ජාතික සමගියට එරෙහි ප්‍රතිශතය කෙතරම් පුංචි ද?


(2010 ජනවාරි  21 -W3Lanka) ලංකාවේ සිංහල බහුතරය සමන්විත වන්නේ ජනගහණයෙන් 70%කින් පමණක්බව ද ඉතිරි 30% සුළුතර ප්‍රජාවන්ට අයිති වන බව ද පෙන්වා ‍දෙන ස්වාධීන දෙමළ ජනාධිපති අපේක්ෂක එම්. කේත සිවාජිලිංගම් පවසන්නේ මෙම සුළුතර ප්‍රජාවන්ගේ ව්‍යාපාරයකට මහින්ද රාජපක්ෂ හෝ සරත් ෆොන්සේකා 50%ක බහුතර ඡන්ද ලබා ගැනීම වැළැක්විය හැකි බවයි. 


75%ක් වන සිංහලයන් අතරින් ද මුළු ජනගහණයෙන් 5%ක් පමණ වන්නේ අයිතිවාසිකම් අහිමි සිංහල ක්‍රිස්තියානි ප්‍රජාව බව සිවාජිලිංගම් පෙන්වා දෙයි. ඔහු මේ ව පැවසුවේ පසුගියදා වැල්ලවත්තේදී ඔහු සහ ජනාධිපති අපේක්ෂක වික්‍රමබාහු කරුණාරත්න එක්ව පැවැත්වූ  පැවති මහජන රැස්වීමකදී ය. 

මෙහිදී සිවාජිලිංගම්ට ද මගහැරුණු සුළුතරයක් තිබේ. එනම්, සුළුතර ප්‍රජාවන්ට සම තැන් දෙන රාජ්‍ය ප්‍රතිසංස්කරණයකට පක්ෂ සිංහල බෞද්ධ සුළුතරයක් ද සිටින බවයි. විසිරී සිටින මෙම සුළුතර ප්‍රතිශතය ද විශාල ප්‍රමාණයක් විය හැකි ය. මාක්ස්වාදීන්, වාමාංශිකයන් සහ වාම ලිබරල්වාදීන් ආදීහු මෙම පිරිසට අයත් වෙති. 



ඇත්ත වශයෙන් ම ගතහොත්, සුළුතර ජාතීන් සමග සාමයෙන් ජීවත් වීමට අකැමැති සිංහල බෞද්ධ ප්‍රතිශතය ඉතා ම සුළුතරයකි. එහෙත් මෙම පිරිස සක්‍රිය බලවේගයකි. ජාතිවාදයෙන් ජීවනෝපාය හා සමෘද්ධිය සලස්වා ගන්නා දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව සිටින අවස්ථාවාදීන් අතළොස්සක් මෙම අන්ත දක්ෂිණාංශික සිංහල බෞද්ධ බලවේගයට නායකත්වය දී ඒ ඔස්සේ රට මෙහෙයවන තත්වයක් දැනට දක්නට ලැබේ. රාජ්‍යය හරහා මෙම පිරිස කරන්නේ සමාජය පුරා බිය පැතිරවීම හා සුළුතර ප්‍රජාවන් සැක කිරීමට සිංහල බහුතරය පෙළඹවීමයි.



මෙම ප්‍රතිගාමී බලවේගය සුළු ම සුළු සුළුතරයකි. ලංකාවේ ජාතීන්ගේ හිමිකම් තහවුරු කරන රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම ලංකාවේ දේශපාලන ප්‍රජාවේ අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය පූර්ව‍ කොන්දේසියක් වන අතර ඒ සඳහා පාලකයන්ට බල කරන සමාජ ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය පදනම තිබේ. 


එහෙත්, සිවාජිලිංගම්ලා වික්‍රමබාහු කරුණාරත්නලා කරන්නේ ද යතුර වැටුණු අඳුරු තැන එය සොයනවා වෙනුවට ලයිට් කණුව යට අතපත ගෑමයි. ජාතික සමගිය ගොඩනැඟීමේ සැබෑ උවමනාවක් ඇත්නම් එය කළ හැක්කේ ලාංකීය ජාතියක් ගොඩනැඟීම සඳහා වූ රාජ්‍ය හා සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සටන් කරන දේශපාලන ව්‍යාපාරයකින් මිස එන එන ඡන්දයට කෙසේ හෝ කවුරු හෝ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමෙන් නොවේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා