුවෙන් විකල්ප වැඩසටහන් දියත් කිරීමේ අවශ්‍යතාව අපි රජයට පෙන්වා දෙමු. නැතිනම් මසට තිත නිසා රැකියා අහිමි වීමට නියමිත මිනිසුන් පාරිභෝගිකයන්ට එරෙහිව පිහි අමෝරා ගන්නට පවා ඉඩ ඇති බව පෙනේ. මේ අයට

මෙන්න ආණ්ඩුවේ අලුත්ම බඩා ගැහිල්ල; ගණ පූර්ණ කෙළිය

Image
(2009 සැප්තැම්බර් 26 - W3Lanka ) ලංකාවේ ආණ්ඩුවේ නවතම සෙල්ලම පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය නැති කර විපක්ෂය අපහසුතාවට පත් කිරීමද යන සැකය මතු කරන සිද්ධියක් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු විය. සිද්ධිය වූ ආකාරය අද දිනමිණ පුවත්පත වාර්තා කළේ මෙසේයි.  සභා ගැබෙහි ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ යෝජනාව ඊයේ (25) පස්වරුවේ විවාදයට නොගැනිණි. සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කැර තිබුණේ රවි කරුණානායක මහතාය.  ඒ මහතා යෝජනාව ඉදිරිපත් කිරීමට නැගී සිටි මොහොතේ සභාවේ ගණ පූර්ණය නොමැති බවට මගී ප්‍රවාහන සේවා ඇමැති ලසන්ත අලගියවන්න මහතා මුලසුනට පෙන්වා දුන්නේය. මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක පියංකර ජයරත්න මහතා මන්ත්‍රීවරුන් කැඳවීම සඳහා සීනුව නාද කිරීමට ලේකම් මණ්ඩලයට උපදෙස් දුන්නේය. සීනුව නාද වීමත් සමඟ සභා ගැබට මන්ත්‍රීවරුන් පැමිණියද එම සංඛ්‍යාව ගණ පූර්ණයට ප්‍රමාණ නොවන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති හුසේන් බහිලා මහතා මුලසුනට පෙන්වා දුන්නේය. දෙවන වරද සීනුව හැඩවිණ. එවරද ගණ පූර්ණය සම්පූර්ණ නොවීම නිසා ඔක්තොම්බර් අටවැනි

වැඩිදුර ඉගෙනගන්න රට ගිය දොස්තරලා 215ක් ගල් වෙලා

Image
(2009 සැප්තැම්බර් 26 - W3Lanka) 1994 සිට වැඩිදුර අධ්‍යපනය සඳහා යයි කියමින් විදේශගත වූ වෛද්‍යවරුන් 1915ක් අතරින් 215ක් ගල් වී හෙවත් ආපසු නොපැමිණ එහි නතර වී ඇති බව සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. නිදහස් අධ්‍යාපනය ඔස්සේ වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා වසර පහක් පුරා වැය කරන මහජන මුදලට අමතරව මේ හොරුන් සඳහා රජය එකාට මිලියනය ගානේ වැය කර තිබේ. මේ දොස්තර හොරුන්ගෙන් 67දෙනෙක් තවමත් රජයට විදේශගත වීමේදී තැබූ පොලු බේරා නැත. රු. මිලියන 107ක් තවමත් ඔවුන්ගෙන් අය කර ගැනීමට තිබෙන බව සෞඛ්‍ය ඇමති පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳ මුනිවත රකියි.

කරගාටකාරන් කෙසෙල් විහිළුව හා ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය

අජිත් පැරකුම් ජයසිංහ - කරගාටකාරන් (නැට්ටුක්කාරයා) නම් ගංගෛ අමරන් අධ්‍යක්ෂණය කළ දෙමළ චිත්‍රපටයෙහි ගවුන්ඩමනි සෙන්දිල්ට රුපියලක් දී කෙසෙල් ගෙඩි දෙකක් ගෙන එන්නට කියයි. සෙන්දිල් මගදී එක් ගෙඩියක් කා ඉතිරි එක ගවුන්ඩමනිට ගෙනැවිත් දෙයි. අනෙක් ගෙඩිය කොහෙදැයි ගවුන්ඩමනි අසයි. ඔය තියෙන්නේයි ගවුන්ඩමනි අතෙහි ඇති කෙසෙල්ගෙඩිය පෙන්වමින් සෙන්දිල් කියයි. ගවුන්ඩමනී ඔහුට වඩාත් සරළව පැහැදිලි කර දී අනෙක් ගෙඩිය කොහිදැයි අසයි. සෙන්දිල් කියන්නේ ඔය තියෙන්නේ කියායි. ගවුන්ඩමනි කෝපයට පත්ව සෙන්දිල්ට පහර දීමට ගිය විට ඔහු වළක්වන ඔහුගේ මිතුරෙක් සෙන්දිල්ට වඩාත් සරළව පැහැදිලි කර දෙයි. සෙන්දිල් තමන්ට තේරෙන බව කියයි. ඉන් පසු ඔහු නැවතත් අනෙක් කෙසෙල් ගෙඩිය කොහිදැයි අසයි. සෙන්දිල්ගේ පිළිතුර ඔය තියෙන්නේ කියායි. වඩාත් කුපිත වන ගවුන්ඩමනි ඔහුට පහර දීමට යන විට කාන්තාවක පැමිණ එය වළක්වා වඩා කරුණාවෙන් සෙන්දිල්ට කියා දී අනෙක් කෙසෙල් ගෙඩිය කොහිදැයි අසයි. එහෙත් ලැබෙන්නේ ඔය තියෙන්නේ යන සුපුරුදු පිළිතුරමය. අන්තිමේදී ගවුන්ඩමනි කෝපය මැඩගෙන මෙසේ පැහැදිලි කරයි.     ග: මම උඹට මොනවද ගේන්න කීවෙ?     සෙ: කෙසෙල් ගෙඩි දෙකක්     ග: මම උඹ

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රජය පක්ෂ නැහැ. රජයේ ආයෝජන මණ්ඩලය පක්ෂයි

(2009 සැප්තැම්බර් 25 - W3Lanka) පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම ලංකාවේ රජයේ ප්‍රතිපත්තියක් නොවන බව ද, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් බව ද උසස් අධ්‍යාපන ඇමති විශ්වා වර්ණපාල ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.  එහෙත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රජයේ ව්‍යාපෘතියකි. මාලබේ වෛද්‍ය විද්‍යාලයේ උපාධිය රජය පිළිගන්නා බව ද ඇමතිවරයා පැවසීය. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රුසියාවේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධය. ළඟදී අධ්‍යයන කටයුතු ඇරඹීමට නියමිත මෙම විශ්වවිද්‍යාලයේ පළමු කණ්ඩායම ලෙස සිසුන් 100ක් බඳවා ගැනීමට නියමිතය. මෙම විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබාගැනීම සඳහා රු. ලක්ෂ 55කට වඩා වැය කළ යුතුය.  එක්සත් ජනපදයේ හෝ ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වීමටම මෙවැනි මුදලක් වැය වේ. අවුරුදු පතා සිය ගණනක් ලාංකික සිසුවෝ වෛද්‍ය උපාධි සඳහා විදේශගත වෙති.  ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සභා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස විරෝධය පළ කරයි. විශ්වවිද්‍යාල පෞද්ගලීකරණයට මෙම බලවේග විරුද්ධ මුත් ම

මහජන දේපල පරිස්සම් කර ගනියෝ‍! ජයසුන්දර එනෝ!

Image
(සැප්තැම්බර් 25, 2009 - W3Lanka) වරාය අධිකාරියට හිමි ඉඩමක් ජෝන් කීල්ස් සමාගමට පැවරීමේදී රජයට පාඩු සිදු කිරීමේ චෝදනාවට වරදකරු වී ලක්ෂ පහක වන්දියක් ගෙවූ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ළඟදීම යළි එම තනතුරට පත් වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.  හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වාගේ ඇණවුම පරිදි ඉදිරියේදී කිසිදු රජයේ තනතුරක් භාර නොගන්නා බවට ජයසුන්දර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද දිවුරුම් පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට ඉඩ දීමට ඊයේ ඔහුගේ ඉල්ලීමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් බහුතර කැමැත්ත මත එකඟත්වය පළ කරන ලදී. අග්‍ර විනිශ්චයකාර අසෝක ද සිල්වා විසින් සභාපතිත්වය හොබවන ලද මෙම විනිසුරු මඬුල්ලේ ආචාර්ය ශිරානි තිලකවර්ධන විනිසුරුවරිය පමණක් මෙම තීන්දුවට එකඟ නොවූවාය.  යළිත් මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය භාර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගෙන් ඉල්ලා ඇති බව ජයසුන්දර ශ්‍රේෂ්ථාධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමේ සඳහන් කරයි.  ජයසුන්දර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීප හිතවතකු වන අතර ඔහු වරදකරු වූ මානව හිමිකම් නඩුව ගොනු කරනු ලැබුවේ ර

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය පිලිබදව ජාතික මට්ටමේ සමීක්ෂණයක්

Image
(සැප්තැම්බර් 24, 2009 - W3Lanka) ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය පිලිබදව ජාතික මට්ටමේ සමීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන ඇත. රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ කර්මාන්තයේ (IT-BPO) යෙදී සිටින ආයතන මෙම සමීක්ෂණයට ලක් කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. එම්. ජී. කන්සල්ටන්ට්ස් ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදු කරනු ලබන අතර එම ආයතනයේ අධ්‍යක්ෂ රංජිත් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර යන මහත්වරු අදාල ගිවිසුමට අත්සන් කළහ. ශ්‍රී ලංකාවේ සංවර්ධනය කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය අතිශය වැදගත් සාධකයක් බවට පත්වෙමින් තිබෙන යුගයක මෙවැනි සමීක්ෂණයක් සිදු කිරීම ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කිරීම සදහා මනා පිටු බලයක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්රමධාන මෙහෙයුම් නිළධාරී රෙෂාන් දේවපුර ප්‍රකාශ කරයි.

කොටි ගුවන් යානා 10ක් එරිත්‍රියාවේ සිට ගෙන එන්න සැලසුම් කරලා

Image
(සැප්තැම්බර් 24, 2009 - W3Lanka) එල්.ටී.ටී.ඊ. සංවිධානය එරිත්‍රීයාවේ සිට ගුවන් යානා 10ක් ‍කොටස් වෙන් කර රැගෙන ඒමට සැලසුම් කර තිබූ බව ද, එහෙත්, යුද්ධය ඔවුන් බලාපොරොත්තු වූ තරම් දිග්ගැසුණේ නැති බැවින් මෙම සැලසුම ව්‍යර්ථ වූ බව ද දැනට අත්අඩංගුවට පත් වී සිටින කොටි නායක කේ.පී.ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බව යුද හමුදා ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ඉන්දියාවේ හින්දුස්ථාන් ටෛම්ස් පුවත්පත පවසයි. මෙම ගුවන් යානා පැදවීම පිණිස අඩු වශයෙන් නියමුවන් 12ක්වත් මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ පුහුණු කර තිබෙන බව ද ඔවුන්ගෙන් දෙදෙනෙක් අත්අඩංගුවට පත් වී ඇති බව ද එම හමුදා නිලධාරියා පවසා තිබේ. ගුවන් යානා පැදවීම පුහුණු කිරීමේදී යොදා ගනු ලබන නියමු කුටියක නිදර්ශකයක් ද වන්නියේ සෝදිසි මෙහෙයුම්වලදී සොයා ගත් බව හමුදා නිලධාරියා පවසා ඇත.

Lanka Polity අද සිට: හිතන්නෙ පීඩිත සිංහලෙන්. ලියන්නෙ කඩ්ඩෙන්.

(2009 සැප්තැම්බර් 24 -W3Lanka) 'ජනමාධ්‍යකරුවාගේ කාර්යභාරය වාර්තා කිරීම පමණයි; තීරණය ග්‍රාහකයා අතේය' කියන මිථ්‍යාව අපි පිළිගන්නේ නැහැ. ග්‍රාහකයාට ඔනෑ විදියකට පිළි ගන්න පුළුවන්. ඒත්, මාධ්‍යකරුවා හැම විටම වාර්තාකරණයේදී මැදිහත් වෙනවා. යම් සිද්ධියක් ප්‍රවෘත්තියක් බවට පත් වන්නේ මාධ්‍යකරුවාගේ තෝරාගැනීම අනුවයි. එසේම ප්‍රවෘත්තිය ඉදිරිපත් කරද්දී එකතු කරන හා ඉවත ලන කරුණු විසින් ග්‍රාහකයාට තීරණ ගත යුතු ආකාරය පිළිබඳ බලපෑමක් කරනවා. මේක අහිංසක වැඩක් නෙමෙයි. අපි නම් කෙළින්ම පොල්ලෙන් ගැහුවා වගේ මේ වැඩේ කරනවා. වෘත්තිකමය හෙවත් ප්‍රොෆෙෂනල් විදියට මේ වැඩේ කරන අය කියාවි මේක පුවත්පත් කලාව නෙමෙයි කියලා. ඉතින් අපට මොකෝ? ඒක නෙමෙයි, W3Lankaගේ සහෝදර ඉංග්‍රීසි වෙබ් අඩවිය වන Lanka Polity (www.lankapolity.com) අද සිට විධිමත් ප්‍රවෘත්ති පළ කිරීමක් ආරම්භ කරනවා. අපේ දැක්ම එහෙමමයි. මේ තමයි ප්‍රොෆෙෂනල් නොවන ඉංග්‍රීසි පුවත්පත් කලාවේ සිංග්ලිෂ් පිටුව. හිතන්නෙ පීඩිත සිංහල විධියට. ලියන්නෙ කඩ්ඩෙන්. උදව්වක් වශයෙන් මේ ගැන අනෙක් අයටත් කියන්න.

මාතර අධිවේගී පාරේ පාලමක කෑලි හැලී පෝද්දල ගමක් නොසන්සුන්

(2009 සැප්තැම්බර් 24 -W3Lanka) මහා පරිමාණ වංචා දූෂණ හේතුවෙන් පාලම් 30ක් ප්‍රමිතියෙන් බාල බව තහවුරු වී තිබෙන, තවත් බෝක්කු රැසක් පිළිබඳ ගැටළු පවතින මාතර-කොළඹ අධිවේගී මාර්ගයේ තවත් පාලමක කෑලි හැලීම නිසා ඊයේ සිට ගාලු දිස්ත්‍රික්කයේ ගම්වැසියන් පිරිසක් නොසන්සුන් තත්වයට පත් වී සිටිති. පෝද්දල නරාවල වලවත්ත ගම්මානයට යන පිවිසුම් මාර්ගය වැටී ඇත්තේ කොංක්‍රීට් පදාස බැගින් කෑලි හැලෙන මෙම පාලම යටින්ය. මීට පෙර අවස්ථාවකදී ද මේ ආසන්නයේ පාලමක් සිරුර මත කඩා වැටීමෙන් ප්‍රදේශයේ තරුණයකු මරු මුවට පත් විය. මෙම මාර්ගය වාහන ධාවනය සඳහා විවෘත කිරීමටත් පෙර තත්වය මෙසේ නම් කවදා හෝ මෙය විවෘත කළ පසු යන එන වාහනවලටත්, ඒවායේ මගීන්ටත්, මේ පාරේ පාලම් යටින් යන එන අයටත් බුදු සරණයි! දෙවි පිහිටයි!

පාර්ලිමේන්තු රැස්වීම් කට් කරන්න ආණ්ඩුවයි යූඇන්පියයි අතර හොර ගිවිසුමක්

(2009 සැප්තැම්බර් 24 - W3Lanka) පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්ථාවේදී ඝනපූරණය පිළිබඳ ප්‍රශ්න මතු නොකර සිටීමට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවත් සමග ජනතාවට හොරෙන් එකඟ වී තිබූ බව වාර්තා වේ.  මහජන මුදලින් සුර සැප විඳින ඇමතිවරු හා මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීම් මගහැර යාම හේතුවෙන් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී මග නැඟුම ව්‍යාපෘතිය පිළිබඳ විවාද‍ය අතරතුර ඝනපූරනය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරු 20 සභා ගැබේ නොසිටීම හේතුවෙන් මහාමාර්ග ඇමති ඩබ්. බීත ඒකනායකගේ පිළිතුරු කතාව නවතවා සභාව කල් තබන ලදී.  ආණ්ඩුව සමග හොර ගිවිසුම උල්ලංඝනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ රවි කරුණානායක මන්ත්‍රීවරයා ඝනපූරණ ප්‍රශ්නය මතු කිරීම පිළිබඳ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධනට කණගාටුව ප්‍රකාශ කර තිබේ.  මහජන මුදල්වලට වන නාස්තියට නම් සොරි කියන්නට කිසිවෙක් නැත. රජයේ සේවකයකු වැඩට ඒමට විනාඩියක් පමා වුණත් රජය පඩි කපයි. එහෙත්, කපුවන් දේවාලයේ මළපහ කරන්නේ දෙපක්ෂයේ කපුවන් මුහුණට මුහුණ බලාගෙන ඇස් ගහමිනි. ජනතාවට ඉතින් හැමදාම සොරිම තමාය.

පාර්ලිමේන්තුවේ ඝනපූරණය නැහැ: මේකට කරන වියදමින් කිරි නිෂ්පාදනය නැංවුවා නම් නරකද?

Image
(2009 සැප්තැම්බර් 23 - W3Lanka) ඊයේ මගනැඟුම පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ආණ්ඩුව‍ වෙනුවෙන් මහාමාර්ග ඇමති ඩබ්. බී. ඒකනායක පිළිතුරු දීමට සූදානම් වෙද්දී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු රැස්වීම පවත්වාගෙන යාමට අවශ්‍ය අවම මන්ත්‍රී සංඛ්‍යාව හෙවත් ඝනපූරණය වන 20ක් නැති බව පෙන්වා දීමෙන් පසු මන්ත්‍රීන් කැදවීමේ සීනුව නාද කරන ලදී.  එහෙත් ගරු මන්ත්‍රීවරුන් විස්සක් නොපැමිණි නිසා පාර්ලිමේන්තුව කල් තැබීමට සිදු විය.  පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් විතර ඉන්නේ ආණ්ඩුවේය. ඇමතිවරුම එකසිය ගණනකි. රැස්වීමකටවත් හරි හැටි සහභාගි නොවන මොවුන් නඩත්තු කිරීම සඳහා මහජන මුදලින් කරන වියදම ලංකාවේ කිරි නිෂ්පදනය ඉහළ නැංවීම සඳහා යෙදවූයේ නම් රටට මහත් ප්‍රයෝජනයක් වීමට තිබිණි.  හිතාමතාම ඝනපූරණය නැති කිරීම පිළිබඳ අපි විපක්ෂ්‍යට දොස් නොකියමු. මන්ද එය ඔවුන් රජයට විරෝධය පෑම සඳහා පාවිච්චි කළ උපක්‍රමයක් බැවිනි. පාර්ලිමේන්තුවේ ඝනපූරණය තියා ගැනීමටවත් බැරි වුණ ද රටේ ජනාධිපතිට පාර්ලිමේන්තු කටයුතු සඳහා උපදේශකවරු පවා සිටිති.

අනේ ලංකාවෙ බිස්නස් ක්ලාස් එක දන්න පාක් ඇන් රයිඩ්!

Image
(2009 සැප්තැම්බර් 23 - W3Lanka) ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක බව රැක ගැනීමට යයි කියමින් හඳුන්වා දුන් කටුබැද්දේ මොටෝ රිය නවතා කොළඹ දක්වා සුඛෝපභෝගී බසයෙන් යා හැකි සල්ලිකාරයන්ගේ හෙවත් බිස්නස් ක්ලාස් එකේ පාක් ඇන් රයිඩ් සේවාව දැන් නියම සුදු අලියෙක් වී තිබේ. පසුගිය මාර්තු මස මෙය ආරම්භ කළ අතර "මාර්තුවල ඉඳන් සැප්තැම්බර් දක්වා මගීන් 12 ක් විතර තමයි හිටියේ" යි ප්‍රවාහන ඇමති ලසන්ත අලගියවන්න පවසයි.  "ඒත් දැන් මගීන් 40 දක්වා සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා," යි ද සැප්තැම්බර් 23දා දිනමිණ පුවත්පතට කී ඔහු මොරටුව -කොළඹට අමතරව හයිලෙවල් පාර, මීගමු පාර වැනි පාරවල් වලත් මේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව පවසයි. මේ අතර නිල් පාට අලුත් සුඛෝපභෝගී හිස් බස් ඉන්ධන පුළුස්සාගෙන, මාර්ග තදබදය වැඩි කරමින්, පාරවල් අබලන් කරමින් මාර්ගවල සැරිසරනු ගාලු පාරේ බස්වල ‍ටින් මාළු සේ තෙරපෙමින් වවුලන් සේ එල්ලී යන ජනයාට දකින්නට ලැබේ. පාක් ඇන් රයිඩ් සාර්ථක නොවන්නට ප්‍රධාන හේතුව අපේ රටේ ඉහළ මධ්‍යම පංතියට හා ධනපති පංතියට සංස්කෘතියක් නැතිකමයි. ප්‍රධාන වශයෙන් ම ජනතා දේපල මංකොල්ලකෑමෙන් හා ගසාකෑමෙන් තර වන මෙම සමාජ තීර

කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

Image
(2009 සැප්තැම්බර් 23 - W3Lanka) බාලසූරිය කංකානමලාගේ අභය පද්මසිරි බාලසූරිය  මහනුවර මල්වතු පාර්ශවයේ භික්ෂුන් වහන්සේ නමකට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ දේපළ නඩුවක් පැවැරීය. එම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම ප්‍රශ්නගත වු බැවින් එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කරන ලෙස පැමිණිලිකරු අභියාචනය කළේය. මෙකල අභියාචනාධිකරණයේ සභාපති ධුරය හෙබවූ අගවිනිසුරු සරත් නන්ද සිල්වා පැමිණිලිකරුට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නඩුව මාරු කිරීමේ මුල් නියෝගය අවලංගු කළේය. හිටපු අගවිනිසුරුවරයා, මහනුවර දිසා-විනිසුරුවරයා , භික්ෂුන්වහන්සේ සහ නඩුවට අදාල සමාගම් නියෝජිතයා නිතර හමුවන අය බැවින් තමනට අගතියක් වෙතැයි සිතූ පැමිණිලිකරු සිය නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුව යොමු කිරීමෙන් පසුව නඩුව යළිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර මේ ක්‍රියාදාමයෙන් එවකට අභියාචනාධිකරණ සභාපති වූ සරත් නන්ද සිල්වා වෛර බැඳගත් බව අභය පද්මසිරි බාලසූරිය සඳහන් කරයි.  මේ වෛරය පිරිමසාගැනීම පිණිස 2

අනර්කලී අක්කිට ඇයි මෙහෙම කරදර

Image
(2009 සැප්තැම්බර් 23 - W3Lanka) අනර්කලී අක්කිට මුතුහෙට්ටිගම අයියා ඇතුළු ගාලු දිස්ත්‍රික්කයට තරග කරන ඇතැම් සන්ධාන අපේක්ෂකයන්ගෙන් තරදරය. එක්සත් ජාතික පක්ෂයේ දයාසිරි, මනුෂ වගේ අයියලා ද එයාට අපහාස කතා කියති. රඟපානවා කියන්නේ වෙනින් මොකක්ද අමුතු දෙයක් කරනවා වගේ ස්වරයකින් රංජන් රාමනායක අයියා කියන්නේ "එයා ඉතින් මා එක්ක රඟපාපු එක්කෙනානෙ" කියායි. අප නම් කියන්නේ අනර්කලී අක්කිත් ලංකාවේ අනෙකුත් දේශපාලකයන් වගේම ඒ වැඩේට නුසුදුසු කෙනෙක් බවයි. වැඩි නුසුදුසුකමකට තියෙන්නේ ඇය ගැහැනියක වීම පමණයි. නුසුදුසු නායකයන්ව ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඡන්දය දීලා පත් කරගන්න මේ රටේ මහජනතාවත් ඇත්තෙන්ම කිව්වොත් ඡන්දදායකයන් වෙන්න සුදුසු අය නොවෙයි. ඒත් ඉතින් මක් කොරන්නද? සුද්ද දීල ගියපු සර්ව ජන ඡන්ද බලේනෙ. මොකෝ එපා කියන්නයැ.  ගැහැනියක වන අනර්කලී අක්කිට සපෝට් එකක් වශයෙන් අපි අපේ පරණ බ්ලොග් පෝස්ට් එකක් නැවත පළ කරනවා. කියවලා බලන්න. අනර්කලී: දකුණු පළාත් ඡන්දයේ දිදුලන තරුව අජිත් පැරකුම් ජයසිංහ විසිනි ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශා මාතර දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම බොහෝ දෙනෙකුගේ උප

මට ආසයි දූෂිත නිලධාරියෙකු වෙන්න

Image
(2009 සැප්තැම්බර් 23 - W3Lanka) පසුගිය සැප්තැම්බර් 1දා චීනයේ අලූත් පාසල් වාරය ආරම්භ වූ අවස්ථාවේදී ගුවාන්ෂෞහි සදර්න් මෙට්‍රොපොලිටන් ඬේලි පුවත්පත පළමු ශ්‍රේණියේ සිසු දරුවන් පිරිසක් සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි කර ගත්තා. එහිදී එක් දැරියක් සිය අනාගත බලාපොරොත්තුව (රජයේ) නිලධාරියකු වීම බව පැවසුවා.  කුමන අන්දමේ නිලධාරියකුදැයි මාධ්‍යවේදියා ඇසූ විට ඇය කීවේ ඇයට උවමනා දූෂිත නිලධාරියකු වන්නට බවයි. එවැනි අය ළඟ හොඳ හොඳ දේවල් ඇතැයි ද ඇය පැවසුවා. චීනයේ ජනමාධ්‍ය හරහා විකාශය වූ මෙම සම්මුඛ සාකච්ඡාව දැන් යූටියුබ් ඔස්සේ අපටත් නරඹන්න පුළුවන්. අයිෆෙං වෙබ් අඩවියේ මේ පිළිබඳ අදහස් දක්වන එක් පාඨකයකු මෙම සිද්ධිය සම කරන්නේ  රජ්ජුරුවන්ගේ සීතාම්බර සළුවේ කතාවට. වැඩිහිටියන් සළුවේ රුව වර්ණනා කරද්දී රජතුමා හෙළුවෙන් බව කීවේ කුඩා දරුවෙක්.

අ‍පේ තෙලට ඉරානයේම පිහිටයි

Image
(2009 සැප්තැම්බර් 22 - W3Lanka) සියයට 0.5 සහන පොලියක් මත ලංකාවට තවත් වසරක කාලයක් සඳහා ණයට ඉන්ධන ලබා දීමට ඉරානය කැමැත්ත පළ කර තිබේ. 2008 ජනවාරි සිට 2009 අගෝස්තු 31 දක්වා මෙම ණය සැපයීමට 2007 නොවැම්බරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරානයේ චාරිකා කළ අවස්ථාවේදී ඉරානය එකඟ විය. මෙම ණය යටතේ 2008 වසරේදී පමණක් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.05ක ඉන්ධන ආනයනය කළාය. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට තෙල් බැරල් 50,000 සිට 100,000 දක්වා වැඩි කිරීම සඳහා එය නවීකරණය පිණිස ඉරානය ලංකාවට ඩොලර් බිලියන 1.05ක ආධාරයක් සපයයි.

සංස්කෘතික අමාත්‍යංශයේ හොල්මන්කාරයෝ මැරුණු අයටත් ආරාධනා යවති

Image
(2009 සැප්තැම්බර් 22 - W3Lanka) පසුගියදා පොළොන්නරුවේදී පැවැත්වුණු 2009 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලට ඇරැයුම් ලැබූවන් අතර මීට වසර 11කට පෙර මිය ගිය රුහුණු විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශ ප්‍රධානී අලවත්තේගොඩ ප්‍රේමදාස මහතා ද සිටියේය. විශිෂ්ට ලේඛකයකු හා විද්වතකු වූ එතුමාට මෝටර් රිය ඇතුල් කිරීමේ අවසරපතක්ද නිකුත් කිරීමට සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය කාරුණික වී තිබේ.  කොළඹදී පැවැත්වුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ජනාධිපතිතුමා පුටුවෙන් වැටීම පිළිබඳව ආන්දෝලනයක් තිබෙන අතර, ඉහත කී ඇරැයුම් පත ද නිකුත් කළ සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් ජී.එල්.ඩබ්. සමරසිංහ පසුව තනතුරින් ඉවත් කරන ලදී. 

අනාථයන් නිදහස් කරන්න බලපෑම් කරන්න තවත් එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් හෙට එයි

Image
(2009 සැප්තැම්බර් 22 - W3Lanka) ලක්ෂ තුනක් පමණ වන කඳවුරුවල රඳවාගෙන සිටින දෙමළ සරණාගතයන් නිදහස් කරන ලෙස බලපෑම් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ සරණාගත අයිතිවාසිකම් පිළිබඳ දූත වෝල්ටර් කලින් බදාදා ලංකාවට පැමිණීමට නියමිතය.  ලංකාවේ ප්‍රශ්නය නිසි පරිදි මෙහෙයවූයේ නැති බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත බටහිර ජාතීන් වෙතින් චෝදනා එල්ල වී තිබේ.  ලංකාවේ නායකයන් සමග සාකච්ඡා කරන කලින් අනාථ කඳවුරු බැලීමට යාමට ද නියමිතය. කොටි නායකත්වය සමූලඝාතනය කර යුද්ධය අවසන් කිරීමට පෙර පසුගිය අප්‍රේල් මාසයේදී ද වෝල්ටර් කලින් ලංකාවට පැමිණියේය. ගිය සතියේ එක්සත් ජාතීන්ගේ දේශපාලන ප්‍රධානි ලින් පැස්කෝ ද ලංකාවේ චාරිකා කළේය. අනාථයන් යළි පදිංචි කිරීම පිළිබඳව රජය හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් අතර මැයි මාසයේ ඇති වූ එකඟත්වය අනුව යන ප්‍රමාණවත් වේගයකින් රජය කටයුතු නොකරන බව කී පැස්කෝ යුද්ධයේ අවසන් සමයේ රජයේ හමුදා අතින් සිදු වූ සීමාව ඉක්මවා යාම් පිළිබඳ සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

එන්න සාහිත්‍යය කන්න; තෝකියෝ පොත් සල්පිලේ සිට කම්මැල්ලවීර නොදන්නා ගුරුවරුන් දක්වා

Image
අජිත් පැරකුම් ජයසිංහ - මීට දස වසරකට ඉහත එක් සරත් ඍතුවක ජපානයේ තෝකියෝහි පැවැත්වුණු ජාත්‍යන්තර පොත් සල්පිල බලන්නට යාමේ අවස්ථාවක් මට ලැබිණි. ජපානය සම්ප‍්‍රදායිකවම සෑහෙන්න පොත් පත් කියවන මිනිසුන්ගෙන් පිරි රටකි. එහි පොත් සල්පිල පැවැත්වුණේ පොත් ප‍්‍රකාශන ආයතන හා පොත්හල් බහුල වීදියකයි. එය පොත් සැණකෙළියක් වූ අතර සෑම තරාතිරමකම ජනයා එහි පැමිණියහ. ඒ වන විට කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රද්ර්ශනය ආරම්භ වී නොතිබුණු අතර, පොත් එතරම් මහජන ආකර්ශනයක් වී තිබීම මගේ විස්මයට තුඩු දුන්නේය. එහෙත් දැන් අපටද සැප්තැම්බරයේ මහා පොත් සල්පිලක් තිබේ. මුදල් නැති නිසා මම මෙවර පොත් සල්පිල බලන්නට යන්නේ නැත. හමු වන අය "ගියෙ නැද්ද පොත් ප‍්‍රදර්ශනේ බලන්න?’’ යි අසන අසහනකාරී සමය ඉදිරියෙන් තිබේ. මා එදා තෝකියෝවේදී දුටු පොත් සල්පිල කොළඹ පොත් සල්පිල මෙන් එකිනෙකාට වැලමිටින් අනිමින්, පොදි කමින්, දාඩිය පෙරාගෙන, දූවිලි කාගෙන, ලෝක විනාශයට පෙර සියල්ල කියවා අවසන් කරන්නට මෙන් වියරුවෙන් පොත් තෝරන, තදබද තැනක් නොවේ. පොතපත කියවන්නට මෙන්ම ළමයින්ට දුව පැන ඇවිදින්නට, සෙල්ලම් කරන්නට ඉඩකඩ ද එහි තිබිණි.  මගේ සිත් පැහැර ගත් දර්ශනයක් වුණ

තමිල්නාඩුවේ ලාංකික සරණාගත රැදවියන් 40ක් උපවාසයේ

Image
(2009 සැප්තැම්බර් 21 - W3Lanka) ලංකාවේ දෙමළ අනාථයන් පිළිබඳ කිඹුල් කඳුළු හෙළන ඉන්දියාවේ තමිල්නාඩුවේ කාංචිපුරම් ආසන්නයේ චෙංගල්පත්තුහි විශේෂ කඳවුරක රඳවා සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගත සිරකරුවන් 40ක් ඊයේ සිට උපවාසයක් ආරම්භ කර තිබේ.  මෙම සරණාතයන්ගෙන් වැඩි දෙනෙක් වසර දහයකට වැඩි කාලයක් තිස්සේ රඳවනු ලැබ සිටිති. ඉන්දීය ජාතික ආරක්ෂක පනත යටතේ සහ අපරාධ පටිපාටි පනත යටතේ චෝදනා එල්ල වී තිබෙන මොවුන්ගේ නඩු කටයුතු ඉක්මන් කරන්නැයි උපවාසකරුවෝ ඉල්ලා සිටිති. (PTI)

විදුලි අමාත්‍යංශයේ අලුත් කාර්යාලයේ කුලිය ලක්ෂ පහළොවයි; මණ්ඩලයේ පාඩුව බිලියනයයි

Image
(2009 සැප්තැම්බර් 21 - W3Lanka) ලංකා විදුලි බල මණ්ඩලය මසකට රු. මිලියනයක පමණ දැවැන්ත පාඩුවක් ලබමින් සිටින අතරතුර විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය කලින් සිටි රජයේ ගොඩනැඟිල්ලෙන් ඉවත්ව පෞද්ගලික ගොඩනැඟිල්ලකට ගෙවැදී තිබෙන අතර නව ගොඩනැඟිල්ලේ කුලිය වශයෙන් මසකට රු. ලක්ෂ 15ක් ගෙවයි. මෙම ගොඩනැඟිල්ල තුලියට ගැනීම සඳහා එය අයිති ඇමති තොන්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසයට දෙවසරක කුලිය හා සමාන වන රු. තුන්කෝටි හැටලක්ෂයක අත්තිකාරමක් ද ගෙවා තිබේ. මෙම ගෙවීම ඇමති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.  ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානය ද වන සෞම්‍ය භවන් නම් මෙම ගොඩනැඟිල්ල පිහිටා ඇත්තේ කොල්ලුපිටියේය. මීට පෙර එහි ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ මූලස්ථානය පිහිටා තිබිණි.  විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය කලින් පිහිට තිබුණේ මහවැලි අධිකාරියට අයත් ගොඩනැඟිල්ලකයි.

මතට තිත තියන්න ගොස් ADIC පස්ස බිම ඇන ගනියි

Image
(2009 සැප්තැම්බර් 21 - W3Lanka) ලංකාවේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම් පානයට එරෙහිව පමණක් සටන්කාමී ලෙස කටයුතු කරන මධ්‍යම පංතික රාජ්‍ය නොවන සංවිධානයක් වන මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙවත් ADIC සංවිධානය ලංකාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවන්ට ලක් වන අලුත්ම සංවිධානයයි. පසුගියදා ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිණිස හික්කඩුවේ පැවති හික්කා-2009 සැණකෙළියේදී ගත් බව කියමින් වෙනත් තැනකදී ගන්නා ලද ‘වල්‘ යයි කියන ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඇඩික් සංවිධානයේ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  පසුගිය බස්නාහිර පළාත් ඡන්දයේදී ජාතික නිදහස් පෙරමුණෙන් තරග කළ රොජර් සෙනෙවිරත්නට එරෙහිව සිගරැට් රොජර් පන්නමු යනුවෙන් තාප්පවල පාඨ ලියුවේ ඇඩික් සංවිධානයේ ක්‍රියාකාරිකයන් යයි සැක කෙරේ. ඇඩික් ක්‍රියාකාරිකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජාතික නිදහස් පෙරමුණේ නන්දන ගුණතිලක ඇමති යටතේ තිබෙන සංචාරක මණ්ඩලයේ පැමිණිල්ලකට අනුවයි.  ඇඩික් සංවිධානය පසුගිය වසර 15ක් තිස්සේ මතට එරෙහිව සටන්කාමී සහ සම්ප්‍රදායික නොවන අන්දමින් කටයුතු කළේය.  ඔවුන් පස්ස බිම ඇනගෙන ඇත්තේ දවල් දවසේ බොරුවට මතට තිත

හිටපු අගවිනිසුරුට එරෙහිව අල්ලස් විමර්ශන කොමිසමට පැමිණිල්ලක්

Image
(2009 සැප්තැම්බර් 20 - W3Lanka) යුක්තිය හා සාධාරණත්වය සඳහා ව්‍යාපාරය ඇතුළු සංවිධාන ගණනාවක සාමාජිකයන් වන පුරවැසියන් පිරිසක් විසින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. බලපත්‍ර ප්‍රශ්නයක් මත තහනම් කර තිබූ CBN SAT නම් චන්ද්‍රිකා රූපවාහිනී විකාශන ආයතනය සම්බන්ධ නඩුවක් 2006දී විභාග කළ හිටපු අගවිනිසුරුවරයා තමන් අධ්‍යක්ෂ ධුරයක් හෙබවූ බෞද්ධයා රූපවාහිනී නාලිකාව වෙනුවෙන් CBN SAT සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වූ මුහුන්දන් කානගීගෙන් රු. මිලියන 65ක ප්‍රදානයක් ලබාගැනීමපිළිබඳ මෙම පැමිණිල්ලෙහි විශේෂයෙන් සඳහන් කර ඇති බව වාර්තා වේ. CBN SAT තහනම් කළ අවධියේ රජයේ ජනමාධ්‍ය පැවසුවේ මෙම සමාගම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවයි. පසුව මෙම සමාගමේ උපකරණ ඩයලොග් සමාගමට විකිණීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර දෙනු ලැබූ අතර බෞද්ධයා නාලිකාව ආරම්භ වූයේ ඩයලොග් චන්ද්‍රිකා රූපවාහිනී සේවාව හරහා විකාශනය කිරීමටයි. මේ අතර, අලුත්ම වාර්තා පවසන්නේ ඩයලොග් සමාගම ද චන්ත්‍රිකා රූපවාහිනී සේවාවන් විකාශනය සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් අදාළ අවසර ලබාගෙන නැ

ලංකාවේ යුද අපරාධ පිළිබඳ එක්සත් ජනපද වාර්තාවක් හෙට නිකුත් වේ

Image
(2009 සැප්තැම්බර් 20 - W3Lanka) ලංකාවට අතිශය වැදගත් පසුගිය යුද සමයේ සිදු වූ යුද අපරාධ පිළිබඳ වාර්තාවක් හෙට (21) එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතය.  යුද අපරාධ කාරණා පිළිබඳ කාර්යාලය විසින් නිකුත් කිරීමට නියමිත මෙම වාර්තාව එක්සත් ජනපද කොංග්‍රසයේ තක්සේරුව සඳහා ඉදිරිපත් කෙරේ. එක්සත් ජනපදය ඉදිරි කාලයේදී ලංකාව සමග පවත්වන සබඳතා විෂයෙහි හා දිවයිනට සපයන ආධාර කෙරෙහි මෙම වාර්තාව බලපානු ඇතැයි සැලකේ. මෙම වාර්තාව සැකසීම සඳහා යුද සමයේ සිදුවීම් ඇසින් දුටු අයගෙන් සාක්කි ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

ස්මෝල් මිරැකල් ලොකු කරන්න දැන්වීම් දාන්න විතරක් නන්දනට ලක්ෂ අටයි

Image
(2009 සැප්තැම්බර් 20 - W3Lanka) සංචාරක අමාත්‍යංශය විසින් පසුගිය සමයේ රුපියල් කෝටි ගණනක් වියදම් කර ලංකාවේ සංචාරක ලර්මාන්තය ලෝකයේ ප්‍රවර්ධනය කිරීම සඳහා සකසන ලද Sri Lanka Small Miracle යන ප්‍රචාරක පාඨය හා ඒ හා සම්බන්ධ අනෙකුත් ප්‍රචාරක ද්‍රව්‍ය පතික්ෂේප කළ නව සංචාරක ඇමති ජාතික නිදහස් පෙරමුණේ නන්දන ගුණතිලක ඒ සඳහා පාඨයක් යෝජනා කරන ලෙස මහජනයාට දැනුම් දීම සඳහා රු. ලක්ෂ අටක් පමණ වියදම් කරමින් පුවත්පත් දැන්වීම් පළ කර තිබේ.  ලෝකය පුරාම මෙවැනි වෙළඳ නාම ප්‍රවර්ධන කටයුතුවලදී විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන අතර ඒවා පිළිබඳ මහජනතාව දන්නා රෙද්දක් නැත. අනෙක් පැත්තෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය විකුණන්නේ ලංකාවේ ගම්වල ගොයියන්ට නොව විදේශිකයන්ටය.  ඇමති නන්දන ගුණතිලකගේ අදහස වන්නේ වෙළඳ නාම ප්‍රවර්ධනය සඳහා මුදල් වියදම් නොකළ යුතු බවයි. එහෙත් දැන් එම ඇමතිවරයාම ඊළඟ ඡන්දයෙන් ගොඩ ඒම සඳහා තම නම ප්‍රවර්ධනය කර ගැනීම සඳහා කලුතර දිස්ත්‍රික්කය පුරා පෝස්ටර් අලවමින් සිටියි. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සංචාරක කර්මාන්තය එම කර්මාන්තයේ උන්නතියට අහිතකර අදහස් දරන මාක්ස්වාදී ඇමතිවරයකුට භාර දීම හේතුවෙන් සංචාරක ක්