දේවදාසියෝ නිත්‍ය සුමංගලියෝද? කාගෙත් සුන්දරියෝද?

අජිත් පැරකුම් ජයසිංහ -

ජමදාග්නි නම් මුනිවරයකු සමග විවාපත්ව දරුවන් පස්දෙනෙකුට මව වූ රේණුකා බ්‍රාහ්මණ ස්ත්‍රියකි. මුනිවරයාට දිය ගෙන ඒමට මලප්‍රභා නම් ගඟ වෙත යන ඇය දිනක් එහි ජල ක්‍රීඩාවේ යෙදී සිටි තරුණ පිරිසක් දෙස බලා සිටි‍ හෙයින් පමා වූවාය. ඇගේ පතිව්‍රතය සැක කළ ජමදාග්නි ඇගේ හිස සිඳින්නැයි වරකට එකකුට බැගින් පුතුන් සිව්දෙනෙකුට කීවේය. ඔවුහු විවිධ හේතු දක්වමින් මග හැර ගියහ. කුපිත වූ මුනිවරයා ඔවුන් සැම නපුංසකයන් බවට පත් කළේය. පස්වන පුතු පරශුරාම් මවගේ ගෙල සින්දේය. එහෙත්, සැවොම මවිතයට පත් කරමින් රේණුකාගේ සිරස හිස් සිය ගණනක් බවට පත් වී විවිධ දිශාවලට ගමන් ගත්හ. යෙල්ලම්මා නමින් දේවත්වයට පත් ඇය අදහන විශාල හින්දූන් පිරිසක් අදත් භාරතයේ වෙසෙති. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් පහළම කුලවල හෙවත් දලිත් ජනයා වෙති. යෙල්ලම්මා අදහන්නෝ ගැහැනුන් දෙවියන්ට විවාහ කර ‍දෙන්නෝ ය. එසේ විවාහ කර දෙන ගැහැනු දේවාලයට සේවය කළ යුතු අතර, වසරකට දෙවරක් යෙල්ලම්මාපුර දේවාලයේ පැවැත්වෙන පූජාවනට සහභාගි විය යුතුය. මෙම උත්සවයට දේවදාසියන් සහභාගි විය යුත්තේ නිරුවතින් හෝ කොහොඹ කොළවලින් වසා ගත් සිරුරිනි. ඒ නිසාම මෙම උත්සව බැලීමට විශාල පිරිසක් රැස්වෙති.


වර්තමානයේ ඉන්දියාවේ දේවදාසි භාවිතාව වැඩියෙන් ව්‍යාප්තව තිබෙන්නේ කර්ණාටක හා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවල දිළිඳු ප්‍රදේශවලයි. යෙල්ලම්මා ඇදහිල්ල මෙන්ම දේවදාසි ක්‍රමය පිළි ගන්නා වෙනත් හින්දු ඇදහිලි ක්‍රමද වසර දහසක් පමණ තිස්සේ මෙම භාවිතාව පැවති දකුණු ඉන්දියාවේ තිබේ. 2004දී ඉන්දීය ජාතික මානව හිමිකම් කොමිෂම විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක සඳහන් වන පරිදි 1990දී දේවදාසි ක්‍රමය ව්‍යාප්ත එක් දිස්ත්‍රික්කයක කරනු ලැබූ අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ ‍එම දිස්ත්‍රික්කයේ දේවදාසියන්ගෙන් 45%ක්ම ගණිකාවන් බවට පත් වී තිබෙන බවයි.


සම්ප්‍රදාය අනුව, දේවදාසියන් විවාහ වී සිටින්නේ දෙවියන් සමග මුත් ඔවුන්ට තමන් කැමති පුරුෂයකු ඇසුරු කිරීමේ හෝ ඔවුන් සමග ජීවත් වීමේ හෝ දරුවන් තැනීමේහෝ තහනමක් නැත. එහෙත්, අද සිදු වී තිබෙන්නේ බොහෝ දේවදාසියන් අවස්ථාවාදී පුරුෂයන්ගේ ලිංගික වහලුන් බවට පත් වීමයි. ‍මෙම ලිංගික සූරාකෑම කෙරෙහි සමාජයෙන් මතු වූ විරෝධය හේතුවෙන් දේවදාසි ක්‍රමය අහෝසි කිරීමේ නීති ගෙන ඒමට 1982දී කර්නාටක ප්‍රාන්ත රජයද, 1988දී ආන්ද්‍රා ප්‍රදේශ් රජයද කටයුතු කළහ. දේවදාසියන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය වැඩසටහන් දියත් කර තිබෙනමුත් දිළිඳු ප්‍රදේශවල තවමත් දේවදාසි ක්‍රමය පවතී.


මුල්කාලීන දේවදාසියන් බ්‍රහ්මචාරී ජීවිත ගත කළ, නාටිකාංගනාවන් හා ගායිකාවන් ලෙස දෙවියන්ට පුද පැවැත්වූ අය බව කාලිදාසගේ මේඝදූතය හා හින්දු පුරාණ ග්‍රන්ථවල ඔවුන් පිළිබඳ කෙරෙන සඳහන් කිරීම් අනුව පෙනේ. දෙවොලක සිටින දේවදාසියන් ගණන එහි සෞභාග්‍යයේ තරම ප්‍රකාශ කළේය. එදා දේවදාසියන්ට සමාජ පිළිගැනීමක්, ගරුත්වයක් හා ධනයද තිබිණි. ජෛන හා බුද්ධ ආගම් පසුබස්වමින් හින්දු ආගම නැඟී එද්දී ඇතැම්විට බෞද්ධ භික්ෂුනියන් හා පරාජිත රජවරුන්ගේ බිසෝවරුන් ආදීන්ද දඬුවම් වශයෙන් දේවදාසියන් බවට පත් කළ බවද වාර්තා පවසයි. ඔරිස්සාහි ජගන්නාත් දේවාල සංකීර්ණයෙහි මෙවැනි දේවදාසියන් ඉතා සුළු පිරිසක් මෑතක් දක්වාම සිටියහ. මුල් දේවදාසියන්ගේ නර්තන හා ගායනා ‍දෙවියන් සඳහා පවත්වනු ලැබූ පුද පූජා මිස ප්‍රාසාංගික ඒවා නොවූ අතර, රජුන්ගේ වින්දනය සඳහා නැටුම් ගැයුම් කළ රාජදාසියන් යනු වෙනත් පිරිසකි.


එහෙත් පසු කාලයේදී මෙම ක්‍රමය වෙනස් වූ අතර, දේවදාසි භාවිතය ඉතිරි වූ දකුණු ඉන්දියාවේ දේවදාසියන් ඉහළ කුල කාන්තාවන් පරිද්දෙන් උත්සවාකාරයෙන් දෙවියන් සමඟ විවා පත් වුවද, කැමති නම් අනුග්‍රාහකයකු සමග එක්ව විසීමේ හා දරුවන් ලැබීමේ අයිතිය ඇයට තිබිණි. ඔවුන් දෙවියන් සමග විවාපත්ව සිටි හෙයින් කිසි කලෙක ඔවුහු වැන්දඹුවන් වූයේ නැත. එහෙයින් නිත්‍ය සුමංගලී හා නිත්‍ය සෞභාග්‍යිනී යන නම්වලින්ද ඔවුන් හඳුන්වන ලදී.


මුස්ලිම් ආක්‍රමණ සමග හින්දු රාජ්‍යය පිරිහී යද්දී දේවදාසියන්ද සමාජ හා ආර්ථික තත්වයෙන් පහළට වැටුණු අතර ඔවුන් ලිංගික සේවා සැපයීම කෙරෙහි යොමු වීම ඇරඹෙන්නේ එම සමයේදීය. බටහිර ආක්‍රමණවලින් පසු ක්‍රිස්තියානි සුචරිතවාදයෙන් ලෝකය ශිෂ්ට කිරීමේ ව්‍යායාමයක යෙදුණු ඉංග්‍රීසි යටත්විජිතවාදීන් විසින් දේවදාසි ක්‍රමය හුදු ගණිකා වෘත්තියේ තත්වයට ලඝු කරන ලදී.


19වන සියවස අගහරියේදී හා 2දවන සියවස මුල හරියේදී කර්නල් හෙන්රි ස්ටීල් ඔල්කට් හා එච්.පී. බ්ලැවැට්ස්කි මැතිනිය නායකත්වය දුන් පරම විඥානාර්ථ සංගමය විසින් දේවදාසි ක්‍රමය යළි නිර්වචනය කරන්නට උත්සාහ කළ බව පෙනේ. දේවදාසියන්ගේ නර්තනය නාට්‍ය යෝගයක් ලෙස හැඳින්වූ රුක්මනී දේවි අරුන්ඩේල් ප්‍රමුඛ නර්තන විශාරදයෝ එය ශුද්ධ ස්වරූපයකින් සංරක්ෂණය කරන්නට උත්සාහ කළහ. බොහෝ බ්‍රාහ්මණ බාලිකාවෝ මෙම නර්තන සම්ප්‍රදාය හදාරන්නට පටන් ගත්හ. බ්‍රාහ්මණ ආධිපත්‍යයෙන් යුක්ත වු මෙම පුනර්ජිවන ව්‍යාපාරය එදා සිටි ‍දේවදාසි නායිකාවන් වූ බාලසරස්වතී වැනි අයගේ විරෝධයට තුඩු දුන්නේය.


අද වන විට ඉන්දියාවේ දේවදාසි ක්‍රමය නීති විරෝධී වේ. එහෙත්, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් හීත්‍රෝහි ජිවත් වන ඉන්දීය ජාතික ශිෂ්‍යාවක් වන කාමා ලිංගික සේවාවන් සැපයීම ද ඇතුළත් පැරණි දේවදාසි භාවිතාව පුනර්ජීවනය සදහා හුදකලා සටනක් කරයි. දේවදාසියක ලෙස ප්‍රායෝගිකව කටයුතු කරන ඇය තම භාවිතාව හා උද්ඝෝෂණය වෙනුවෙන් බ්ලොග් අඩවියක් ද පවත්වාගෙන යන්නීය.


ඊගෝ සඟරාවත් සමග සංවාදයක යෙදෙන කාමා පවසන්නේ සෑම පිරිමියකුම දෙවි කෙනෙකුගේ මූර්තියක් බව හා දේවදාසියකට ආදරය කිරීම දෙවියකු හා දේවතාවක අතර ශුද්ධ බන්ධනයක් බවයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා