අන්තිමේදී ජවිපෙටද හදිසි නීතිය එපා වී තිබේ

(2009 සැප්තැම්බර් 07 - W3Lanka) ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනකු අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටීමට විරෝධය දක්‌වමින් ජනතා විමුක්‌ති පෙරමුණ ලබන බ්‍රහස්‌පතින්දා හදිසි නීති යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදීමට අවධානය යොමුකර ඇති බවද මේ සම්බන්ධ අවසන් තීරණය 09දා පැවැත්වෙන දේශපාලන මණ්‌ඩල රැස්‌වීමේදී ගන්නා බවද බව ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක අනුර කුමාර දිසානායක ඊයේ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

මේ අතර, ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපතිවරයාත්, ආරක්ෂක ලේකම්වරයාත් යන දෙනියායේ බෙවරලි වත්ත අසල බංගලාව සහ ඒ අවට රූපගත කරමින් සිටියදී බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිමල් මැදිවක ප්‍රකාශ කරයි. නාතගල ඒ කොටසේ පිහිටි මෙම බංගලාව ඉඩම් හිමි වැවිලිකරු තුසිත රණවක මහතාගේ බංගලාව බව වාර්තා වේ. තුසිත රණවක ජනාධිපතිවරයාගේ සෙහොයුරියගේ ස්වාමි පුරුෂයාය. 


ජනාධිපති සහ ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට දෙමළ ජාතිකයන් පමණක් නොව සිංහලයන්ද කුමන්ත්‍රණ කර ඇති බැවින් මෙම මාධ්‍යවේදින් තිදෙනා ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගෙන හදිසි නීති රෙගුලාසි යටතේ රැඳවුම් නියෝග ලබාගෙන දැන් පරීක්ෂණ කටයුතු සිදුකරන බව නිමල් මැදිවක කියයි. පරීක්ෂණ සඳහා ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්තටද රහස් පොලිසිය වෙත ඊයේ කැඳවනු ලැබීය.



ලංකා ජවිපෙ නිල පුවත්පත නොවන මුත් එය පළ කරන සමාගම ජවිපෙට සම්බන්ධ එකකි. හදිසි නීතියත් ඉක්මවා ගිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේමාධ්‍යවේදීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගනිද්දී ජවිපෙ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, කැළෑ නීතියෙන් මාධ්‍ය මර්දනය කරද්දී හා මාධ්‍යවේදීන් මරා දමද්දීද ජවිපෙ හදිසි නීතියට සහයෝගය දුන්නේය. හදිසි නීති බලතල යටතේ ජවිපෙ ශිෂ්‍ය නායකයන් හා ශිෂ්‍ය සංගම් සාමාජිකයන්ද වෘත්තීය සමිති සාමාජිකයන්ද අවස්ථා ගණනාවකදීම මර්දනයට ලක් වී තිබේ. එහෙත් කටක් ඇරියේ ජවිපෙ නොවේ. සාමාන්‍ය ජනයා නම් හදිසි නීතිය නිසා විඳි දුෂ්කරතා අපමණ වේ. දෙනියායේ ඉදි වන රාජපක්ෂ සහෝදරයින්ට සම්බන්ධ යයි කියන මන්දිරයක් පිළිබඳ ගවේශනය කරන්නට ගිය ලංකා මාධ්‍ය වේදීන් තිදෙනෙකු ප්‍රභූ ඝාතනයකට ඉලක්ක කළේදැයි පරීක්ෂණ පැවැත්වෙන්නේ හදිසි නීතිය සාමාන්‍ය නීතිය බවට පත් වූ හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්‍යවේදියකු විසි වසරක සිර දඬුවමකට ලක්වන පසුබිමක් තුළය.


දැන් මර්දනය ජවිපෙ වෙත යොමු වී තිබේ. බොරුවට නිදා සිටිවුන්ට තවදුරටත් නිදි බව ඇඟවීම අපහසු වී ඇත්තේ මර්දනය ඔවුන්ගේ යටිබඩටම පයින් අනින බැවිනි. 


දැන් ආණ්ඩුවට ජවිපෙ නොමැතිව වුවද ඉතා පහසුවෙන් හදිසි නීතිය සම්මත කර ගත හැකිය. ජවිපෙන් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රීවරු 11ක්ද දැන් ඉන්නේ ආණ්ඩුවේය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා