දේශප්‍රේමී සළු ඇඳ සිටින සමාජ විරෝධී කඩාකප්පල්කාරීන්ට එරෙහිව ජනතාව වීදි බැසිය යුතු ය


(2010 ජනවාරි 26 -W3Lanka) ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය පිණිස සියලු මහජන දේපල පාවිච්චි කළ ආණ්ඩුව අන්තිම තුරුම්පුව ලෙස ගැසුවේ සරත් ෆොන්සේකාට ඡන්දය දීමේ අවස්ථාව ලැබී නැත්තේ ඔහු මෙරට පුරවැසියකු නො වන නිසා ය යන සාවද්‍ය ප්‍රචාරය රාජ්‍ය මාධ්‍ය හරහා ගෙන යාමයි.


රාජ්‍ය මාධ්‍ය හරහා මෙම ප්‍රචාරය ගෙන යාමට මුල් වූයේ විමල් වීරවංශ ය. සත්තකින් ම සරත් ෆොන්සේකාට ඡන්දය දීමේ අවස්ථාව අහිමි වූයේ ඔහු 2008 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී නො සිටි නිසා ය. එම හේතුව නිසා ම විමල් වීරවංශට ද මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය දීමේ අවස්ථාව නො ලැබිණි.


විමල් වීරවංශ විසින් අවුස්සන ලද මෙම නින්දා සහගත කුණු ගොඩ හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ද මේ පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සිදු විය. ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය කරුණක් නොවන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවසීය.


මෙම ප්‍රශ්නය පිළිබඳව සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය ඉතා වැදගත් වේ. ඔහු කීවේ මෙසේ ය. "මම 2008 වසරේ ඡන්ද නාමලේඛනයට මගේ නම ඇතුළත් කරන ලෙස අයදුම්පතක් ඉදිරිපත් කළා. නමුත් ඒ ඡන්ද හිමි නාමලේඛණයට මගේ නම ඇතුළත් වී නැහැ. ඒ නිසා මට මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පමණක් නැහැ. මේ කරුණ ව්‍යාජ ලෙස දක්වමින් ආණ්ඩුව විසින් මට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නැති බව පවසනවා. පසුගිය කාලසීමාවේදී මට ඡන්ද අයිතිය ඉල්ලීමේ කරුණට වඩා වැදගත් කරුණු රාශියක් තිබුණා. මේ රට වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කිරීමට, රටේ ස්වෛරීභාවය රැකගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් කැපවීමේ අදහස පමණයි මට තිබුණේ.


මම මේ රට වෙනුවෙන් කැපවීමෙන් මගේ ජීවිතය පරදුවට තියල කටයුතු කරන කාලයේදී කාටවත් මගේ පුරවැසිභාවය ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් මේ ‍අවස්ථාවේදී තමන්ගේ බලය වෙනුවෙන් දේශප්‍රේමී කියන අය අසත්‍ය ප්‍රචාරයක් දියත් කිරීමට මගේ පුරවැසිභාවය හොයන්න පටන් අරන්. මේකෙන්ම පැහැදිලියි මේ දේශප්‍රේමී කියන අයගේ නිරුවත."


අප කලක සිට කියන්නේ ද එයයි. මේ බොරු දේශප්‍රේමීන්ගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවල අවසානයක් තිබිය යුතු ය. කිසියම් රටක පුරවැසියකු පුරවැසි අයිතිය නැති අයකු හෝ පරදේශිකයකු හෝ බව කීම සාපරාධී අපහාසයකි. විශේෂයෙන් ම අදාළ පුරවැසියා ජනාධිපතිවරණයක තරග කරමින් සිටියදී ඡන්දය දිනයේ එවැනි බොරුවක් මහජන මුදලින් නඩත්තු වන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ද්වේෂ සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවකි. මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී, සමාජ විරෝධී, කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.
 
මහජන දේපල වන රාජ්‍ය මාධ්‍ය ඔස්සේ කරන ලද මෙම ප්‍රචාරය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට කර ඇති බලපෑම පිළිබඳව ද සැලකිලිමත් විය යුතු ය.


අප මුල සිට ම කියන්නේ කවුරු දිනුවත්, පැරදුණත් මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කළ යුතු බවයි.
 
ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා දේශප්‍රේමී සළු ඇඳ සිටින මෙවැනි කුමන්ත්‍රණකාරී, සමාජ විරෝධී, කඩාකප්පල්කාරීන්ට එරෙහිව ජනතාව වීදි බැසිය යුතු ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා