මාර්ග අනතුරු, සෞඛ්‍යය හා අධ්‍යාපනය

(2009 සැප්තැම්බර් 15 - W3Lanka) ලංකාවේ මාර්ග අනතුරු නිසා වසරකට මිය යන පුද්ගලයන් සංඛ්‍යාව 200 - 300 අතර වන බව ද, තවත් 50,000ක් පමණ දෙනා තුවාල වන බව ද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. 

මේ එක් තුවාලකරුවකු සුව කිරීම සඳහා සාමාන්‍යෙයන් රු. මිලියනයේ සිට මිලියන දහය දක්වා වැය වන බැවින් රෝගියා රජයේ රෝහලකින් ප්‍රතිකාර ලැබුවද එම මුදල වාහන හිමියාගෙන් අය කර ගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට රජය තීරණය කර තිබේ.



ලංකාවේ මිනිස්සු පාරේ පයින් යන විට වාහනවලට වෛර කරති. වාහනයක යන විට පාරේ යන මිනිසුන්ට වෛර කරති. පයින් යන්නෝ යා යුත්තේ දකුණු පැත්තේය යන නීතිය තුට්ටුවකට මායිම් නොකරති. ඔවුන් කහ ඉරි උඩින් යන්නේ අප්පාගේ බූදලය පරිහරණය කරන්නා සේ ය. කහ ඉරි අසල සවි කළ මාර්ග සංඥා කීපයක් කොළඹ හා ප්‍රධාන නගරවල තිබේ. ඒවායේ කොළ සංඥා එළ දැල්වෙනතුරු බලා සිටින්නට බැරි තරම් හදිස්සිකාරයන් වාහනවලට ඔරව ඔරවා කහ ඉරෙන් පාර පනින්නේ වාහන පදවන්නන් අමාරුවේ දමමිනි.වාහන පදවන්නෝ ද කහ ඉර ගණන් ගන්නේ නැත. බස් රියදුරෝ කහ ඉරි සීමා තුළ බස් නවත්වා සෙනඟ නංවති; බස්වති. කහ ඉරි අසලදී වාහන ඉස්සර කිරීම තහනම් බව බොහෝ රියදුරෝ නොදනිති.


ලංකාවේ නගරවල පදික වේදිකා වෙළෙන්දන් විසින් අත්පත් කරගෙන තිබේ. එබැවින් පදිකයන් පයින් යන්නේ පාර මැදයි. 


පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ වැනි ඇතැම් වාහන පදවන වෘත්තීය රියදුරෝ මාර්ග නීති තුට්ටුවකට නොතකති. දේශපාලකයන්ගේ රිය පෙළ ධාවනය වන්නේ පාරවල් මහජනයාට වසා පවනට බඳු වේගයෙනි. අතුරලියේ රතන හිමිගේ නිල රියට කහ ඉරක් මතදීම යට වී කැලනිය විශ්වවිද්‍යාලයේ සේවකයෙක් පසුගියදා මිය ගියේය.



ඇතැම් මාර්ග අනතුරුවලදී මහජනයා යයි කියන අය නීතිය අතට ගෙන වාහන පුළුස්සා රක්ෂණ සමාගම්වලට පාඩු කරති. 

නීතිවලින්ම පමණක් ලංකාවේ මාර්ග පාවිච්චි කරන්නන් හික්මවිය හැකි යයි අපි සිතන්නේ නැත. රටේ ජනයාට පොලිසිය යනු ඉතා පැහැදිලිවම හිංසක ආයතනයකි. එබැවින් ට්‍රැෆික් පොලිස් නිලධාරීන් පාරේ ඉන්නවා නම් සියලු තරගකාරිත්වයන් ඉවත දමා රිය පදවන්නෝ සමගිව දෙපාර බැගින් හෙඩ් ලයිට් ගසා ඒ බව එකිනෙකාට දැනුම් දී පොලිස්කාරයන් පසු වන තුරු පමණක් විනයගරුකව ධාවනය කරති. ලංකාවේ පවතින ක්‍රමය අනුව ආසන පටි පැළඳ වාහන පදවන්නෙකු දුටුවහොත් මිනිස්සු ඔහුට සිනාවෙති. රටේ පවතින අධ්‍යාපන ක්‍රමයේ ගැටළුව ද මේවායින් ප්‍රකාශයට පත් වේ. 

(කාටුනය Sunday Observer)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා