Posts

Showing posts from January, 2010

ස්විස් මාධ්‍යවේදිනියගේ වීසා අවලංගු කිරීම ජනාධිපති කරුණාවෙන් අවලංගුයි

Image
(2010 ජනවාරි 31 - W3Lanka )    ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මහා කරුණාවෙන්, ජනාධිපතිවරණයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී අක්‍රමිකතා පිළිබඳ තිබෙන චෝදනා පිළිබඳව ප්‍රශ්න කර ඇමති සුසිල් ප්‍රේම ජයන්තගෙන් බැනුම් ඇසූ ස්විස් ජනමාධ්‍යවේදිනී කැරින් වෙන්ජර්ගේ වීසා අවලංගු කිරීම අවලංගු කර තිබේ. ඒ අනුව, දැන් ඇයට කලින් වීසා ලබා දී තිබුණු පරිදි පෙබරවාරි 17 දක්වා ලංකාවේ රැඳිය හැකි ය. තිස් හැවිරිදි වෙන්ජර් ස්විස් පබ්ලික් රේඩියෝ ආයතනයේ ජර්මානු භාෂා අංශයේ සේවය කරයි. සුදු හම ඇති ඇයට ලැබුණු කරුණාව අත්අඩංගුවේ සිටින ලංකා කර්තෘ චන්දන සිරිමල්වත්තටත්, තහනම් කර තිබෙන ලංකා පුවත්පතටත් ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරමු. එසේ ම අතුරුදහන් වී ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ සොයා බැලීමට පොලිසිය උනන්දු කිරීමටත් ජනාධිපතිතුමාගේ සිත්හි කරුණාව පහළ වේවා යයි පතමු.

මහ මැතිවරණයෙන් පසු බලය බෙදන්න ඉන්දියාව සමග අවබෝධයක්

Image
(2010 ජනවාරි 31 - W3Lanka )   මහ මැතිවරණයෙන් පසු ලංකාවේ පුළුල් බලය බෙදීමක් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දියාව අතර අවබෝධයක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.  ඉන්දියාව මහින්ද රාජපක්ෂ පාලනයේ දේශපාලන චලනයන්ට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ මෙම අවබෝධය මත පදනම්ව බව ද දැන ගන්නට ඇත. පසුගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජය ගත් වහා ම ඉන්දීය අගමැති හා ජනාධිපති ඔහුට සුබ පැතූ හ.  දෙමළ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති පිළි නො ගැනීම හා ඔහුට ඡ්නදය නො දීම කෙරෙහි ද, දැනට දෙමළ ඩයස්පෝරාවේ පැවැත්වෙමින් තිබෙන ඊලාම් ජනමත විචාරණ කෙරෙහි ද ඉන්දීය රජයේ අවධානය යොමු වී තිබේ. ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම ඉන්දීය මධ්‍යම රජයට තමිල්නාඩුව සමග කටයුතු කිරීමේදී වැදගත් ය.  මේ අතර ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය යාපනයේ උප කාර්යාලයක් ආරම්භ කිරීමට ද සූදානම් කර තිබේ. මෙවැනි උප කාර්යාලයක් දැනට ඇත්තේ මහනුවර පමණි. 

දේවානන්දගේ 'යාපන සවුදම' නාට්ටිය හමුදාව අල කරයි

Image
(2010 ජනවාරි 31 - W3Lanka )   මහින්ද රාජපක්ෂ ජනාධිපති අති බහුතර වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපතිවරණය දිනද්දී පවා ඔහුගේ දෙමළ අතුරු හමුදා දේශපාලකයෝ ඔහු උතුරු-නැගෙනහිරදී පරාජය කළහ. යාපනය දිස්ත්‍රික්කයෙන් මහින්ද ජය ගත්තේ කයිට්ස් ආසනය පමණි. ඒ මදිවාට ඡන්දය ප්‍රකාශ කිරීම ද අවම මට්ටමක විය. මුන්ට කන්න දෙනවාට වඩා කපුටන්ට ආප්ප අරන් දෙන එක හොඳ යයි මහින්දට සිතෙන්නට ඇත. මේ අතුරු හමුදා දේශපාලකයන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී නව සංදර්භය තුළ අහෝසි වී ගොස් ඇති බව පැහැදිලි ය. දෙමළ ජාතික සන්ධානයට නැගෙනහිර පළාත් සභා මැතිවරණය තරග කරන්නට ලැබුණා නම් පිල්ලෛයන්ට මහ ඇමති වන්නට ලැබෙන්නේ ද නැත.  පරාජිත ඩග්ලස් දේවානන්ද යාපනයේ ෂෝක් නාට්‍යයක් පෙන්වන්නට ගියේ ය. මුලින් එයා පාර්ලිමේන්තු ආසනෙන් ඉල්ලා අස් වන බව කීවේය. එහෙත්, ‍එසේ වුණොත් ඇමතිකමත් ගැලවී යන බව හා මහින්දලාගෙන් ලැබෙන සහාය ද අඩු ඊළඟ ඡන්දයේදී රාජ්‍ය බලය පාවිච්චි නො කළහොත් 2004දී මෙන් යන්තමින්වත් ගොඩ ඒමට බැරි වන බැවින් අස් වන අදහසක් ඔහුගේ තුන් හිතකවත් නො තිබුණු බව උතුරේ ආරංචි මාර්ග පවසයි. මේ අතර යාපනයේ ජනතාවට ඇමතිවරයා අස් වීමට විරෝධය පළ කරමින් හර්තාල් කරන්නැයි දේවානන්

ලොකු අයියා ෆේස්බුක් එකටත් ඇහැ ගහගෙන

Image
(2010 ජනවාරි 31 - W3Lanka )   වි‍දුලි සංදේශ නියාමන කොමිෂමේ විශේෂ කණ්ඩායමක් විසින් ෆේස්බුක් හා ට්විටර් සමාජ ජාල නිරීක්ෂනය කරමින් සිටින බව අද ලක්බිම නිව්ස් පුවත්පත පවසයි. එම පුවත් වාර්තාව අනුව මෙම නිලධාරීන් විසින් අධ්‍යයනය කරමින් සිටින්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵල කෙරෙහි අතෘප්තිය පළ කරන අයගේ කටයුතු ය.  මේ සඳහා මෙවැනි කටයුතු පිළිබඳ හසල අත්දැකීම් ඇති චීන රටෙන් විශේෂඥයන් ගෙන්වා ඇති බව ද පුවත්පත පවසයි. 

'කුමන්ත්‍රණකාර' සරත් ෆොන්සේකා ළඟදී අත්අඩංගුවට

Image
(2010 ජනවාරි 31 - W3Lanka )  විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා කුමන්ත්‍රණයක් මෙහෙයවා ඇති බවට ආණ්ඩුව චෝදනා කරන අතර දැනට පරීක්ෂණ කරගෙන යන ආකාරය අනුව ඉදිරි දින කීපය ඇතුළත ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුව මෙහෙයවන බටහිර බලවේගයක උදව්වෙන් රටින් පිටව යාමට හෝ ඉඩ ඇති බව විශ්ලේෂකයෝ පවසති.  ඔහු සහ පවුලේ අය රටින් පිටවීම ගුවන් තොටුපළෙන් වළක්වා ඇති බව ඔහු පවසයි. මෙය රටින් පිට වී නො ගොස් සිටීමට කරන තවත් කුමන්ත්‍රණයක් විය හැකි ය. අප කුමන්ත්‍රණ පිළිබඳව නො දන්නා මුත් මෙම කුමන්ත්‍රණය පිළිබද මාධ්‍ය වාර්තා අධ්‍යයනය කරන විට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ ‍ෆොන්සේකා කුමන්ත්‍රණයක්වත් හරියට කර ගැනීමට දන්නා කෙනෙකු නො වන බවයි. මීට වඩා හොඳ සැලසුම් හොලිවුඩ් චිත්‍රපට බලන මන්ද බුද්ධිකයෙකුට පවා සැකසිය හැකි ය. ජනාධිපති වන්නට තරග කර ඇත්තේ ද ලක්ෂ හතළිහකට වැඩි ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්දය දී තිබෙන්නේ ද එවැන්නෙකුට ය.  හමුදාපතිව සිටි සමයේදී ලෙහෙසියෙන් ම කුමන්ත්‍රණයක් කරන්නට හැකියාව තිබුණු සරත් ෆොන්සේකා ඡන්දය ඉල්ලා දිනුව හෝ පැරදුණ හෝ විට කුමන්ත්‍රණයක් දියත් කරන්නට සැලසුම් කළේ ඇයි ද යන්න බරපතල ප්‍රශ්නයකි.  ෆොන්සේක

ලංකා පත්තර කන්තෝරුවට සීල් තැබේ

Image
(2010 ජනවාරි 30 - W3Lanka )   රහස් පොලිසිය ලංකා පුවත්පතේ කාර්යාලයට සීල් තබා ඇත. එම කාර්යාලයට ඇතුල්වීම සඳහා රහස් පොලිසිය උසාවි නියෝගයක් ලබාගෙන ඇති බව පොලිස් ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අයි. එම්. කරුණාරත්න පවසයි. මෙම පුවත්පත් කාර්යාලයට සීල් තබා ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න තවමත් වාර්තා වී නැත. කාර්යාලයට සීල් තැබීමත් සමග ලබන සතියේ සිට මෙම පුවත්පත ‍නිකුත් කිරීමට නො හැකි තත්වයක් උදා වී තිබේ. 1970 දශකයේදී එවක පැවති සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ද 'දවස' පුවත්පත් ආයතනයට සීල් තබන ලදී. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ආණ්ඩුවේ කණිෂ්ඨ මන්ත්‍රීවරයෙක් විය.   මෙම පුවත්පතේ පළ වූ ලිපියක් ජනාධිපති සහෝදර හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නො සතුටට හේතු වී ඇති බව පෙනේ. ඔහු ඊයේ දිවයින පුවත්පතට මෙසේ පවසා තිබිණි. ලංකා පුවත්පත යනු ජනතා විමුක්‌ති පෙරමුණ නමැති වගකිව යුතු දේශපාලන පක්‍ෂය විසින් ප්‍රකාශයට පත්කරන පුවත්පතකි. එම පුවත්පත පසුගිය කාලයේදී දිගින් දිගටම මට අපහාසවන ආකාරයේ අසත්‍ය පුවත් පළ කළා. මම ඒ සියල්ල ඉවසාගෙන සිටියේ ජනාධිපතිවරණය සමයේදී සිදුකරන මඩ ප්‍රකාශ ලෙසයි. නමුත් දැන් ජනාධිපති

බ්‍රිතාන්‍යයේ ඊලාම් ජනමත විචාරණය මේ සති අන්තයේ

Image
(2010 ජනවාරි 30 - W3Lanka )  ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා දෙමළ දේශපාලන නායකත්වය එකඟතාවකට එළඹුණු පළමු අවස්ථාව වන 1976 වඩුක්කොඩෛහි පැවැත්වුණු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු සම්මේලනයේදී නිකුත් කරන ලද වඩුක්කොඩෛ ප්‍රකාශය යළි බලාත්මක කිරීම පිණිස විදෙස්ගත දෙමළ ජාතිකවාදීන් විසින් පවත්වනු ලබන ජනමත විචාරණ මාලාවේ මීළඟ අදියර මේ සති අන්තයේ පැවැත්වේ. එහිදී බ්‍රිතාන්‍යයේ ජීවත් වන ලාංකික දෙමළ ජනයා සිය ඡන්දය දීමට නියමිත ය. මීට පෙර ද මෙවැනි ජනමත විචාරණ මාලාවක් නෝර්වේ, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය හා ඕලන්දය යන රටවල පැවැත්විණි. ජර්මනිය, ස්විට්සර්ලන්තය හා ඕලන්දය යන රටවල ජනමතවිචාරණ ගිය සතියේ පැවැත්විණි. මේවායෙහිදී අති බහුතර ඡන්දයෙන් ඊලාම් රාජ්‍යයක අවශ්‍යතාව තහවුරු කරගෙන ඇත. කොටි සංවිධානයේ යුදමය අරගලයේ පරාජයෙන් පසු දෙමළ ජාතිකවාදීන්ගේ උපායමාර්ගය වී තිබෙන්නේ යළි තහවුරු කර ගන්නා ලද ජනවරමක් ඔස්සේ දෙමළ ඊලාම් විමුක්ති අරගලය නව මුහුණුවරකින් දියත් කිරීමයි.

‍ෆොන්සේකාගේ කාර්යාලයේ වැඩ කළ 15ක් රඳවාගෙන පරිගණක රැගෙන ගිහින්

Image
(2010 ජනවාරි 30 - W3Lanka )  ඊයේ කොළඹ රාජකීය විද්‍යාලය අසල පිහිටි සරත් ෆොන්සේකාගේ මැතිවරණ කාර්යාලය වට කළ පොලිසිය එහි සේවය කළ 15දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි.  එම කාර්යාලයේ තිබූ පරිගණක ද විශේෂ කාර්ය බලකාය විසින් රැගෙන ගොස් තිබේ.  මේ අවස්ථාවේදී සරත් ෆොන්සේකා රැඳී සිට ඇත්තේ වෙනත් ස්ථානයක ය.  සම්පූර්ණ වාර්තාව මෙතැනින් පිවිස කියවන්න .

ඡන්ද ගණන් කිරීමේ හොර ගැන එජාප කරුණු රැස් කරයි

(2010 ජනවාරි 30- W3Lanka )  දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටි විපක්ෂ නියෝජිතයන් පළවා හැරීමේ සිද්ධීන් රැසක් හා ප්‍රතිඵල විකෘති කිරීම් පිළිබඳව තමන් කරුණු එක්රැස් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පවසයි.  ජනාධිපතිවරණය හා අදාළ ගණන් කිරීමේ පත්‍රිකා විනාශ කිරීමේ සූදානමක් ඇති බවට ද ඔහු අනතුරු අඟවයි. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන ඡන්ද ගණන් කරන අතරතුර ලැබූ අත්දැකීමක් විස්තර කරන්නේ මෙසේ ය: මේ ජනාධිපතිවරණයේදී මීගමුව මැතිවරණ කොට්‌ඨාශය වෙනුවෙන් සරත් ෆොන්සේකා මහතාගේ බලයලත් නියෝජිතයා ලෙස පත් කළේ මාව. වේයන්ගොඩ පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේ තමයි ගණන් කිරීම් කළේ. අපේ පක්‍ෂය වෙනුවෙන් ගණන් කිරීමේ නියෝජිතයෝ ඇතළු කළා. 27 වැනිදා පාන්දර 2.30 ට විතර සිවිල් ගුවන් සේවා ඇමැති සරත් ගුණරත්න මහතා ආධාරකරුවන් පිරිසක්‌ සමග මේ පරිශ්‍රයට ආවා. ඇවිත් තර්ජනය කළා. "මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සියයට හැට දෙකකින් ඡන්දය දිනලා ඉවරයි. ඒත් මුං තවමත් මේක ඇතුලේ. උඹලා ඔක්‌කොම තව විනාඩි දහයක්‌ ඇතුළත එළියට යන්න ඕනේ. නැත්නම් අපි දන්නවා යවන හැටි කියමින් ඇමැතිවරයා කෑ ගසද්දී අ

ඡන්ද අක්‍රමිකතා ගැන ප්‍රශ්න ඇසූ විදෙස් මාධ්‍යවේදිනිය පිටුවහල්

Image
(2010 ජනවාරි 29 - W3Lanka )  ජනාධිපතිවරණයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී අක්‍රමිකතා පිළිබඳ තිබෙන චෝදනා පිළිබඳව ප්‍රශ්න කර ඇමති සුසිලි ප්‍රේම ජයන්තගෙන් බැනුම් ඇසූ ස්විස් ජනමාධ්‍යවේදිනී කැරින් වෙන්ජර්ගේ වීසා අවලංගු කර පෙබරවාරි 01දා වන විට ඇය රටින් නෙරපීමට රජය කටයුතු කර තිබේ.  ජනාධිපතිවරණය වාර්තා කිරීමට පැමිණි ඉන්දියාවේ දිල්ලියේ සිට කටයුතු කරන මෙම මාධ්‍යවේදිනියට පෙබරවාරි 17දා දක්වා වීසා ලබා දී තිබිණි.  ඇගේ වීසා අවලංගු කිරිම පිළිබඳව හේතු දැක්වීමක් කර නැති බව ඇය සේවය කරන මාධ්‍ය ආයතනය පවසයි.  තිස් හැවිරිදි වෙන්ජර් ස්විස් පබ්ලික් රේඩියෝ ආයතනයේ ජර්මානු භාෂා අංශයේ සේවය කරයි.

ලංකා සිද්ධිය: රාජ්‍ය මාධ්‍ය විපක්ෂය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට ස්වාධීන මාධ්‍ය ‍කටයුතු නො කල යුතු ය

Image
(2010 ජනවාරි 29 - W3Lanka )  අද දහවල් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය "ලංකා" පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සදහා රැදවුම් නියෝග මත අත්අඩංගුවට ගැනිමට රහස් පොලීසිය කටයුතු කර තිබේ. අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිය චන්දන සිරිමල්වත්ත මහතාගෙන් පැය දෙකකට වඩා වැඩි කාලයක් ප්‍රකාශ සටහන්කර ගෙන ඇති අතර තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති හෙයින් මෙලෙස රදවා තබාගැනීමට පියවරගන්නා බව සිරිමල්වත්ත මහතාගේ නීතිඥයින් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත. චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා පුවත්පතේ ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් බව දැනගන්නට ඇත. අද දිවයින පුවත්පතට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කර ඇති පහත ප්‍රකාශයෙන් ද එය පැහැදිලි වේ. ලංකා පුවත්පත යනු ජනතා විමුක්‌ති පෙරමුණ නමැති වගකිව යුතු දේශපාලන පක්‍ෂය විසින් ප්‍රකාශයට පත්කරන පුවත්පතකි. එම පුවත්පත පසුගිය කාලයේදී දිගින් දිගටම මට අපහාසවන ආකාරයේ අසත්‍ය පුවත් පළ කළා. මම ඒ සියල්ල ඉවසාගෙන සිටියේ ජනාධිපතිවරණය සමයේදී සිදුකරන මඩ ප්‍රකාශ ලෙසයි. නමුත් දැන්

සරත් ෆොන්සේකාට සහාය දැක්වූ මාධ්‍ය දෙකක් අනතුරේ

(2010 ජනවාරි 29 - W3Lanka )   විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපා‍රයේ ප්‍රධාන මාධ්‍ය කුළුණු දෙකක් වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය හා ලංකා ඉරිදා පුවත්පත දැඩි මර්දනයකට මුහුණ දී සිටියි.  ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පසුගිය දිනවල කීප වරක් ම නිල නො වන අන්දමින් වාරණය කර තිබු අතර, ඊයේ එය නීති විරෝධී ලෙස සීල් තැබීමක් කර තිබූ බව කාර්ය මණ්ඩලය පවසයි. එම වෙබ් අඩවියේ බාහිර ලේඛකයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ දින කීපයක සිට අතුරුදහන් වී ඇත.  මේ අතර ලංකා පුවත්පත් කාර්යාලය රහස් පොලිස් පරීක්ෂාවට ලක් වී තිබේ. එහි කර්තෘට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පිළිබද පුවත්පතේ පළ වූ ලිපියක් පිළිබඳ කටඋත්තරයක් දීමට රහස් පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. 

කටකතා ඇති! කරුණු ගෙන එන්න

(2010 ජනවාරි 29 - W3Lanka )   "මම හොඳින්ම දන්නවා මට මිලියන 5 කට අධිත ජනතාවක් විශ්වාසය තබා ඡන්දය පාවිච්චි කළා. ඒ බව අපි මීට පෙරදීමයි තහවුරු කර ගත්තේ. නමුත් මේ මැතිවරණයේදී වංචනිකව හා දූෂිතව ඒ ජනමතය වෙනස් කළා. නමුත් මා කෙරෙහි තැබූ ජනතා විශ්වාසය ඒ ආකාරයෙන්ම තිබෙනවා. මම ඒ බව හොඳින්ම දන්නවා." -විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා ජනවාරි 28දා සිය නිවසේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී " මෙම මැතිවරණයේ සිදුවූ බලපෑම්වල කම්පණය ප්‍රතිඵල නිකුත්කරන දවසේ මැතිවරණ කොමසාරිස්වරයාගේ මුහුණෙන්, වචනවලින් පෙණුනා. මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා කළේ මළගෙදර කතාවක්. ඔහු දැඩි ආතතියකින් කතා කළේ.   ඔහුට එවැනි ආතතියක් එල්ල කළේ ආණ්ඩුව.   එම නිසා රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය දේපළ යොදා ගනිමින්, මාධ්‍යය මර්ධනය කරමින් සහ අවසානයේ මැතිවරණ කොමසාරිස්වරයා පවා බිය වද්දමින් ආණ්ඩුව පෙන්වූ මෙම මැතිවරණ ‍ප්‍රතිඵලය අප පිළිගන්නේ නැහැ. මෙය අග සිට මුලට, මුල සිට අගට දූෂිත මැතිවරණයක්." -ජවිපෙ නායක ටිල්වින් සිල්වා ජනවාරි 28 පැවති පුවත්පත් සාකච්ඡාවකදී " වංචාවක් සිදු වුණා කියන එක අද රටේම අය පිළිගන්නව

වමේ ප්‍රතිඵලය ගැන සංවාදයක් කරමු ද?

(2010 ජනවාරි 29 - W3Lanka )  ජනාධිපතිවරණයේදී වාමාංශික අපේක්ෂකයන් ලැබූ ප්‍රතිඵලය පිළිබඳ සංවාදයක් ඇරඹීමට අපි ඊයේ උත්සාහ කළෙමු. එයට ප්‍රතිචාරයක් දක්වා තිබුණේ 'බුමුතුරුණු' පමණි. ඔහු ජනාධිපතිවරණයට පෙර මේ පිළිබඳ කර ඇති සටහන ඉතා සාරගර්භ එකකි. ඔබ එය අනිවර්යයෙන් කියවිය යුතු යයි අපි සිතන්නෙමු. පහත සබඳතා පුරුක ඔස්සේ පිවිස එය කියවන්න. දහසක් මත ගැටී දහසක් මල් පිපී ඇත – එන්න මේ මල් සුවඳදැයි බලන්න දිනකට පැය ගණනක් අන්තර්ජාලයේ සැරිසරන වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා හෝ මෙම සංවාදය පිළිබදව උනන්දුවක් දක්වනු ඇතැයි අපි සිතමු.   සමාජවාදී සමානතා පක්ෂය ලංකාවේ වාමාංශික සමාජ ක්‍රියාධර ප්‍රජාව සමග ඇත්තේ ඉතා අඩු සම්බන්ධයකි. එහෙත්, වික්‍රමබාහු හා සිරිතුංග ජයසූරිය එසේ නොවේ. පසුගිය පළාත් සභා මැතිවරණයේදී සිරිතුංග ජයසූරිය තරග කළ අතර අප වෙබ් අඩවියට සම්බන්ධ අය ද වික්‍රමබාහුට විවෘතව ම සහාය පළ කළ හ. ඒ අප ඔහුගේ දේශපාලන අදහස් සියල්ල පිළි ගන්නා නිසා නොවේ. සැම විට ම ධනේශ්වර දේශපාලනයේ මැතිවරණ ප්‍රධාන අවධානය ලෙස ගෙන ක්‍රියා කරන ඔහු පිළිගත් සභාවකට තේරී පත් වීම ඔහුගේ දේශපාලනය ඉදිරියට ගෙන යාමට මහෝපකාරී වන බව අපි විශ්

ෆොන්සේකාව කෝටුමස් කරවි ද?

Image
(2010 ජනවාරි 29 - W3Lanka )  මේ දිනවල ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ නිලධාරීන් පවසන පරිදි ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා භයානක කුමන්ත්‍රණයක් දියත් කර තිබේ.  තමා බෝගම්බර සිරගත කිරීමටත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ගාලු මුවදොර පිටියට ගෙන ගොස් ඝාතනය කිරීමටත් සැලැසුමක් තිබුණු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කෙළේය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති මන්දිරයට ගමන් ගනිද්දී ලේක්හවුස් වටරවුමේ දී හෝ ගාලු පාරේ දී මේ ඝාතනය කිරීමට සැලැසුම් කර ඇති බව ද ඝාතනය සඳහා හමුදාවෙන් පැන ආ අය සහ විශ්‍රාමික පුද්ගලයින් යොදා ගැනීමට ෆොන්සේකා කටයුතු කර ඇති බව ද ඒ සඳහා කොළඹ සුපිරි හෝටල් දෙකක කාමර 70 ක් ද වෙන්කර තිබී ඇතැයි ද ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පැවසූ බව දිනමිණ පුවත්පත වාර්තා කරයි. ෆොන්සේකා විසින් ජනාධිපති ඝාතනය සඳහා සකසා තිබෙන්නේ ඉතා මෝඩ සැලැස්මකි. රහස් ඔත්තු සේවා ඔහු පිළිබඳ සියුම් ලෙස නිරික්ෂණය කරමින් සිටියදී ජනාධිපති ඝාතන ක

ඇඟිලි සලකුණ හා ෆොන්සේකා

Image
(2010 ජනවාරි 29 - W3Lanka )    ' රාජ ආණ්ඩුවක් හදන්නට වන්දි භට්ටයින් විනා විමසන ප්‍රශ්න කරන මිනිසුන් අවශ්‍ය නොවන බැවින්' තමන් බ්ලොග් ලිවීම නවතන බව මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු බියොන්ඩ් ෆ්‍රේම් සිය අවසාන සටහන තබමින් කීවේය. අවශ්‍ය නො වුණාට, මිනිසුන් හිතන, විමසන එක වැළැක්වීම ලෙහෙසි නැත. හිතා විමසා ලිවීම නම් අනතුරුදායක විය හැකි ය.  එහෙත් අප නම් දිගට ම ලියන්නට අදහස් කරන්නෙමු. ඒ අප දන්නා දෙය වන්නේ ලිවීම නිසා ය. මේ දිනවල රටේ ප්‍රධාන ම ජනමාධ්‍යය වී තිබෙන කටකතා අංශය සමග සම්බන්ධ වනවාට වඩා මෙය විධිමත් කාර්යයකැයි අපි විශ්වාස කරමු.  නව තත්වයන් යටතේ අප කරුණු කියන්නේ ආණ්ඩුවට සිය පිටපත්වල අඩුලුහුඬු පෙන්වා දීමට මිස වෙනස් ආකාරයකට හිතන්නට හෝ කරුණු විමසන්නට මිනිසුන් පෙළඹවීම සඳහා නොවේ. මෙය සම්පූර්ණයෙන් ම රාජපාක්ෂික ක්‍රියාවක් බව කරුණාවෙන් සලකන්න.  ෆොන්සේකා කොයි තරම් නරක මිනිහෙකුදැයි ඊයේ රාත්‍රී මහජන දේපලක් වන ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ඇඟිලි සලකුණ වැඩසටහනෙන් අපේ ඇසට ඇගිල්ලෙන් නොව බෝල්පොයින්ට් පෑනෙන් ඇන පෙන්වා දුන්නේ ය. ෆොන්සේකා විසින් කණ කපන ලද කරණවෑමියා හා කණ පලන ලද කෝකියා ද බෝල

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න කැමති ලක්ෂ්මන් යාපා විතරද?

Image
(2010 ජනවාරි 29 - W3Lanka )    විපක්ෂය සහාය දෙන්නේ නම් ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කිරීමට සූදානම් බව මාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි. විධායක ජනාධිපති ක්‍රමය වෙස් කිරීම සඳහා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් අවශ්‍ය බව පෙන්වා දුන් ඇමතිවරයා, ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම, 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වූ කොමිෂන් පත් කිරීම හා කැබිනට් මණ්ඩලය අඩු කිරීම සෙසු ප්‍රශ්න බව පෙන්වා දෙයි. විපක්ෂය විසින් ජනාධිපතිවරණයේදී විශ්වාසනීය වෙනසක් ඇති කිරීම සඳහා ද යෝජනා කළ ප්‍රධාන පියවර වන්නේ මේවා ය. එබැවින් ආණ්ඩුව මේ සඳහා අවශ්‍ය පියවර ගන්නේ නම් විපක්ෂය නිසැකව ම එයට සහාය දෙනු ඇත. මෙහිදී අවශ්‍ය වන්නේ 'ඔයාලා කැමතිද මෙයාලා?' කිය කියා ප්‍රශ්න අසමින් සිටීම නොවේ. ආණ්ඩුව සෙසු කාර්යයන්හිදී විපක්ෂයේ අදහස් විමසන්නේ නැත. මෙහිදී ද ඔය තරම් තෙපර බාන්නට දෙයක් නැත. වහා ම පාර්ලිමේන්තුව කැඳවා අදාළ ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කළ හැකි ය. විපක්ෂයට මේ යෝජනාවලට විරුද්ධ වීමට කිසිදු හේතුවක් නැත. ප්‍රශ්නය වන්නේ ‍ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කිරීමට සූදානම් බව කැබිනට් නො වන ඇමතිවරයකු වන ලක්ෂ්මන් යාපා අබේවර

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මරණය නම් කළු වළාවේ රිදී රේඛාව

Image
අජිත් පැරකුම් ජයසිංහ-   2010 ජනාධිපතිවරණය පිළිබ පශ්චාත් විමසුම් පැවැත්වෙමින් තිබේ. ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ද වේ.  ජනවාරි 27දායින් උදා වී තිබෙන්නේ මැතිවරණ පිළිබඳ විශ්වාසය මුලූමනින් ම බිඳ වැටුණු යුගයකි. මේ මොහොතේ ජනතාව අභිමුව තිබෙන ප‍්‍රශ්නය වන්නේ විපක්ෂයේ සියල්ලන් ද මෙම තත්වය දරා ගන්නේ ද යන්නයි. එසේ නම් ජනතාවට සිදු වන්නේ කුමක්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළලා දැමූ පොළොවෙන් ඉපැදෙනු ඇත්තේ ත‍්‍රස්තවාදයයි. එය මහත් අවාසනාවකි.   ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වන ලෙස විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලා ඇත. ලංකාවේ සිදු වන සිදුවීම් පිටුපස මිතුරු ස්වභාවයකින් පෙනී සිටින ඇතැම් රාජ්‍ය ඇති බව පෙනේ. පශ්චාත් යුද සමයේ ලංකාව දීප්තිමත් ප්‍රජාතන්ත‍්‍රවාදයක් හා ආර්ථීකයක් බවට පත් වනවාට අකැමැති රටවල් අප අසල ම සිටින බව නිසැක ය. ඔවුන් කැමති වන්නේ ලංකාව ලෝකය ම විසින් පිටු දකින ලද බුරුමයක් වනවාටයි. අභ්‍යන්තර අවුල් වියවුල්වලින් ගහණ සිය රාජ්‍ය අභිභවනය කර ලංකාව ඉදිරියට යාම වළක්වා ගැනීමට තිබෙන හොඳම උපායමාර්ගය එයයි.   පශ්චාත් යුද සමයේ

ජනාධිපතිවරණයේදී වම පරාද ද?

Image
(2010 ජනවාරි 28 - W3Lanka )  ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වාමාංශික අපේක්ෂකයන් තිදෙනාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පවතී.  සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්ෂය)  -  8,352 වික්‍රමබාහු කරුණාරත්න (වාමාංශික පෙරමුණ) -  7,055 විජේ ඩයස් (සමාජවාදී සමානතා පක්ෂය) -  4,195 වික්‍රමබාහු කරුණාරත්න සමග එකට ඡන්ද ව්‍යාපාරයේ යෙදුණු ටෙලෝ සංවිධානය හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඡන්ද 9,662ක් ලබා ගත්තේය.  මෙම තත්වය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

2018 දක්වා විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ

Image
(2010 ජනවාරි 28 - W3Lanka )    ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය දෙවන ධුර කාලය සදහා ඉක්මණින් දිවුරුම් නො දෙනු ඇති බවට ඇමති හා නිතිය පිළිබද මහාචාර්ය ජී. එල්. පීරිස් අද ජනමාධ්‍ය හමුවේ ඉඟි කළේය.  ජනාධිපතිවරයාට සිය පළමු ධුර කාලයෙන් වසර දෙකක් ඉදිරියට ඉතිරි වී තිබේ. ඔහුගේ දිවුරුම් දීම එම දෙවසර අවසානයේ සිදු වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ අනුව ඔහු ඉදිරි අට වසරක් ම ලංකාවේ ජනාධිපති වීමට හැකි ය. මීළඟ ජනාධිපති තේරී පත් වනු ඇත්තේ 2018 වසරේ ය.  ජනාධිපති මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන බව කීව ද 2010දී ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේ ය.  "විධායක ජනාධිපති ධූරය පිළිබඳ සියලූ පක්ෂ හා ජනතා නියෝජිතයන් සමග විවෘත සාකච්ඡාවකට එළඹෙමි. පාර්ලිමේන්තුවට ලැබෙන ජනවරමට ගරු කරමින් පාර්ලිමේන්තුවට වග කියන නීතිය ඉදිරියේ සියල්ලන් සමානය යන ප‍්‍රතිපත්තිය ගරු කරමින් අධිකරණයට වගකියන ව්‍යවස්ථා සම්පාදනය, විධායකය හා අධිකරණය එකිනෙකට ගැටෙන ඒකක ලෙසින් නොව, සහජීවනයෙන් බැඳුණු එකම රාජ්‍යයක කොටස් බව තවදුරටත් අවධාරණය කරන භාරකාර ධූරයක් බවට විධායක ජනාධිපති ධූරය පත්කරමි. "

මෛත්‍රීපාලට පාර්ලිමේන්තුව විසුරුවන්න අවශ්‍යයි; ඒත් අනෙක් අයට........

(2010 ජනවාරි 28 - W3Lanka )   ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන පවසයි.  එහෙත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර විපක්ෂයේ සහාය ලබාගෙන හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම කෙරෙහි ද, මහ මැතිවරණයක් නො පවත්වා ජනමත විචාරණයක් ඔස්සේ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීම කෙරෙහි ද ආණ්ඩුවේ නායකයන්ගේ අවධානය යොමු වී ඇති බව ද වාර්තා වේ.  මහ මැතිවරණය පමා කිරීමේ හෝ ජනමත විචාරණයකින් පාර්ලිමේන්තු කාලය දීර්ඝ කර ගැනීමේ වැඩි උවමනාවක් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොව එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ආණ්ඩුවට සම්බන්ධ වූ ඇමතිවරුන්ට බව ද ආරංචි මාර්ග පවසයි. 

Democray in Sri Lanka

Image
Democracy = Demo (nstrating) cra (ze) of the cy (nics)

‍ෆොන්සේකාගේ සම්මුඛ සාකච්ඡාවක් අන්තර්ජාලයේ

(2010 ජනවාරි 27 - W3Lanka ) මම දිනුම්! පැරදුණොත් එය නිවේදනය නො කරන්න ඔවුන් තීරණය කරලා. ඔවුන් මා අත්අඩංගුවට ගන්න හදනවා. මා හා විපක්ෂ නායකයා ඝාතනය කරන්න සැලසුම් කරලා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විදේශ රාජ්‍ය මැදිහත් විය යුතුයි. බලන්න:‍ http://www.youtube.com/watch?v=bY6foimxHs0&feature=player_embedded කටකතා රට පුරා පියාසර කරමින් තිබේ. ආණ්ඩුව නිහඬතාව බිඳ සැක සංකා නැති කළ යුතු ය.

විපක්ෂය ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන්නට සැරසෙයි?

(2010 ජනවාරි 27 - W3Lanka ) විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය වැනි විපක්ෂ සන්ධානයේ බලවේග 2010 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම විපක්ෂ ආරංචි මාර්ග පවසයි.  ජනාධිපතිවරණ ප්‍රතිඵලය විකෘති එකක් බවට හා එය පිළි නො ගන්නා ලෙසට ඉල්ලා සරත් ෆොන්සේකාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විසින් ඊමේල් පණිවුඩ යවා තිබේ.  මැතිවරණ කොමසාරිස්වරයා විසින් අවසන් ප්‍රතිඵලය නිවේදනය කිරීමෙන් අනතුරුව එම පක්ෂ සිය අදහස් නිල වශයෙන් දැක්වීමට හා ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ රැඳී සිටින අතර එයින් පිටව යාම සදහා ආරක්ෂාව පිළිබඳ තහවුරු කිරීමක් රජයෙන් ඉල්ලා ඇත.  ඔහු අත්අඩංගුවට නො ගන්නා බව හා අත්අඩංගුවට ගනු ලබන්නේ ඔහු හා රැඳී සිටින හමුදාවෙන් පැන ආ පුද්ගලයන් පමණක් බව ආරක්ෂක අංශ පවසයි.  ආණ්ඩුව පාර්ශ්වයෙන් ද ජයග්‍රහණය පිළිබඳ ඇත්තේ දැඩි නිහැඬියාවකි.

ෆොන්සේකා ඇතුළු විපක්ෂ නායක පිරිසක් තවමත් ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ

(2010 ජනවාරි 27 - W3Lanka ) විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සහ එක්සත් ජාතික පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඇතුළු පිරිසක් රැදී සිටින ට්‍රාන්ස් ඒෂියා හෝටලය හමුදාව විසින් වට කර ඇති බව වාර්තා‍ වේ. එම ස්ථානයේ අවි ගත් හමුදාව හැර ගිය සෙබළු 400ක් සිටින බැවින් සාමය ආරක්ෂා කිරීම සඳහා එම ස්ථානය වට කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මාධ්‍යවලට පැවසී ය. එම ස්ථානයේ හමුදාව හැර ගිය පිරිසක් නැති බව ද ඉන්නේ විපක්ෂයේ නායකයන් ඇතුළු පිරිසක් බව ද තමන් හමුදාව විසින් වට කර ඇති බව ද සරත් ෆොන්සේකාගේ ලේකම් සේනක ද සිල්වා ඩේලි මිරර් පුවත්පතට පැවසීය.

අප පරමය ඔබ තව කල්පයකට!

Image
(2010 ජනවාරි 27 - W3Lanka ) නිකුත් වෙමින් තිබෙන ප්‍රතිඵල අනුව ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ විශිෂ්ඨ ජයක් ලබා ගන්නා බව පැහැදිලි ය. පූර්ව මැතිවරණ සමයේ අතිශය දූෂිත ප්‍රචාරණය හා මැතිවරණය දිනයේ සිදු වූ සුළු සිද්ධීන් පවා මෙම අවසන් ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කර ඇති බවක් නො පෙනේ.  එම ප්‍රතිඵල අනුව එක් 'රජ' පවුලක් විසින් කරනු ලබන මෙම පාලනය ලංකාවේ ජනතාවගෙන් අති බහුතරය අනුමත කර තිබේ. දූෂණය, අවනීතිය, ප්‍රජාතන්ත්‍ර විරෝධය, ජාතිවාදය, ජම්බෝ කැබිනට්ටුව, අධික බදු බර, බඩු මිළ, කොමිස්, මර්වින් සිල්වා, විමල් වීරවංශ, ජැක්සන් ඇන්තනි ආදී එකී මෙකී සියලු ප්‍රපංච ද ලංකාවේ බහුතරයක් ජනතාව හිස් මුදුනින් පිළිගෙන තිබේ.  එම ප්‍රතිඵල අනුව, එය ඉතා ප්‍රජාතන්ත්‍රවාදී තීරණයකි. මෙකී 'දුර්ගුණ'  පිළි ගත නො හැකි අයට දැන් තිබෙන්නේ ග්‍රීන් කාඩ් අයදුම් කිරීම හෝ බෝට්ටුවල නැඟී ඕස්ට්‍රේලියාවට හෝ ඉතාලියට පලා යාම ය.  රූකාන්ත මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ගැයූ ගීතය අසන්න. එහි එක් පදයක් අපට තේරෙන අන්දමට නම් 'අප පරමය ඔබ තව කල්පයකට!' ඔබට සුබ අනාගතයක්!

අපි දන්නෙ නෑ. අපට තේරෙන්නෙ නෑ.

(2010 ජනවාරි 27 - W3Lanka ) මහ රෑ කියා නැත. කටකතා අඳුරේ ම පියාඹති. මැතිවරණ ප්‍රතිඵල විශ්වාස කළ නො හැකි බව බොහෝ දෙනා පවසති. සිදු වන දෙය නො තේරේ. වෙබ් අඩවි යාවත්කාලීන නොවේ. වුණත් පරිස්සමෙනි. යාවත්කාලීන වන ඒවා අපට නො පෙනේ. අප මහත් ඇලුම් කළ බ්ලොග්කරුවෙක් වූ බියොන්ඩ් ෆ්‍රේම් සිය අවසන් සටහන මේ උදැසන ම තබා ඇත. ලැබෙන මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනෙන්නේ මේ අප ඔබ හමුවට එන අවසන් වතාව මෙය විය හැකි බව ය. ජැක්සන් ඇන්තනී පෙන්වන මාවතේ ගොස් රාජ ආණ්ඩුවක් හදන්නට වන්දි භට්ටයින් විනා විමසන ප්‍රශ්න කරන මිනිසුන් අවශ්‍ය නොවන බැවිනි. එහෙයින් මෙය ඔබෙන් සමුගැනීමට ද ලියන අවසන් බ්ලොග් සටහන මෙන් සැළකුව මැනවි. ඔබට සුභ අනාගතයක්! ධෛර්යය අවශ්‍ය ය.  ඔරොත්තු දීම ද අවශ්‍ය ය.  සුබවාදී වීම හැම විට ම අසුබවාදී වීමට වඩා හොඳ ය.  අපි දිගට ම අසාධාරණයට එරෙහිව පෙනී සිටියෙමු. කාටවත් කඩේ නො ගියෙමු. මහින්දගේ ජයග්‍රහණය සාධාරණ එකක් නම් අපි හිස නමා එය පිළි ගනිමු.  ලංකාවේ ජනතාව බුද්ධිමත් යයි අපි කිසි කලෙක පවසා නැත්තෙමු. බුද්ධිමත්කම එන්නත් කරන්නට අපට බැරි ය.  එහෙත් සිතන, විමසන මිනිසුන් වෙනුවෙන් අපි මේ සංවාදය දිගට ම පවත්වාගෙ

කොළඹ තැපැල් ඡන්දෙනුත් මහින්ද දිනුම්

Image
(2010 ජනවාරි 27 - W3Lanka ) ලංකාවේ ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශයට පත් වෙමින් තිබෙන ප්‍රතිඵල අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් තිබේ.  සරත් ෆොන්සේකාට වාසිදායක දිස්ත්‍රික්ක වන කොළඹ, මහනුවර, නුවරඑළිය, වන්නි ආදියෙන් පවා තැපැල් ඡන්දවලින් සරත් ෆොන්සේකා මෙන් දෙගුණයක් පමණ ඡන්ද ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ සමත් වීම සුවිශේෂ තත්වයකි. මේ අතර ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවිය ජනාධිපතිට සමීප යයි කියන නම් නො කළ ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර නිලධාරීන්ගේ සහයෝගය ඇතිව තැපැල් ඡන්ද ලක්ෂයක් පමණ ලබා ගැනීමේ සැලසුමක් තිබුණු බවට චෝදනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම වෙබ් අඩවිය මේ වන විට ලංකාවේ පාඨකයන්ට බැලීමට නො හැකි ය.

සරත් ෆොන්සේකා අත්අඩංගුවට?

(2010 ජනවාරි 26 - W3Lanka )   ට්‍රාන්ස් ඒසියා හෝටලය හමුදාව වටලයි ලංකා ටෲත් ප්‍රධාන පුවත 2010 ජනවාරි 26 වෙනි අඟහරුවාදා, 23:49 මීට ස්වල්ප මොහොතකට පෙර හමුදාවේ විශාල පිරිසක් පැමිණ කොළඹ ට්‍රාන්ස් ඒසියා හෝටලය වටලා එහි සිටින දේශීය විදේශීය සංචාරකයින් පරීක්ෂාවට ලක්කරමින් සිටින බව වාර්තාවේ. වාර්තාවන ආකාරයට නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නවාතැන් ගත් ස්ථානය බවට සැක පිට මෙම වැටලීම සිදුකර තිබේ. මේ හේතුවෙන් හෝටලයේ නවාතැන්ගත් සංචාරකයින් මහත් අපහසුතාවට පත්ව තිබේ. අපට ලැබී ඇති තොරතුරු අනුව සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මේ හෝටලයේ සිටිති.

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ සංඥා

(2010 ජනවාරි 26 - W3Lanka ) පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රත්නපුර දිස්ත්‍රික්කයෙනි.  මහින්ද රාජපක්ෂ 9458 (69.33%) සරත් ෆොන්සේකා 4143 (30.37%) තැපැල් ඡන්දයට දින කීපයකට පෙර රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන බවට හා වැටුප් විෂමතා ඉවත් කරන බවට දැවැන්ත ප්‍රචාරයක් රජය විසින් ගෙන යන ලදී. අඩු වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ හෝ රජයේ සේවකයන් බහුතරයක් මහින්ද රාජපක්ෂ කෙරෙහි විශ්වාසය තබා ඇති බවට ඉගියක් මෙම මැතිවරණ ප්‍රතිඵලය සපයයි.  මහින්ද රජයේ සේවය පුළුල් කළේය. නිකම් සිට හෝ අඩුවෙන් වැඩ කර හෝ පඩි ගන්නට අවස්ථාව විශාල පිරිසකට ලබා දුන්නේ ය. රජයේ සේවය අකාර්යක්ෂම වීම රජයේ සේවකයන්ට වාසිදායක ය. රජයේ සේවකයන් මෙම තත්වයට මහින්ද රාජපක්ෂට කළ ගුණ සලකනවා විය හැකි ය. තැපැල් ඡන්ද ප්‍රතිඵල සාමාන්‍යයෙන් නම් අවසාන ඡන්ද ප්‍රතිඵලය හා බොහෝ දුරට සමාන්තර ය.  කෙසේ වෙතත්, මෙවර ජනාධිපතිවරණයේ උණුසුම තැපැල් ඡන්දයෙන් පසු සති දෙක තුළදී තීව්‍ර විය.

උතුරේ ඡන්ද කොල්ලය සාර්ථකයි

Image
(2010 ජනවාරි 26 - W3Lanka ) සිංහල ඡන්ද සිංහල වීරයන් දෙදෙනෙකු අතර බෙදී යන මෙම මැතිවරණයේදී වඩාත් තීරණාත්මක වන්නේ සුළු ජාතික ඡන්ද වැටෙන ආකාරයයි. 2005දී මෙන් දෙමළ ජනයාගේ ඡන්දය වර්ජනය කර දීමට ප්‍රභාකරන් කෙනෙකු ද නැති 2010දී මහින්ද රාජපක්ෂ අනුගමනය කළේ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට නිදහසේ ඡන්දය දෙන්නට බැරි වන වාතාවරණයක් නිර්මානය කිරීමයි.  උතු‍රු පළාතේ මෙම උපායමාර්ගය අතිශය සාර්ථක වූ බව අපගේ ආරංචි මාර්ග පවසයි. අවතැන් කඳවුරුවල ජනයාට කිලිනොච්චියට පැමිණීමට බස් රථ කලට වේලාවට ලබා නොදුන් අතර ඇතැම් බස් රථ පොකුරු ඡන්ද මධ්‍යස්ථාන වෙත ළඟා වන විට සවස 3.50 වූ බව ද සවස 4.00ට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දී තිබුණු කාලය අවසන් වූ හෙයින් බොහෝ දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට නො ලැබුණු බව ද වාර්තා වේ. බොහෝ දෙනෙකුට මෙම පොකුරු ඡන්ද මධ්‍යස්ථානවල තමන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානය සොයා ගැනීමට පවා නො හැකි වී ඇත. උතුරු පළාතේ දිස්ත්‍රික්ක බොහොමයක ඡන්ද කාඩ් පත් බෙදා හැර නො තිබිණි. මේ හේතුවෙන් ඡන්දය දැමීමට පැමිණි කිලිනොච්චියේ ජනයාට පළමුව තැපැල් කාර්යාලයට ගොස් ඡන්ද කාඩ් පත රැගෙන ඒමට සිදු විය.  හැඳුනුම්පත් නැතිකම බොහෝ දෙනෙකුට තිබ

දේශප්‍රේමී සළු ඇඳ සිටින සමාජ විරෝධී කඩාකප්පල්කාරීන්ට එරෙහිව ජනතාව වීදි බැසිය යුතු ය

Image
(2010 ජනවාරි 26 - W3Lanka ) ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය පිණිස සියලු මහජන දේපල පාවිච්චි කළ ආණ්ඩුව අන්තිම තුරුම්පුව ලෙස ගැසුවේ සරත් ෆොන්සේකාට ඡන්දය දීමේ අවස්ථාව ලැබී නැත්තේ ඔහු මෙරට පුරවැසියකු නො වන නිසා ය යන සාවද්‍ය ප්‍රචාරය රාජ්‍ය මාධ්‍ය හරහා ගෙන යාමයි. රාජ්‍ය මාධ්‍ය හරහා මෙම ප්‍රචාරය ගෙන යාමට මුල් වූයේ විමල් වීරවංශ ය. සත්තකින් ම සරත් ෆොන්සේකාට ඡන්දය දීමේ අවස්ථාව අහිමි වූයේ ඔහු 2008 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී නො සිටි නිසා ය. එම හේතුව නිසා ම විමල් වීරවංශට ද මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය දීමේ අවස්ථාව නො ලැබිණි. විමල් වීරවංශ විසින් අවුස්සන ලද මෙම නින්දා සහගත කුණු ගොඩ හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ද මේ පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සිදු විය. ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය කරුණක් නොවන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවසීය. මෙම ප්‍රශ්නය පිළිබඳව සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය ඉතා වැදගත් වේ. ඔහු කීවේ මෙසේ ය. "මම 2008 වසරේ ඡන්ද නාමලේඛනයට මගේ නම ඇතුළත් කරන ලෙස අයදුම්පතක් ඉදිරිපත් කළා. නමුත් ඒ ඡන්ද හිමි නාමලේඛණයට

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම වළක්වලා

(2010 ජනවාරි 26 -W3Lanka) ශ්‍රී ලංකා‍ ටෙලිකොම් ආයතනය තම වෙබ් අඩවිය යාවත්කාලීන කර ඇති බව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලය පවසයි. අද පෙරවරු 1.20න් පසු තම වෙබ් අඩවිය යාවත්කාලීන නො කළ බව ඔවුහු පවසති. ලංකා ඊ නිවිස් සමග සම්බන්ධව කටයුතු කළ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා ද 24දා රාත්‍රියේ සිට අතුරුදහන්ව ඇත.

හැදුනුම්පතක් නැති වික්‍රමබාහු

Image
(2010 ජනවාරි 26 -W3Lanka) වාමාංශික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ ජාතික හැඳුනුම්පත පරණ ය. අපැහැදිලි ය. ඔහු කොම්පඤ්ඤවීදියේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කරන්න ගියේ කලකට ඉහත බස්නාහිර පළාත් සභාවෙන් ඔහු පළාත් සභා මන්ත්‍රි කාලයේ නිකුත් කරන ලද පරණ හැඳුනුම්පතක් රැගෙන ය. පවතින නීති අනුව ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමට නො හැකි විය. පසුව බාහු ඡන්දය ප්‍රකාශ කළේ මැතිවරණ කොමසාරිස් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිට දුරකථනයෙන් කතා කර අවසර ලබා දීමෙන් පසු ය. මේ සිද්ධිය ගැන ඔබට කීමට ඇත්තේ කුමක්ද?

හෙට වෙනුවෙන් මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන්න

Image
(2010 ජනවාරි 26 -W3Lanka) හෙට උදෑසන වන විට ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබිය හැකි ය. ජනාධිපතිවරණය ඉතා උණුසුම් එකක් බැවින් මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා යන දෙදෙනා අතරින් කවුරුන් ජය ගනු ඇද්දැයි අනාවැකි කීම දුෂ්කර ය.  එහෙත් එකක් පැහැදිලි ය. මෙම ජනාධිපතිවරණයේදී සියලු අපේක්ෂකයන්ට සම අවස්ථා නො ලැබිණි. මහින්ද රාජපක්ෂ නම් අපේක්ෂකයා ජනාධිපති ධුරයේ බලය හා ආණ්ඩු බලය මුළුමනින් ම සිය ප්‍රචාරක ව්‍යාපාරය සදහා භාවිතා කළ අතර ඡන්දය පැවැත්වෙන අතරතුරදී පවා රාජ්‍ය මාධ්‍ය යොදාගෙන විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට පහර දෙමින් සිටියි.  මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දිරිපත් කරන ලද සරත් ‍කෝන්ගහගේ වැනි ව්‍යාජ අපේක්ෂකයන් හැර වාමාංශික, ස්වාධීන හා වෙනත් අපේක්ෂකයන් කිසිවෙකුට රාජ්‍ය මාධ්‍ය විසින් අවස්ථා ලබා දුන්නේ නැත. මෙම තත්වය තුළ මහින්ද රාජපක්ෂ ඡන්දය දිනිය යුත්තේ අඩු වශයෙන් 60%කවත් ඡන්ද ප්‍රතිශතයකිනි. නැතිනම් එය නියත පරාජයකි.  කවුරු දිනුවත්, පැරදුණත් මෙම ප්‍රතිඵලය පිළි නො ගත යුතු ය. සාධාරණ ජනාධිපතිවරනයක් සඳහා සටන් කළ යුතු ය. මෙවැනි දූෂිත මැතිවරණ ක්‍රම හෙළා දැකිය යුතු ය. දූෂකයන් පිටු දැකිය යුතු ය.  ඒ අ