ඇඟලුම් කර්මාන්තයේ අනාගතය තීරණය කරන යුරෝපා සංගමයේ මානව හිමිකම් චෝදනාවලට ලංකාවේ ප්‍රතිචාර සඳහා අවසන් දිනය අද

(2009 සැප්තැම්බර් 17 - W3Lanka) ශ්‍රී ලංකාවේ අපනයනවලට යුරෝපා සංගමය විසින් ලබා දී තිබුණු ජී.එස්.පී. ප්ලස් බදු සහනය දීර්ඝ කරන්නේ ද  යන්න තීරණය කිරීම හා අදාල වූ යුරෝපා සංගමය විසින් ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ ලබාගෙන තිබෙන වාර්තාවලට ප්‍රතිචාර දැක්වීමට ලංකාවට ලබා දී තිබෙන කාල සීමාව අදින් අවසන් වේ.


ලංකාවේ පිරිහුණු මානව හිමිකම් වාර්තාව හේතුවෙන් යුරෝපා සංගමය විසින් ලංකාවට සුනාමි ව්‍යසනයේ ආදීනවවලින් ගොඩ ඒම සඳහා ලබා දුන් ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි කරන තත්වයක් නිර්මානය කර තිබේ. ලංකාවේ ඇඟලූම් අපනයනවලින් 52%ක්ම මිළ දී ගන්නේ යුරෝපයේ නෙක්ස්ට්, ටෙස්කෝ, මාක් ඇන්ඞ් ස්පෙන්සර් වැනි අලෙවිකරුවන් විසිනි. ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වුවහොත් මෙම නිෂ්පාදනවල මිළ 10%කින් පමණ ඉහළ යනු ඇති අතර, එම සහනය ලබන බංග්ලාදේශය වැනි රටවලින් හා චීනය, වියට්නාමය වැනි ලාභ ශ‍්‍රමය මත පදනම් වූ මිළ අඩු නිෂ්පාදන වෙළඳපොළට එවන රටවලින් ලංකාව දැඩි තරගයකට මුහුණ දෙයි.


250,000ක් ශ‍්‍රමිකයන් ඍජුවම ඇඟලූම් කර්මාන්තයට සම්බන්ධ අතර දසලක්ෂයක් පමණ ලාංකිකයන් දිවි ගැට ගසා ගන්නේ එයිනි. ඇගලූම් අපනයනය ලංකාවේ ප‍්‍රධානම විදේශ ආදායම් උත්පාදන මාර්ගයයි.


ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා දෙන රටවල් මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ක‍්‍රියාත්මක කළ යුතු බව යුරෝපා සංගමය අවධාරණය කරයි.  ලංකාවේ මානව හිමිකම් තත්වය නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගම් කණ්ඩායමකට රජය පසුගිය අවුරුද්දේ අවසර ප‍්‍රතික්ෂේප කළේය. ලංකාව වධ හිංසනයට, ළමා අයිතිවාසිකම්වලට, සිවිල් හා දේශපාලන හිමිකම්වලට අදාළ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්ති උල්ලංඝනය කර තිබේදැයි ස්වාධීන නිරීක්ෂකයන් හරහා යුරෝපා සංගමය විසින් ලබා ගෙන තිබෙන වාර්තා රටට ඉතා අහිතකර ඒවාය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා