පෙත්සම: ගරු ප‍්‍රවාහන ඇමතිතුමනි,

ඔබතුමාට පමණක් නොව ඔබ වටා සිටින නිලධාරීන් කිසිවකුටත් වසර ගණනාවකින් පොදු ප‍්‍රවාහන සේවයක ගමන් කරන්නට අවස්ථාව ලැබෙන්නට නැතිව ඇති. එහෙයින් මගී ජනයාට ඇති, ඔබතුමන්ලාට නොපෙනෙන ප‍්‍රශ්න කීපයක් දෙස අවධානය යොමු කිරීම පිණිස මෙම ලිපිය ලියමි.

සතියට වාර ගණනාවක් මතුගම සිට කොළඹ දක්වා ගොස් සවස ආපසු යන මම මාසයකට වරක් දෙවරක් දුර ගමන්වල ද යෙදෙමි. ඇතැම් විටෙක මතුගමට කෙළින්ම බසයක යාමට වඩා කලූතරට දුම්රියෙන් ගොස් එතැන් සිට බසයක යාම අතමිටට පහසුවක් වනවා පමණක් නොව ඉක්මන් ද වේ. මන්ද ශීඝ‍්‍රගාමී දුම්රියක් කලූතරට යාම සඳහා ගත වන කාලය මෙන් දෙගුණයක් බසයෙන් යාම සඳහා ගත වේ. සිටගෙන වුව දුම්රියෙන් යාම බසයේ වාඩි වී යාමට වඩා පහසුය.

බසයේ වාඩි වී යාම අපහසු කරන හේතු කීපයක් ඔබතුමාට පෙන්වා දෙන්නේ ඒවා විසඳීම එතරම් අපහසු නොවන නිසාය. බොහොමයක් බස්වල අසුන් තනා ඇත්තේ එක්කෙනෙකුට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ලොකුවට හා දෙදෙනෙකුට ඉඩ මදි වන ආකාරයටයි. බොහෝ ලංගම බස්වල මේ ප‍්‍රශ්නය නැති නිසා අපට සිතෙන්නේ මෙය පෞද්ගලික බස් හිමියන් වැඩිපුර සෙනඟපැටවීම සඳහා යොදා ගන්නා උපක‍්‍රමයක්ය කියායි. බොහෝ පෞද්ගලික බස්වල කවුළු අසලින් ඇතුල් පැත්තෙන් යකඩ බට සවි කර තිබීම හේතුවෙන් අසුනේ තදබදය කවත් වැඩි වේ. මෙම යකඩ බට සවි කරන්නේ අමතර ශක්තිය සඳහා නම් ඒවා බසයේ පිට පැත්තෙන් සවි කළත් එම අමතර ශක්තිය ලැබේ. ඇතුල් පැත්තෙන්ම සවි කිරීමට අවශ්‍ය නම් එය උරහිස් මට්ටමට ඉහළින් සවි කරනවා නම් මගීන්ට පහසුවකි.

වැඩිපුර සෙන`ග පැටවීම සඳහා බස් හිමියන් අනුගමනය කරන තවත් උපායක් වන්නේ අසුන්වල වාඩි වන කොටස පටු කිරීම හා අසුන් අතර දුර අඩු කිරීමයි. බස් අයිතිකාරයෝ හා ඔවුන්ගේ සේවකයෝ පුළුවන් නම් රාක්කවල පවා මගීන් අඩුක් කරති. එහෙත් ගෞරවනීය ලෙස අසුන් ගෙන යාම ද බස් මගියකුගේ හිමිකමක් විය යුතුය.

ආසනවල ප‍්‍රශ්න බරපතළ ලෙස ඇත්තේ සුඛෝපභෝගී යයි කියමින් මගීන්ගෙන් දෙගුණයක් මුදල් අය කරන බස් රථවලයි. ඇතැම් සුඛෝපභෝගී බස් රථවල ආසන සකස් කර ඇත්තේ කුදු මිනිසුන්ට පමණක් පහසුවෙන් ගමන් කළ හැකි වන පරිදිය. මෑතක සිට සුඛෝපභෝගී යයි කියන බස් අයිතිකරුවන් අතර පැතිරෙමින් තිබෙන තවත් සූත්තරයක් වන්නේ මැද තිබෙන හකුළන ආසනය වෙනුවට මැදින් ඉඩ තබා ආසන පේලි දෙක බැගින් සැකසීමයි. ඉතා පටු මෙම ආසනවල දෙදෙනෙකුට වාඩි වී යා නොහැක. ඒ මදිවාට තදබදය ඇති වෙලාවට සීට් පේලි දෙක අතරින් හිටගෙන ද මගීන් පටවනු ලැබේ. සුඛෝපභෝගී බස්වල හිටගෙන යාම නවත්වන පවට ඔබතුමා නිකුත් කළ ප‍්‍රකාශ එක්කෝ ඔබතුමාටම මතක නැත. නැතිනම් බස්කාරයන් ශබතුමා ගණන් ගන්නේ නැත.

දෙගුණයක් අය කරන බස්වල තත්වය පිළිබඳ වහාම ඔබතුමන්ගේ අවධානය යොමු විය යුතුය. අවුරුදු පහකට වරක් ඔබතුමන්ලාට අලූතින් වාහනයක් ගෙන්වා ගැනීමට බලපත‍්‍ර ලැබෙන්නේ වාහන පරණ වන විට ඒවා තව දුරටත් සුවපහසු ඒවා නොවන නිසා නේද? සුඛෝපභෝගී යයි කියන මේ බොහෝ බස් රථ නිසි ලෙස නඩත්තු නොකර අතින් අත මාරු වූ වසර දහයකට වඩා පරණ ලදරම් වේ. තව දුරටත් ඒවා සුඛෝපභෝගී නැත. අය කරන ගාස්තුව පමණක් අයිතිකරුවන්ට සුඛයකි.

අපට නොතේරෙන තවත් කාරණයක් වන්නේ අර්ධ සුඛෝපභෝගී ලෙස හැඳින්වෙන බස්ය. මේවා සාමාන්‍ය බස්වලින් වෙනස් වන්නේ ඒවායේ කවුළුවල කිළිටි තිර රෙදි එල්ලා තිබීමයි. ගාස්තුව එකහමාරකි. හමාර අර රෙද්දටයි. මේවාට අර්ධ සුඛෝපභෝගී බස් යයි කියනවාට වඩා රෙද්දෙ බස් යයි කියනවා නම් තේරුමක් තිබේ. රෙද්දෙ බස්වල අර්ධ සුඛෝපභෝගී යයි කියා ලියා ඇත්තේ කාටවත් නොපෙනෙන තැන්වලයි. සුඛයේ තරම දැනෙන්නේ ටිකට් කඩන විටය.

දැන් දැන් සමහර බස්වල හිස් විවේක හෙවත් හෙඞ් රෙස්ට් සහිත ආසන තුනේ හා දෙකේ පේලි සවි කර තිබේ. මේවා දුර ගමන්වලදී නම් අර කලින් කී සුඛෝපභෝගී ඒවාට වඩා සැප පහසුය. එහෙත් නිතර මගීන් න`ගින බසින ළ`ග ගමන් සේවා සඳහා ද ඒවා යොදවා තිබේ. ඒවායේ අසුන් අතර මගීන්ට ගමන් කිරීම හා සිටගෙන යාම අතිශය දුෂ්කරය. බලපත්‍ර නිකුත් කරන විට බස් රථවල ආසනවල තත්වය සැලකිල්ලට ගත යුතු අතර, වසරින් වසර එම තත්වය අධීක්ෂණය කළ යුතු යයි අපි යෝජනා කරමු.

බස් අයිතිකරුවන් අතර මෑතක සිට පැතිර යන තවත් වසංගතයක් වන්නේ ඔරිජිනල් සයිලන්සරය වෙනුවට වෙනත් ‘සයිලන්සරයක්‘ සවි කර අධික ශබ්දයකින් වාහනය ධාවනය කිරීමයි. වාහනයකින් නිකුත් විය යුතු ශබ්දයේ උපරිම සීමාව ඉක්මවන මෙකී බස් රථ විසින් විශාල ශබ්ද දූෂණයක් කරනු ලැබේ. ඒ පිළිබඳ ඔබතුමාගේත්, පරිසර ඇමතිතුමාගේත් අවධානය යොමු විය යුතුය.

පෞද්ගලික බස්වල ටිකට් නොදීම පිළිබඳ ප‍්‍රශ්නය නම් ටිකට් මැෂිම හඳුන්වා දීමත් සමග දැන් බොහෝ දුරට විසඳී තිබේ. ඒ ගැන ස්තුතියි. බස් නැවතුම් පොළවල් තැනීම හා අලූත්වැඩියා කිරීමද දැන් තැන තැන සිදු වේ. අ``ගුරුවාතොට වැනි එකම එක ලංගම බස් සේවයකට පමණක් ගමනාන්තය වන, බස් හෝල්ට් එකක් පමණක් අවශ්‍ය තැන්වල බස් නැවතුම් පොළවල් තනා ඇත්තේ අයාලේ යන හරකුන්ට ලැගීමටයි. මෙවැනි බස් නැවතුම්පළවල මගීහු රැුඳී නොසිටිති. ඒවායේ බලා සිටියොත් කිසිදාක ගමන යාමට හැකි වන්නේ නැත. මක් නිසාද යත් ප‍්‍රධාන මාර්ගවල ධාවනය වන බස් එම නැවතුම්පොළවල නොනවත්වන හෙයිනි. මතුගම වැනි ප‍්‍රධාන ගමනාන්තවල බස් නැවතුම්පොළවල හරිහමන් මගී ආවරණයක්වත් නැත. ඇත්තේ පැල වෙන මුල්ගල් පමණි. කිසිදු බස් නැවතුමක නැත්තේ හරිහමන් නඩත්තු කිරීමකි. බස් නැවතුම්පොළවල් හදන විට නඩත්තු කරන වැසිකිලියකුත් හැදීම අනිවාර්ය විය යුතුය.

අධි වේගයෙන් හෝ අධි හෙමින් හෝ ධාවනය වීම පෞද්ගලික බස් සම්බන්ධ තවත් ප‍්‍රශ්නයකි. එකිනෙකා අතර ඇති තරගය මෙයට ප‍්‍රධාන හේතුවයි. ඒකාබද්ධ කාලසටහනකට අනුව බස් ධාවනය වනවා නම් මගී ජනයාගේ ආරක්ෂාව, කාලය මෙන්ම ඉන්ධනද පිරිමසා ගත හැකිය. මෙය කළ නොහැක්කක් වන්නේ කෙසේදැයි අපට වැටහෙන්නේ නැත.

දුර ගමන් යන බස් තේ බීම හා ආහාරය සඳහා නවත්වන ඇතැම් තැන්වල අධික මිළ ගණන් අය කරන බව හා මගීන්ට වැසිකිළි, කැසිකිළි වැනි අත්‍යවශ්‍ය පහසුකම් නිසි පරිදි නොසපයන බව ඔබතුමා දන්නවාද? මේ තැන්වල බස් නවත්වන්නේ එම ස්ථානවල හිමියන් බස් සේවකයන්ට දෙන විවිධ ආකාරයේ සන්තෝසම් නිසාය. දුර ගමන් බස් ආහාර හා තේ පානය සඳහා නැවැත්විය යුතු ස්ථාන නිර්දේශ කරන්නත්, එම ස්ථාන අධීක්ෂණය කරන්නත් වැඩ පිළිවෙලක් යෙදීම ප‍්‍රවාහන අමාත්‍යංශයට අමාරු නැත.

බස් රථවල සේවක මහතුන්ට නිල ඇඳුම් දීම හොඳ දෙයකි. එහෙත් දී තිබෙන නිල ඇඳුම වෙනුවට ඉස්සර බස් කොන්දොස්තර මහතුන් ඇන්ද පන්නයේ උඩින් ඇඳිය හැකි සාක්කු සහිත කබායක් දුන්නා නම් හොඳය. මක් නිසාද යත් දැනටත් ඔවුන් නිල ඇඳුම පාවිච්චි කරන්නේ කබායක් ආකාරයෙන් බැවිනි. මේ සේවක මහතුන් කරන්නේ ඉතාම දුෂ්කර සේවයකි. කොන්දොස්තර මහතකු දිනකට කිලෝමීටර් සිය ගණනක් බසයේ හිටගෙන යනවාට අමතරව බසය තුළමත් ඔවුහු කිලෝමීටර් ගණනක් ඇවිදිති. එහෙත් කිසිදු පෞද්ගලික බස් නැවතුමක ඔවුන් වෙනුවෙන් විවේක කාමරයක්, ආපන ශාලාවක් හෝ ඇ`ගපත සෝදා ගැනීමට නාන කාමරයක් හෝ නැත. පෞද්ගලික බස් නැවතුම්පොළවල් තවමත් කප්පම්කරුවන්ගේ හා මැරයන්ගේ රජදහන වේ. ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන පබා ටෙලි නාට්‍යයේ මේ බව ප‍්‍රසිද්ධියේම කියයි. වසන්තට වෙන රස්සාවක් සොයා දෙන්නැයි එහි පිටපත් රචකයාට කියන්නැයි අනුර යාපා ඇමතිතුමාට කියන ගමන් මේ ප‍්‍රශ්නය විසඳීමටත් යමක් කරනවා නම් හොඳය.

බස් මගී ප‍්‍රවාහනය හා සම්බන්ධ මෙවැනි බොහොමයක් ගැටළු විසඳීම දුෂ්කර නැත. එහෙත්, ඔබතුමන්ලා වටේ සිටින කිසිවකු බස්වලින් ගමන් කරන්නේ නැති බැවින් ඔවුහු මෙවැනි ප‍්‍රශ්න නොදනිති. හිටපු ජනමාධ්‍යවේදියකු නිසා ඔබතුමා තවමත් පත්තර බලන්නේ යයි අපි සිතමු.


ස්තුතියි
මෙයට,
බස් මගී අජිත් පැරකුම් ජයසිංහ

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා