වමේ ප්‍රතිඵලය ගැන සංවාදයක් කරමු ද?

(2010 ජනවාරි 29 -W3Lankaජනාධිපතිවරණයේදී වාමාංශික අපේක්ෂකයන් ලැබූ ප්‍රතිඵලය පිළිබඳ සංවාදයක් ඇරඹීමට අපි ඊයේ උත්සාහ කළෙමු. එයට ප්‍රතිචාරයක් දක්වා තිබුණේ 'බුමුතුරුණු' පමණි. ඔහු ජනාධිපතිවරණයට පෙර මේ පිළිබඳ කර ඇති සටහන ඉතා සාරගර්භ එකකි. ඔබ එය අනිවර්යයෙන් කියවිය යුතු යයි අපි සිතන්නෙමු. පහත සබඳතා පුරුක ඔස්සේ පිවිස එය කියවන්න.



දහසක් මත ගැටී දහසක් මල් පිපී ඇත – එන්න මේ මල් සුවඳදැයි බලන්න


දිනකට පැය ගණනක් අන්තර්ජාලයේ සැරිසරන වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා හෝ මෙම සංවාදය පිළිබදව උනන්දුවක් දක්වනු ඇතැයි අපි සිතමු.  

සමාජවාදී සමානතා පක්ෂය ලංකාවේ වාමාංශික සමාජ ක්‍රියාධර ප්‍රජාව සමග ඇත්තේ ඉතා අඩු සම්බන්ධයකි. එහෙත්, වික්‍රමබාහු හා සිරිතුංග ජයසූරිය එසේ නොවේ. පසුගිය පළාත් සභා මැතිවරණයේදී සිරිතුංග ජයසූරිය තරග කළ අතර අප වෙබ් අඩවියට සම්බන්ධ අය ද වික්‍රමබාහුට විවෘතව ම සහාය පළ කළ හ. ඒ අප ඔහුගේ දේශපාලන අදහස් සියල්ල පිළි ගන්නා නිසා නොවේ. සැම විට ම ධනේශ්වර දේශපාලනයේ මැතිවරණ ප්‍රධාන අවධානය ලෙස ගෙන ක්‍රියා කරන ඔහු පිළිගත් සභාවකට තේරී පත් වීම ඔහුගේ දේශපාලනය ඉදිරියට ගෙන යාමට මහෝපකාරී වන බව අපි විශ්වාස කරමු. 

මේ දෙදෙනා ම ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කළේ ලංකාවේ වාම ප්‍රජාවේ සහාය දිනා ගැනීම සඳහා කිසිදු පූර්ව උත්සාහයකින් තොරව ය. මෙය වනාහි 'ඔන්න අපි ඉදිරිපත් වුණා. දැන් ඉතින් සහාය දීපල්ලා' ක්‍රමයයි. මූලික වශයෙන් තමන් මෙම ජනාධිපතිවරණය තරග කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද යන්නවත් තර්කානුකූලව පැහැදිලි කර දීම‍ට මේ දෙදෙනා ම අපොහොසත් වූ බව පැහැදිලි ය. එ‍වැනි උවමනාවක් තිබුණේ ද යන්න ද දක්නට නො ලැබිණි. 

ජනාධිපතිවරණයේදී කැපී පෙනෙන ප්‍රචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය වාමාංශික අපේක්ෂකයා වන්නේ වික්‍රමබාහු ය. ටෙලෝ සංවිධානය නියෝජනය කරමින් ස්වාධීනව ජනාධිපතිවරණය තරග කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් සමග එකට ප්‍රචාරණයේ යෙදීම විසින් නව සංස්කෘතියක් ද හඳුන්වා දෙන ලදී.

වික්‍රමබාහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ඉලක්ක කළේ දෙමළ ඡන්දයි. එහෙත් ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානයේ සහාය දිනා ගැනීමට සමත් වූයේ දීර්ඝ කාලයක් දෙමළ ජන අපේක්ෂාවෙන් වෙනුවෙන් පෙනී සිට අභියෝග රැසකට මුහුණ දුන් වික්‍රමබාහු සහෝදරයාට නොව  දෙමළ ජනයා මුහුණ දී සිටන විපතෙහි පංගුකාරයකු වූ සරත් ෆොන්සේකා ය. 


දෙමළ ජාතිකවාදයේ අගතීන් පිළිබඳව විවේචනයක් නැතිව ඔවුන් සමග දේපාලනය කරන්නට ගිය වාමාංශිකයන් බොහෝ දෙනෙකුට මෙන් වික්‍රමබාහුට ද ඔවුන් දක්වන්නේ කුඩම්මාගේ සැලකිල්ලයි. ටැමිල්නෙට් වෙබ් අඩවියේ පළ වූසටහනක ඡායානුවාදය පහත දැක්වේ. 


'ජනාධිපතිවරණය යුද අපරාධකරුවන්ගේ, ඔවුන්ගේ ජාත්‍යන්තර ආධාරකරුවන්ගේ හා භූ දේශපාලනික තරගකරුවන්ගේ ප්‍රශ්නයති. දෙමළ ජනයා අවධානය යොමු කළ යුත්තේ තම ප්‍රජාව සංවිධානය කිරීම හා (එම සංවිධානාත්මකභාවය) ප්‍රදර්ශනය කිරීම කෙරෙහි ය. හොර ඡන්ද දැමීම වැළැක්වීමට හා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ 50%ක් ඡන්දය ගැනීම වැළැක්වීමට අවශ්‍ය නම් පළමු මනාපය තුන්වන පුද්ගලයකුට ලබා දිය යුතු ය. සියලු පුද්ගලයන් අතරින් දෙමළ ජනයාගේ සදාචාරාත්මක බැඳීම ඇත්තේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට ය. කොළඹ කේන්ද්‍රීය දේශපාලනය යුග ගණනාවක් තිස්සේ දෙමළ ජනයාට ඇති සාපය ලෙස දකිනවා වෙනුවට හා එය අස්ථාවර කරනවා වෙනුවට කිසියම් හෝ ආකාරයක සහභාගිත්ව දේශපාලනයක් මෙම ක්‍රමය පිළිගැනීමක් වේ.''


සදාචාරාත්මක බැඳීමක් මිස දේශපාලන නායකත්වයක් බවට පත් වන්නට බැරි වීම වික්‍රමබාහුට පමණක් නොව වාමාංශික අපේක්ෂකයන් ති‍දෙනාගේ ම පොදු ගැටළුවකි. මෙම තත්වය දක්නට ලැබෙන්නේ දෙමළ සමාජය අභිමුව පමණක් නොවේ. වාම ප්‍රජාව අතර ද තත්වය මෙය ම ය. 


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා