කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්


(2009 සැප්තැම්බර් 23 - W3Lanka) බාලසූරිය කංකානමලාගේ අභය පද්මසිරි බාලසූරිය  මහනුවර මල්වතු පාර්ශවයේ භික්ෂුන් වහන්සේ නමකට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ දේපළ නඩුවක් පැවැරීය. එම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම ප්‍රශ්නගත වු බැවින් එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කරන ලෙස පැමිණිලිකරු අභියාචනය කළේය.


මෙකල අභියාචනාධිකරණයේ සභාපති ධුරය හෙබවූ අගවිනිසුරු සරත් නන්ද සිල්වා පැමිණිලිකරුට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නඩුව මාරු කිරීමේ මුල් නියෝගය අවලංගු කළේය.

හිටපු අගවිනිසුරුවරයා, මහනුවර දිසා-විනිසුරුවරයා , භික්ෂුන්වහන්සේ සහ නඩුවට අදාල සමාගම් නියෝජිතයා නිතර හමුවන අය බැවින් තමනට අගතියක් වෙතැයි සිතූ පැමිණිලිකරු සිය නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුව යොමු කිරීමෙන් පසුව නඩුව යළිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර මේ ක්‍රියාදාමයෙන් එවකට අභියාචනාධිකරණ සභාපති වූ සරත් නන්ද සිල්වා වෛර බැඳගත් බව අභය පද්මසිරි බාලසූරිය සඳහන් කරයි. 


මේ වෛරය පිරිමසාගැනීම පිණිස 2007 මාර්තු 20 වැනි දින මහනුවර දිසා අධිකරණයේ නීතිඥවරයකු ලෙස පෙනී සිටියේ යයි බොරු චෝදනාවක් ඉදිරිපත් කර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මාර්ගයෙන් තමා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත්, කිසි දිනෙක නොකළ මේ වරදට 2008 ජනවාරි 08 වැනි දින දක්වා දින 294ක් තමා බන්ධනාගාර ගත වූ බවත්, ඉන්පසු චෝදනාවක් නොමැතිව නිදහස් වූ බවත් අභය පද්මසිරි බාලසූරිය සඳහන් කරයි. 

මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිර්පත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමේදී එවකට අගවිනිසුරු වු සරත් නන්ද සිල්වා සියලු නඩු කැඳවා අවසානයේ සිය නඩුව විභාගයට ගෙන, ඔහු රිමාන්ඩ් භාරයට පත් කළේ තමාගේ උවමනාව පරිදි බව කියා තර්ජනය කැර බැනවැදී තමන්ව පළවා හැරි බවත් අභය පද්මසිරි බාලසූරිය සඳහන් කරයි. 

අගවිනිසුරු සරත් නන්ද සිල්වා නිල බලය පෞද්ගලික අරමුණක් වෙනුවෙන් භාවිත කර අභය පද්මසිරි බාලසූරිය මහතා දින 294ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් සිදුවූ හානියට රු. ලක්ෂ 100ක් වන්දි ඉල්ලා දැන් ඒ මහතා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබේ. 

ප.ලි: හෙන්රි ජයසේන විසින් අනුවර්තනය කරන ලද බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාවේ අසඩක් නම් හොරාට නඩුකාර පදවියක් ලැබීමෙන් පසු ඔහු කියන්නේ මෙතෙක් කල් නඩුකාරයන් හොරුන් වූ නමුදු මෙය හොරකු නඩුකාරයකු වූ පළමු අවස්ථාව බවයි. 


("ප.ලි." සඳහන ඉහත පුවත සමග කිසිදු සම්බන්ධයක් නැත. මාතෘකාව නන්දා මාලිනී ඉස්සර කී ගීයක පදයකි. මෙම සටහන සඳහා පාඨක අදහස් අවුරා තිබේ.)

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා