වලිගය විසින් බල්ලා වැනීම


අජිත් පැරකුම් ජයසිංහ

බ්‍රිතාන්‍යයේ චැනල්-4 රූපවාහිනියේ ප්‍රචාරය වූ ලංකාවේ යුද්ධය හා සම්බන්ධ වීඩියෝ පටය ව්‍යාජ එකක් බව රජයේ හා රජයට පක්ෂපාත ස්වේච්ඡා විශේෂඥයන් විසින් පෙන්වා දී තිබේ. සැප්තැම්බර් 14දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අමතන ආපදා කමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මෙම වීඩියෝ පටය පිළිබඳව ද සඳහන් කරමින් මෙවැනි තහවුරු නොවූ දත්ත විකාශනයන් නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය. මෙම නාටකය නැරඹූ අපට කලකට ඉහතදී නැරඹූ අපූරු චිත්‍රපටයක් සිහිපත් විය.

1997දී බැරී ලෙවින්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද රොබට් ඩි නීරෝ හා ඩස්ටින් හොෆ්මාන් ප්‍රධාන චරිත රඟපාන Wag the Dog (වලිගය විසින් බල්ලා වැනීම) නම් සිනමා පටයෙහි කතාව වන්නේ ලිංගික අපචාරමය සිද්ධියක් හේතුවෙන් නැවත පත් වීමේ ජනාධිපතිවරණයකට දෙසතියකට පෙර මහත් අපහසුතාවකට පත්ව සිටින එක්සත් ජනපද ජනාධිපතිවරයකු වෙනුවෙන් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා හොලිවුඩ් සිනමා නිර්මාපකයකු යොදාගෙන ඇල්බේනියාව සමග ව්‍යාජ යුද්ධයක් මාධ්‍ය ඔස්සේ නිර්මානය කරන ආකාරයයි.

බල්ලා විසින් වලිගය වනනු වෙනුවට වලිගය විසින් බල්ලා වැනීමේ සංසිද්ධිය ලංකාවේ දේශපාලන ප්‍රජාවේ ක්‍රියාකාරකම් දෙස බලන විට ඉතා සුලබය. ජාතීන්ගේ ප්‍රශ්නය මෙයට කදිම නිදසුනකි. ජාතීන්ගේ ප්‍රශ්නය ධනවාදයේ ගැටළුවකි. නිර්ධන පංතිය සූරාකෑම සඳහා රාජ්‍ය බලතල බෙදා ගැනීම පිළිබඳ පීඩක හා පීඩිත ජාතීන්ගේ ධනේශ්වර පංතීන් අතර ඇති සටනක් වන ජාතීන්ගේ ප්‍රශ්නයේදී වාමාංශිකයෝ පීඩිත ජාතීන්ගේ ප්‍රගතිශීලී අරගලවලටහැමවිටම සහාය දැක්වූහ. ලෝක පරිමාණයෙන්ම කම්කරු පංති දේශපාලනය පිරිහීමත් සමග පීඩිත ජාතීන්ගේ අරගල ධනවාදයට තිබෙන ප්‍රබලම අභියෝගය බවට පත් විය. ධනවාදයට එරෙහිව සටන් කිරීම සඳහා පීඩිත පංතීන් ජාතිකවාදයේ සරණ යාම පිළිබඳ ලංකාව කදිම නිදසුනකි. එක් පැත්තකින් දෙමළ පීඩිත පංතිය දෙමළ ජාතික අරගලයේ නායකත්වය අතට ගනිද්දී සිංහල පීඩිත පංති ව්‍යාපාරයක් වන ජනතා විමුක්ති පෙරමුණ එයට එරෙහි සිංහල ජාතිකවාදී අරගලයේ පෙරමුණ ගත්හ. පීඩිතයන්ට ඇති ප්‍රශ්න අතරින් අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නය පමණක් විශාලනය කර ඉදිරියට ගැනීම සිංහල මෙන්ම දෙමළ වාමාංශිකයන් ද  විසින් වලිගයට බල්ලා වනන්නට දීමකි.

ජාතීන්ගේ ප්‍රශ්නය සමාජයේ අන් සියලු ගැටුම් අතික්‍රමණය කිරීම හේතුවෙන් ලාංකීය දේශපාලන ප්‍රජාව මත ඇති වූ බලපෑම ඉතා විශාල එකකි. රාජ්‍ය බලය සම්ප්‍රදායික ධනේශ්වර පංතිය අතින් ගිලිහී අතරමැදි පංතියක් අතට පත් වීමත් සමග ලංකාව අතිශය සංකීර්ණ තත්වයකට පත් වී තිබේ. සම්ප්‍රදායික දේශීය ධනේශ්වර පංතියට මෙන්ම ලෝක මට්ටමේදී ගතානුගතික ධනේශ්වර ආයතනවලට පවා අභියෝග කරන මෙම නව පාලක පංතියට ධනපති පංතිය විසින් පරමාදර්ශ කර ගනු ලැබූ ආචාර ධාර්මික පදනම නැත. ක්‍රම විරෝධීන්ගේ පැරණි සටන් මාදිලි මෙකී පාලකයන්ගේ කෘෘරත්වය හමුවේ අසාර්ථක වන අන්දම නිරූපණය කළ කදිම නිදසුනක් වන්නේ අන්තිම යුද්ධයේදී ගරිල්ලා කොටි සංවිධානය කැළෑ සටන්වලට බිය වී කැළෑ කපා, අගල් හා වේලි තනා සම්ප්‍රදායික හමුදාවක් ලෙස සටන් කිරීමට පෙළඹීමයි. එසේම, මෙම පංතියේ දැක්ම ද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අනුව යන එකක් නොව ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, ප්‍රාචීනවාදය, සමාජවාදය, අධිරාජ්‍ය විරෝධය, පරිසරවාදය ආදියේ සලාදයකි.

මෙබඳු පාලක කණ්ඩායම් විසින් පරිවාරයේ ධනේශ්වර රටවල බලය අත්පත් කර ගනු ලැබීම ගතානුගතික ධනේශ්වර අධිරාජ්‍යවාදීන්ට පවා ප්‍රශ්නයක් වි තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තෙවසරක් තිස්සේ වර්ජනය කර සිටි එක්සත් ජනපදය ඔබාමාගේ පාලනය යටතේ ජුනි මාසයේ සිට යළි එයට පිවිස ඇත. පලස්තීන ප්‍රශ්නය හේතු කරගෙන එක්සත් ජනපදයේ හිතවාදී ඊශ්‍රායලයට අහිතකර වන අන්දමින් පසුගිය වසර තුන ඇතුළත හදිසි රැස්වීම් පහක් පැවැත්වූ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, සුඩානය වැනි රටවල් විවේචනයෙන් ආරක්ෂා කිරීම ඇමරිකාව ප්‍රමුඛ බටහිර ආධිපත්‍යයට අභියෝගයක් වී තිබේ. එපමණක් නොව, ආසියානු හා අප්‍රිකානු රටවල ආධිපත්‍යයෙන් යුත් සාමාජික රටවල් 47කින් සමන්විත මානව හිමිකම් කවුන්සිලය පසුගිය මාර්තුවේදී මුස්ලිම් රටවල උවමනාව පරිදි ආගම් විවේචනය වැළැක්වීමේ නීති සඳහා අවසර දීමේ යෝජනාවකට අනුමැතිය දුන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ විරෝධය මැදයි.

එහෙත්, ලංකාවේ ධනේශ්වර පාලකයන් මේ මොහොතේ මුහුණ දී තිබෙන පතුලක් නොපෙනෙන ආර්ථික අර්බුදය විසින් ඔවුන් සම්ප්‍රදායික ධනේශ්වර බලවේග සමග සංහිඳියාව වෙත තල්ලු කරමින් තිබේ. එක පැත්තකින් ලංකාවේ පිරිහුණු මානව හිමිකම් වාර්තාව හේතුවෙන් යුරෝපා සංගමය විසින් ලංකාවට සුනාමි ව්‍යසනයේ ආදීනවවලින් ගොඩ ඒම සඳහා ලබා දුන් ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි කරන තත්වයක් නිර්මානය කර තිබේ. ලංකාවේ ඇඟලුම් අපනයනවලින් 52%ක්ම මිළ දී ගන්නේ යුරෝපයේ නෙක්ස්ට්, ටෙස්කෝ, මාක් ඇන්ඩ් ස්පෙන්සර් වැනි අලෙවිකරුවන් විසිනි. ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වුවහොත් මෙම නිෂ්පාදනවල මිළ 10%කින් පමණ ඉහළ යනු ඇති අතර, එම සහනය ලබන බංග්ලාදේශය වැනි රටවලින් හා චීනය වැනි ලාභ ශ්‍රමය මත පදනම් වූ මිළ අඩු නිෂ්පාදන වෙළඳපොළට එවන රටවලින් ලංකාව දැඩි තරගයකට මුහුණ දෙයි. 250,000ක් ශ්‍රමිකයන් ඍජුවම ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධ අතර දසලක්ෂයක් පමණ ලාංකිකයන් දිවි ගැට ගසා ගන්නේ එයිනි. ඇඟලුම් අපනයනය ලංකාවේ ප්‍රධානම විදේශ ආදායම් උත්පාදන මාර්ගයයි.

ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා දෙන රටවල් මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ක්‍රියාත්මක කළ යුතු බව යුරෝපා සංගමය අවධාරණය කරයි.  ලංකාවේ මානව හිමිකම් තත්වය නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගම් කණ්ඩායමකට රජය පසුගිය අවුරුද්දේ අවසර ප්‍රතික්ෂේප කළේය. ලංකාව වධ හිංසනයට, ළමා අයිතිවාසිකම්වලට, සිවිල් හා දේශපාලන හිමිකම්වලට අදාළ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති උල්ලංඝනය කර තිබේදැයි ස්වාධීන නිරීක්ෂකයන් හරහා යුරෝපා සංගමය විසින් ලබා ගෙන තිබෙන වාර්තා රටට ඉතා අහිතකර ඒවාය. ඒවා හේතුවෙන් ජි.එස්.පී. ප්ලස් බදු සහන නොලැබී ඇගලුම් කර්මාන්තය බිඳවැටුණොත් රට මහත් අසීරු අඩියකට වැටේ. අපේ රටේ ඇඟලුම් චීනයට, ලිබියාවට, ඉරානයට, කියුබාවට හෝ ඉන්දියාවට විකුණන්නට හැකි යයි සිතීම මුළාවකි.

ආර්ථික අර්බුදය තුළ සෙනසුරා මාරු වෙමින් තිබෙන ආණ්ඩුවට මේ මොහොතේ කළ හැකි එකම දෙය බටහිර රටවල් සමග සංහිඳියාව සඳහා මාර්ගය විවර කර ගැනීමයි. එසේ නොමැති වුවහොත් ඒ රටවල් ලංකාව අමාරුවේ දැමීම සඳහා කටයුතු කිරීම වළක්වා ගත නොහැකි වනු ඇත. දෙමළ ජනයා සමග සංහිඳියාව මෙහි පූර්ව කොන්දේසියකි. දෙමළ ධනේශ්වර හා මධ්‍යම පංතික නියෝජිතයන් වන දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ව්‍යාපාරික සංවිධාන දැනටමත් මේ සඳහා රජයට සහයෝගය ප්‍රකාශ කර තිබේ. වවුනියාවේ කඳවුරුවල සිටින ජනයාට ඥාතීන් සමග රැඳීමට අවසර දෙන බව රජය නිවේදනය කරන්නේත්, භාර වූ එල්.ටී.ටී.ඊ. ජ්‍යේෂ්ඨයන් දෙදෙනෙකු නිදහස් කරන්නේත් මෙම පසුබිම තුළයි. තමන් නිවැරදි යයි විශ්වාස කළ අදහස් වෙනුවෙන් හඬ අවදි කිරීම පමණක් කළ, විසි වසරකට සිරගෙට නියම වී සිටින ජේ. එස්. තිස්සනායගම් මාධ්‍යවේදියා නිදහස් කිරීම අනාගත ලංකාවේ ජාතික හා ආගමික සමගිය හා සහජීවනය වෙනුවෙන් ගත හැකි වැදගත් පියවරක් බව මාධ්‍ය සංවිධාන අටක් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ. 

මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම ඇමතූ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ රජය බහු වාර්ගික, බහු භාෂිත, බහු සංස්කෘතික හා බහු ආගමික අලුත් රාජ්‍යයක් බිහි කිරීමට කටයුතු කරන බවත් එයට පිහිටාධාර වන හා එය සුරකින ආයතන ගොඩනැඟිය යුතුව තිබෙන බවත් පැවසීය. අප සමාජයේ ලක්ෂණයක් වන විස්මය දනවන විවිධත්වය පිළි ගන්නා හා පෝෂණය කරන්නා වූ නව ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනැඟීම තම දැක්ම බවද හේ පැවසීය.

කොටින්ගේ පරාජයෙන් පසු දෙමළ ජාතිකවාදී ධනපති හා මධ්‍යම පංතික කොටස් යළි කොළඹ ආණ්ඩුව සමග සහජීවනයකට එමින් තිබේ. අන්ත අසරණ තත්වයකට පත්ව සිටින දෙමළ ජනයාට ද දැන් තම කඩා වැටුණු ජීවිත යළි ගොඩනඟාගැනීම සඳහා ඔවුන් පසුපස යාම හැර අන් මඟක් නැත. ලංකාවේ පීඩිත ජාතීන්ගේ මෙන්ම පංතීන්ගේ ද අරගලවලට දිගු කාලීනව ගොඩ ආ නොහැකි පරාජයක් අත් වී තිබෙන වර්තමාන සංදර්භය තුළ රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ඉහත කී දැක්ම යථාර්ථයක් බවට පත් කිරිම සඳහා බලපෑම් කිරීම වාමාංශිකයන්ට තෝරා ගත හැකිව තිබෙන එක් මාර්ගයකි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා