පොලිතින් ඇමතිවරුනි, යන යකා කොරහත් බිඳගෙන යනවාද?



(2010 ජනවාරි 22 -W3Lanka) පොලිසිය පසුගිය දිනවල නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක පුවරු ලෙස යොදා ගැනුණු පොලිතින් කිලෝ 10,290ක් ඉවත් කළ බව පොලිස්පතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ. 

මෙම පොලිතින් තොගය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීති විරෝධී ප්‍රචාරක පුවරු 2070ක් ද සරත් ෆොන්සේකාගේ නිති විරෝධී ප්‍රචාරක පුවරු 479ක් ද සඳහා යොදා ගන්නා ලද ඒවා ය.



ඉවත් කරන ලද පචාරක ද්‍රව්‍යවල බර මෙතරම් නම්, ඉවත් නො කරන ලද ඒවා සහ නීත්‍යානුකූල ප්‍රචාරක ද්‍රව්‍ය ලෙස සැලකෙන ඒවා සමග ගත් කල මෙවර ජනාධිපතිවරණයේදී පරිසරයට මුදා හරින ලද පොලිතින් ප්‍රමාණය කිලෝ ලක්ෂයක්වත් විය යුතුව තිබේ. මෙම පොලිතින් ප්‍රමාණයෙන් වැඩි කොටස කිසිදු පරීක්ෂාකාරිත්වයකින් තොරව පරිසරයට මුදා හැරේ. 


පරිසර ඇමති කාලයේ පොලිතින් භාවිතය අඩු කිරීම සඳහා නීති ගෙන ආ ඇමති මෛත්‍රීපාල සිරිසේන හා ලංකාවේ පිනට පහළ වී සිටින මහා පරිසරවේදියා නම් තමන් යැයි සිතා සිටින වත්මන් පරිසර ඇමති චම්පික රණවක ද විශාල පොලිතින් ප්‍රමාණයක් මෙසේ පරිසරයට මුදා හරින්නට දායක වී තිබේ. 


මැතිවරණ ප‍්‍රචාරය සඳහා පොලිතින්, ප්ලාස්ටික් භාවිතයට ගැනීම සිදු නොකරන මෙන් පාරිසරික සංවිධාන 06ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ සංවිධායකවරුන්ගෙන් වසර මුලදී ඉල්ලීමක් කරන ලද මුත් නිසිවෙක් එය තඹයකට තැකුවේ නැත.

2007දී රජය විසින් මයික්‍රෝන 20ට අඩු ඝනකමින් යුත් පොලිතින් භාවිතය තහනම් කිරීමේ නීති ගෙන ඒමෙන් පසු භාවිතා වන සමස්ත පොලිතින් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

රජයේ තහනම කෙසේ වෙතත්, මේ වන විට වෙළඳපොළේ තහනම් පොලිතින් නිෂ්පාදන නිදහසේ අලෙවි වන බව කවුරුත් දනිති.


තහනම පණවන ලද සමයේ ලංකාවේ පොලිතින් නිෂ්පාදන කර්මාන්තායතන 300ක් පමණ තිබූ බව ද දැන් එය දසගුණයකින් පමණ වැඩි වී ඇති බව ද පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි. මෙම ආයතන අධීක්ෂණය කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් හෝ පහසුකම් අමාත්‍යංශයේ නැති බව ද දැනගන්නට තිබේ.

පොලිතින් තහනම හඳුන්වා දෙන ලද සමයේ සිටි පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේන පොලිතින් වෙනුවට විකල්ප ඇසුරුම් ද්‍රව්‍ය හදුන්වා දෙන බව කීව ද එය හුදු වාගාඩම්බරවලට සීමා විය. සම්ප්‍රදායිකව මැටි මුට්ටි භාවිතා කළ මී කිරි නිෂ්පාදකයන් වැනි අලුත් පිරිස් පවා දැන් දැන් ප්ලාස්ටික්, පොලිතින් භාවිතයට යොමු වෙමින් සිටිති.

ජල සම්පාදනය, කෘත්‍රිම කාලගුණ තත්වයන් තුළ කෘෂිකර්මාන්තය, ලේ බැංකු, බෙහෙත් ඇසුරුම් ආදී දහසකුත් එකක් කටයුතුවලදී මානව වර්ගයාට අතිශය ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් වූ පොලිතින් දිරාපත් වීමට දීර්ඝ කාලයක් ගත වන බැවින් එය වැරදි අන්දමින් භාවිතා කිරීම පරිසරයට හානිකර වේ.

ලංකාවේ පරිසර අමාත්‍යංශය අඩු තරමේ පොලිතින් බුද්ධිමත් අන්දමින් භාවිතා කරන ආකාරය පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබා දීමට හෝ උත්සාහ දැරිය යුතුය.
 

Comments

  1. We can't expect much from Enviromental Minister for conservation of our environment, by looking at his actions and what he did and doing to world heritage Sinharaja forest

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා