ඉන්දියාවේ චීන භීතිකාව: මුහුදේ සහ ගොඩබිම ‘රතු අනතුර‘


ඉෂාන් තරූර් සැප්තැම්බර් 20දා ටයිම් සඟරාවට ලියන ලද ලිපියක ඡායානුවාදයකි.

ඉන්දියාවත් චීනයත් අතර දිගු කාලයක් තිස්සේ තිබෙන භූමි සීමා ගැටළු පිළිබඳ පවත්වන ලද තවත් සාකච්ඡා වටයක් පසුගිය ග‍්‍රීෂ්ම ඍතුවේදී අසාර්ථකව අවසන් විය. එම සාකච්ඡා අරම්භ වද්දී ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ හිමාල අඩවියේ දේශ සීමාවල දරුණු ගැටුම් ඇති වන බවයි. එහෙත් දෙපාර්ශ්වයේම බලධාරීහු මෙය ප‍්‍රතික්ෂේප කළහ. ඉන්දීය මාධ්‍යයන්හි ඇතැම් බලවේග දිනපතාම වාගේ පෙන්වා දෙන්නේ චීනය ඉන්දියාවේ නැඟීම මෙල්ල කිරීමට කුමන්ත‍්‍රණ කරන බවයි. මෙම කරුණ ඔප්පු කිරීම සඳහා ඔවුන් ඉවහල් කර ගත්තේ චීන රාජ්‍ය මාධ්‍ය විසින් මෑතදී පළ කරන ලද උඩඟු කතුවැකි කීපයකි. පසුගිය සතියේ ප‍්‍රධාන ඉන්දීය ජනමාධ්‍ය චීනයේ අතික‍්‍රමණයන් හැඳින්වීම සඳහා පාවිච්චි කළේ ‘රතු උවදුර‘ හා ‘මකරාගේ ප‍්‍රවේශය’ වැනි යෙදුම්ය.

1962දී දේශසීමා ප‍්‍රශ්නයක් මත චීනය ඉන්දියාව සමග යුද වැදුණේය. එහෙත්, චීනය අද වන විට ඉන්දියාවේ විශාලතම වෙළඳ සහකරුවායි. එහෙත් දෙරට අතර කර්කශ අතීතය තවමත් හොල්මන් කරයි. බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන් විසින් සලකුණු කරනු ලැබූ දේශ සීමාව නොපිළිගන්නා චීනය  ඊසානදිග ඉන්දියාවේ සමස්ත අරුණාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයම පාහේ චීනයට හිමි විය යුතු බවට තර්ක කරයි. ඉන්දීය උපායික විශේෂඥයන් පවසන්නේ බීජිංහි ස්ථාවරය මෑත වකවානුවේදී දැඩි වී ඇති බවයි. ආර්ථික හා යුදමය තරගකාරිත්වය හා නේපාලය හා ඉන්දියාව වැනි අසල්වැසි රාජ්‍ය කෙරෙහි චීන බලපෑම වැඩි වීම මෙම තත්වයට හේතුව බව ඔවුහු පෙන්වා දෙති. ඉන්දියාවේ චීන ප‍්‍රතිපත්තිය පිළිබඳ ළඟදී පළ වීමට නියමිත පොතක කතුවරයා වන ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි ආරක්ෂක අධ්‍යයන පිළිබඳ මහාචාර්ය හාෂ් පෑන්ට් පවසන්නේ තමන්ට චීනයේ නැඟීම පාලනය කර ගත නොහැකි හා තමන් ඉතා පසුපසින් සිටින්නේ යයි ඉන්දීය ප‍්‍රතිපත්ති සම්පාදකයන් සිතන බවයි.


මේ අතර, ඉන්දීය උපායික විශේෂඥයන් පෙන්වා දෙන්නේ අනාගත ගැටුම්වල සැබෑ රණබිම වන්නේ ඉන්දීය උප මහාද්වීපය වටා ඇති මුහුද බවයි. ලෝකයේ සමුද්‍ර වෙළ`දාමෙන් අඩක් පමණ සිදු වන්නේ ඉන්දීය සාගරය හරහායි. එයට මුහුණ ලා පිහිටි රටවල් ලෝකයේ තෙල් සම්පත්වලින් 60%කට වඩා සහ ගෑස් සංචිතවලින් තුනෙන් දෙකකට උරුම කියති. සම්ප‍්‍රදායිකව ඉන්දියාව සිය නාවික හමුදාවට කර තිබෙන ආයෝජනය පැරණි සතුරා වන පකිස්තානය සමග පැටලී සිටින පාබල හා ගුවන් හමුදාවලට යොදන මුදලට වඩා අඩුය.


විශේෂයෙන්ම අප‍්‍රිකාවෙන් සිය රටට අවශ්‍ය දැවැන්ත තෙල් සහ ස්වාභාවික සම්පත් සැපයුම තහවුරු කරගැනීම සඳහා මලක්කා සමුද්‍ර සන්ධියේ සිට ශුභ ප‍්‍රාර්ථනා තුඩුව දක්වා ඉන්දීය සාගර පරිධිය ඔස්සේ මුතු පොටක් වන් වරාය ජාලයක් ඉදි කිරීම සඳහා චීනය කටයුතු කරමින් සිටියි. ඒවා පිහිටි ඇතැම් රටවල් ඉන්දීය බලපෑම් රාමුව තුළ පිහිටි ඒවායි. චීන ආධාර මත ඉදි වන ලංකාවේ හම්බන්තොට වරාය ද මෙම පොටේ එක් මුතු ඇටයක් වන අතර එය ඉන්දියාවේ විශේෂ අවධානයට ලක් වී තිබේ. පාකිස්තානයේ ග්වඩාර්හි ද මෙවැනි තවත් වරායක් ඉදි වෙමින් තිබේ. අවසානයේදී ඉන්දීය සන්නිවේදන හා නැව් මාර්ග අඩාල කළ හැකි වැදගත් නාවික මර්මස්ථාන කීපයක චීනය ස්ථානගත වේ.


මේ අතර ඉන්දීය නාවික හමුදාව ද සිය බලය නවීකරණය කරගන්නට පටන් ගෙන තිබේ. ජුලි මාසයේදී ප‍්‍රථම න්‍යෂ්ඨික සබ්මැරීනය දියත් කළ ඉන්දියාව රුසියාවෙන් හා එක්සත් ජනපදයෙන් අලූත් ප‍්‍රහාරක යාත‍්‍රා මිළ දී ගත්තේය. එහෙත්, චීනයට ඇත්තේ ගුවන් යානා ගෙන යා හැකි යාත‍්‍රා තැනීම හා සබ්මැරීන් බලකාය වැඩිදියුණු කිරීම වැනි ඉන්දියාවට වඩා බොහෝ දුර ගිය සැලසුම්ය.


මුරුසිය, සීෂෙල්ස්, මැඩගස්කරය, මාලදිවයින වැනි දූපත් රාජ්‍ය සමග ඉන්දියාව ආරක්ෂක සබඳතා වර්ධනය කර ගත් ඉන්දියාව චීනයේ වර්ධනය නොරුස්සන ජපානය හා වියට්නාමය වැනි රටවල් සමග නාවික අභ්‍යාස පවත්වා තිබේ. එහෙත්, චීනය ද මේ බොහෝ රටවල් සමග දැඩි සබඳතා පවත්වන අතර දුප්පත් ඉන්දියාවට සැපයිය හැකි දේවලට වඩා එම රටවලට පිරිනමයි.


චීනයත්, ඉන්දියාවත් අතර වෙළද සබඳතා සරු වෙමින් තිබුණ ද, දෙරට අතර ඇත්තේ ඉතා අවම දේශපාලන අවබෝධයකි. ඉහත ස`දහන් කරන ලද හාෂ් පැන්ට් පෙන්වා දෙන පරිදි දෙරට අතර ඇත්තේ මතුපිට සම්බන්ධයක් පමණක් වන අතර, මූලික කාරණා කිසිවකදී දෙරට අතර එකඟත්වයක් නැත.


මාර්තු-අපේ‍්‍රල් ෆොරින් එෆෙයාස් සඟරාවට ලිපියක් ලියන ප‍්‍රසිද්ධ ඇමරිකානු ලේඛකයකු සහ බුද්ධිමතකු වන රොබට් නැප්ලාන් යෝජනා කරන්නේ තවමත් ලොව ප‍්‍රමුඛතම යුද බලවතා වන එක්සත් ජනපදයට ඉන්දීය සාගරයේ ප‍්‍රධාන සමබරකරු සහ අවංක මැදිහත්කරු විය හැකි බවයි. එහෙත්, ආසියානු රටවල් මෙම යෝජනාවට දක්වන්නේ සීතල ප‍්‍රතිචාරයකි. ඔවුන් එක්සත් ජනපදය දකින්නේ පිටරටවල වියදම් අධික මෙහෙයුම්වල යෙදෙමින් ගරා වැටෙමින් තිබෙන රාජ්‍යයක් ලෙසයි. ඔබාමා යටතේ එක්සත් ජනපදය චීනයේ ආක‍්‍රමණශීලී මතු වීම බැරෑරුම්ව නොගන්නා බව ද ඔවුහු පවසති.


ඉන්දීය නාවික හමුදාවට සම්බන්ධ බුද්ධිමතකු වන උදේ භාස්කර් පවසන්නේ ඉන්දියාව සහ චීනය දෙරට අතර දේශ සීමා අර්බුදයට මුල් වී තිබෙන පශ්චාත් යටත් විජිත බර පොදිය බිම තබා නව අන්තර් ආසියානු සම්මුතියක් වෙනුවෙන් සෙමින් වැඩ කළ යුතු බවයි. 


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා