ජාතිවාදී උමතුව පරදවමු.-පීපල්ස් මාච්


(2010 ජනවාරි 14 -W3Lanka) මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රධාන උපක‍්‍රමික යොමුව යළිත් සම්පූර්ණ ජාතිවාදී හා වර්ගවාදී ස්වරූපයක් ගෙන තිබේ. සමාජය තුළ නග්න ජාතිවාදය වැපීරීම තුළින් තම සිංහල ජාතික ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට එය නොකරන දෙයක් නැති තත්වයකට පත්ව ඇති බව පෙනේ. අද ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම වාගේ මෙහෙයවනු ලබන්නේ ජාතිවාදී මනසැති වාචාල කථිකයන් කීපදෙනෙකු විසිනි. මෙම තත්ත්වය අදාළ කාරණා කිසිවක් පිළිබඳව පළල්, සාධනීය කතිකාවක් මතු කර ගැනීමේ සෑම ඉඩක් ම අහුරා දමයි.


දෙමළ ජාතික සන්ධානය ජනරාල් සරත් පොන්සේකා මහතාට සිය සහයෝගය පළ කළ මොහොතේ සිට ආණ්ඩුව සිය ජාතිවාදී ප‍්‍රචාරය උච්චස්ථානයට නංවමින් බලය සඳහා වන කෑදර උවමනාවෙන් ජාතීන් අතර සමගියට ඇති අවකාශ විනාශ කරමින් සිටී. පැවති සෑම මැතිවරණයකදීම ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙක වන ශ‍්‍රීලනිපය සහ එජාපය අඩු වැඩි වශයෙන් සිය මැතිවරණ ජයග‍්‍රහණ සඳහා ජාතිවාදය උපයෝගී කර බව රහසක් නොවේ. මෙම අවිචාරී දේශපාලනයේ නරුම, ම්ලේච්ඡ සහ බිහිසුණු ප‍්‍රතිඵල මෙරට සමාජය විසින් දශක තුනක් තිස්සේ අත් විඳි අයරු යළි යළිත් සිහි ගන්වන්නට සිදුවීම ඛේදවාචකයකි. දෙමළ දේශපාලන පක්ෂ මේ රටේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහය සමග සම්බන්ධ වීමට දක්වන නැඹුරුව ජාති භේදවාදී විෂෙහි ගිල්වා දමා තිබෙන සමාජයක සාධනීය පියවරක් මෙන්ම අගය කළ යුත්තක් ද වන අතර එය නොතකා කටයුතු කිරීම අපරාධයකි.


නමුත් යළි යළිත් සිදුවන්නේ කුමක් ද? ඉතිහාසයේ වූ පරිදිම දෙමළ ජාතික පක්ෂ දකුණේ දේශපාලන ප‍්‍රවාහයන් සමග සම්බන්ධ වන හැම විටම ජාතිවාදී, ගෝත‍්‍රවාදී පදනමකින් ඊට එරෙහිව අවි අමෝරා ගැනීම ය. ඒවා සමග සන්ධානගත වන දකුුණේ පක්ෂවලට රට පාවා දෙන්නේ යයි කියන චෝදනාවෙන් දමා ගැසීම ය. ඒ අනුව ආණ්ඩුවේ ප‍්‍රචාරයට අනුව දැන් ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය සරත් පොන්සේකාගේ සහයට පැමිණීම රට පාවා දීමේ ද්‍රෝහී කි‍්‍රයාවකි. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් හා සමාන ඉල්ලීම් ඉදිරිපත් කර ඇති ඊපීඞීපිය සමග මහින්ද රාජපක්ෂ සන්ධාන ගතවීම දේශපේ‍්‍රමී ය. නමුත් අනෙක් අතට ජවිපෙට අනුව මහින්ද ඩග්ලස් එකඟතාව දේශ ද්‍රෝහී කි‍්‍රයාවකි. කෙසේ වුව ද අද ජාතිභේදවාදය ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අවිය ලෙස යොද ගන්නා කසකරු වී ඇත්තේ රාජපක්ෂ සන්ධානයයි.


දෙමළ සන්ධානය හා සරත් පොන්සේකා එකඟ වී ඇති බවට ආණ්ඩුව හඬ නගන පහත කරුණු කෙරේ රාජපක්ෂ සන්ධානයේ ප‍්‍රතිචාරය කුමක් ද?


1 දැනට අත් අඩංගුවේ පසුවන එල්ටීටීඊ සිරකරුවන් සම්බන්ධව ආණ්ඩුව අනුගමනය කරන ක‍්‍රියාමාර්ගය කුමක් ද?


2 ජාතික ගැටළුව සඳහා දෙමළ ජනතාවගේ අභිමානය හා ගරුත්වය තහවුරු වන ආකාරයේ විසඳුමක් ලබා දෙන්නේ ද?


3 පලාලි ඇතුළු ආරක්ෂක යුද කඳවුරු පුළුල් කිරීම සඳහා අධි ආරක්ෂක කලාප ලෙස රජය පවරා ගෙන ඇති දෙමළ ජනතාවගේ එම ප‍්‍රදේශ ඔවුන්ට කිසි දා නැවත පවරා නොදෙන්නේ ද?


වසර පහක හෝ හයක කෙටි කාලීන බලයක් ලබාගැනීම සඳහා රටේ අනාගතය උකස් නොකරන ලෙස පීපල්ස් මාච්හි අපි ආණ්ඩුව ඇතුළු සියළු වග කිවයුතු කොටස් වලින් ඉල්ලා සිටිමු. දශක ගණනාවක් අප රට තුළ ගොඩ ගැසුණ මිනී කඳු සහ ගලාගිය ලේ කන්දරාව ගැන සිතා පළල් මනසකින් යුතුව සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නැයි වගකීමෙන් යුතුව අවධාරණය කරමු.


ඒ. ඞී. පී. රත්නායක
ප‍්‍රධාන ලේකම්
පීපල්ස් මාච්

Comments

  1. ජාතිවාදයට එරෙහිව නගන හඩ හොදය...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා