මෙන්න ආණ්ඩුවේ අලුත්ම බඩා ගැහිල්ල; ගණ පූර්ණ කෙළිය


(2009 සැප්තැම්බර් 26 - W3Lanka) ලංකාවේ ආණ්ඩුවේ නවතම සෙල්ලම පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය නැති කර විපක්ෂය අපහසුතාවට පත් කිරීමද යන සැකය මතු කරන සිද්ධියක් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු විය. සිද්ධිය වූ ආකාරය අද දිනමිණ පුවත්පත වාර්තා කළේ මෙසේයි. 


සභා ගැබෙහි ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ යෝජනාව ඊයේ (25) පස්වරුවේ විවාදයට නොගැනිණි.

සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කැර තිබුණේ රවි කරුණානායක මහතාය. 

ඒ මහතා යෝජනාව ඉදිරිපත් කිරීමට නැගී සිටි මොහොතේ සභාවේ ගණ පූර්ණය නොමැති බවට මගී ප්‍රවාහන සේවා ඇමැති ලසන්ත අලගියවන්න මහතා මුලසුනට පෙන්වා දුන්නේය.

මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක පියංකර ජයරත්න මහතා මන්ත්‍රීවරුන් කැඳවීම සඳහා සීනුව නාද කිරීමට ලේකම් මණ්ඩලයට උපදෙස් දුන්නේය.

සීනුව නාද වීමත් සමඟ සභා ගැබට මන්ත්‍රීවරුන් පැමිණියද එම සංඛ්‍යාව ගණ පූර්ණයට ප්‍රමාණ නොවන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති හුසේන් බහිලා මහතා මුලසුනට පෙන්වා දුන්නේය. දෙවන වරද සීනුව හැඩවිණ.

එවරද ගණ පූර්ණය සම්පූර්ණ නොවීම නිසා ඔක්තොම්බර් අටවැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට නියෝජ්‍ය කථානායකවරයා තීරණය කෙළේය.

සභාව කල් තබන අවස්ථාවේ ඝනපූරණය පිළිබඳ ප්‍රශ්න නොකිරීමේ හොර ගිවිසුමක් පසුගිය සමයේ ආණ්ඩුවත්, විපක්ෂයත් අතර තිබී ඇත. එහෙත් පසුගිය අඟහරුවාදා මගනැඟුම පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව පැවැත්වීමට නියෝජ්‍ය මහාමාර්ග ඇමති ඩබ්.බී. එකනායක නැඟී සිටි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ගණ පූර්ණය නොමැති බව පෙන්වා දුන්නේය. සීනුව හැඬවූවද අවශ්‍ය මන්ත්‍රීන් සංඛ්‍යාව වන 20 සම්පූර්ණ නොවූයෙන් ඒකනායක නියෝජ්‍ය ඇමතිගේ පිළිතුරු කතාව පැවැත්විය නොහැකි විය. 

පාර්ලිමේන්තුව කට් කිරීම සඳහා ආණ්ඩුවත් විපක්ෂයත් ජනතාවට හොරෙන් ගසා තිබුණු හොර ගිවිසුම කැඩීම ගැන පසුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධනගෙන් සමාව ඉල්ලුවේය. 


එහෙත්, මේ ඊයේ ආණ්ඩුව රවි කරුණානායකට රිටර්න් එක දුන් ආකාරයයි. මේ ආදර්ශය අනුව කටයුතු කළහොත් ඉදිරියේදී විපක්ෂයට පාර්ලිමේන්තුවේදී කතා පවත්වන්නට වන්නේ ආණ්ඩුව රැස්වීම්වලට බස්වලින් ජනතාව රැස් කරන්නා සේ නොවඳිනා වැඳුම් වැඳ විපක්ෂයේ කම්මැලි මන්ත්‍රීන් ටික එකතු කරගෙනයි. මක් නිසා ද යත් ආණ්ඩු පක්ෂයට ඔනෑ නම් ඝනපූරණය නොමැති බව පෙන්වා දීම සඳහා මන්ත්‍රීවරයකු පමණක් සභා ගැබ තුළ රැඳවිය හැකිය. 


පාර්ලිමේන්තුව රැස් වන සෑම විනාඩියක් වෙනුවෙන්ම විශාල මුදලක් වැය වේ. ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් පාර්ලිමේන්තු එන්නේ මහජන මුදලින් හෙලිකොප්ටර්වලිනි. ඇමතිවරුන්ට යාම ඒම සඳහා කොළඹ පාරවල් වසා ජනතාව විශාල පීඩනයකට ද පත් කරනු ලැබේ. මේ එකී පාර්ලිමේන්තුව කටයුතු කරන ආකාරයයි. 

මහජන මුදලින් සුර සැප විඳින ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු මේ ගේම් දෙන්නේ කාටද?

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා