මාර සෙනඟ වට කරගෙන යම යුද්දේ - පිල්ලෛයන් මැතිඳු අද තනියම වෙල මැද්දේ


(2009 සැප්තැම්බර් 18 - ) පාලක සන්ධානයෙන් ඡන්දයට ඉදිරිපත් වී විශිෂ්ඨ ජයක් ලැබ නැඟෙනහිර පළාත් මහ ඇමති පදවියට පත් වී සිටින සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන් නමැති කලින් කොටි සංවිධානයේ හා පසුව කරුණා කණ්ඩායම නම් අතුරු හමුදාවේ සිටි සටන්කරුවා සහ රජය අතර නොහොඳ නෝක්කඩුවක් ඇති වී තිබේ.


අලුත්ම සිද්ධියේදී නැඟෙනහිර පළාත් සභාවේ ලේකම් වී. බාලසිංහම් නමැති සැට විය සපුරා සිටින නිලධාරියාගේ සේවය දීර්ඝ කිරීම පිළිබඳ විරෝධය පාමින් පළාත් සභා බලතල අනුව ලේකම් පත් කිරීමේ බලය ඇත්තේ තමන්ට බව පෙන්වා දෙමින් ජනාධිපතිට ලිපියක් යවා තිබේ.


මීට පෙර නැඟෙනහිර පළාත් සභාවට අයත් ඉඩම් මධ්‍යම ආණ්ඩුව විසින් සමාගම්වලට බදු දීම ද පිල්ලෛයන්ගේ විරෝධයට තුඩු දුන්නේය.


නැ‍ඟෙනහිර පළාත් සභාවේ කටයුතු සඳහා ආණ්ඩුකාරවරයා කරන අත පෙවීම් සහ පළාත් සභා බලය ඉක්මවා ජනාධිපති උපදේශක සහ සහෝදර බැසිල් රාජපක්ෂ පළාතේ කරන කාර්යයන් පිල්ලෛයන්ගේ නොසතුටට හේතු වී තිබෙන බව වාර්තා වේ. ළමා සොල්දාදුවකු ලෙස කොටි සංවිධානයට බැඳී එහි ප්‍රධාන නොවන නිලයක කටයුතු කළ පිල්ලෛයන් ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙහි අත්දැකීම් ඇත්තකු නොවේ. ඔහු සමීපයේ සිටි දක්ෂ සංවිධායකයකු වූ ඔහුගේ ලේකම්වරයකු ‍කොළඹදී ඝාතනයට ලක් වූ අතර පිල්ලෛයන් ඒ පිළිබඳ කරුණාට චෝදනා එල්ල කළේය. නැ‍ඟෙනහිර පළාත් සභාවේ කටයුතුවලට අත පොවන මධ්‍යම ආණ්ඩුවේ දේශපාලකයන්, නිලධාරීක් පමණක් නොව පළාත් සභාවේ මැති ඇමතිවරුන් හා නිලධාරීන් පවා පිල්ලෛයන් නොතකා කටයුත් කිරීම හේතුවෙන් ඔහු මහත් අසහනයට පත් වී සිටින බව දැනගන්නට තිබේ. ඔහුගේ කාඩර්වරුන් පසුගිය කාලයේ ළමයින් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා මරා දැමීම වැනි දරුණු අපරාධවලට සම්බන්ධ වීමත් සමග ඔහු කෙරෙහි ජනතා අප්‍රසාදය වැඩි වී තිබේ.


මේ අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් බිඳී ඇවිත් පිල්ලලෛයන් සමග නැඟෙනහිර කොටි බලය මැඬලීමට රජයට උදව් කර දැන් ඇමති පදවියක් හොබවන විනයාගමූර්ති මුරලිදරන් හෙවක් කරුණා අම්මාන් පිල්ලෛයන් හුදකලා කර දේශපාලනිකව නන්නත්තාර කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. පිල්ලලෛයන්ගේ කාර්යාලයක් තිරුක්කෝවිල් නගරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එහි සියයක පමණ පිරිසක් ආරම්භ කර තිබෙන උපවාසයට කරුණාට හිතවත් පිල්ලෛයන්ගේ ඇමතිවරයකුගේ ඍජු සහාය ලැබෙමින් පවතී.


කරුණා සහ පිල්ලෛයන් අතර බල අරගලයේදී රජයේ සහයෝගය දිනා ගැනීමට කරුණා සමත් වී තිබේ. මේ දෙදෙනාම නැඟෙනහිර පළාතේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අය වෙති.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා