'කුමන්ත්‍රණකාර' සරත් ෆොන්සේකා ළඟදී අත්අඩංගුවට

(2010 ජනවාරි 31 -W3Lankaවිපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා කුමන්ත්‍රණයක් මෙහෙයවා ඇති බවට ආණ්ඩුව චෝදනා කරන අතර දැනට පරීක්ෂණ කරගෙන යන ආකාරය අනුව ඉදිරි දින කීපය ඇතුළත ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුව මෙහෙයවන බටහිර බලවේගයක උදව්වෙන් රටින් පිටව යාමට හෝ ඉඩ ඇති බව විශ්ලේෂකයෝ පවසති. 


ඔහු සහ පවුලේ අය රටින් පිටවීම ගුවන් තොටුපළෙන් වළක්වා ඇති බව ඔහු පවසයි. මෙය රටින් පිට වී නො ගොස් සිටීමට කරන තවත් කුමන්ත්‍රණයක් විය හැකි ය.


අප කුමන්ත්‍රණ පිළිබඳව නො දන්නා මුත් මෙම කුමන්ත්‍රණය පිළිබද මාධ්‍ය වාර්තා අධ්‍යයනය කරන විට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ ‍ෆොන්සේකා කුමන්ත්‍රණයක්වත් හරියට කර ගැනීමට දන්නා කෙනෙකු නො වන බවයි. මීට වඩා හොඳ සැලසුම් හොලිවුඩ් චිත්‍රපට බලන මන්ද බුද්ධිකයෙකුට පවා සැකසිය හැකි ය. ජනාධිපති වන්නට තරග කර ඇත්තේ ද ලක්ෂ හතළිහකට වැඩි ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්දය දී තිබෙන්නේ ද එවැන්නෙකුට ය. 


හමුදාපතිව සිටි සමයේදී ලෙහෙසියෙන් ම කුමන්ත්‍රණයක් කරන්නට හැකියාව තිබුණු සරත් ෆොන්සේකා ඡන්දය ඉල්ලා දිනුව හෝ පැරදුණ හෝ විට කුමන්ත්‍රණයක් දියත් කරන්නට සැලසුම් කළේ ඇයි ද යන්න බරපතල ප්‍රශ්නයකි. 


ෆොන්සේකා හංසයා ලකුණින් මහ මැතිවරණය තරග කිරීමට අදහස් කිරීම මෙම කුමන්ත්‍රණයේ ඊළඟ පියවර විය හැකි බැවින් ඊට පෙර ඔහු පීඩනයට ලක් කර රටින් පළා යන තත්වයක් නිර්මානය කිරීම ප්‍රශංසනීය ප්‍රජාතන්ත්‍රවාදී පියවරකි. 


ආණ්ඩුව පවසන ආකාරයට මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන කොටසක් වන්නේ සිනමන් ලේක් හෝටලයේ කාමර වෙන් කර ගැනීමයි. එහි හමුදාව හැර ගිය සෙබළුන් 400ක් සිටින බව හෝටලය හමුදාව විසින් වටලාගෙන සිටියදී වාර්තා කරන ලදී. පසුව සෙබළුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් හමුදාව හැර ගිය අය නො වන බව ෆොන්සේකා පැවසීය. 


ඇතැම් ජනමාධ්‍ය පවසන ආකාරයට සරත් ෆොන්සේකා ඇතුළු පිරිස සිනමන් ලේක් හෝට‍ලයේ රැඳී සිට ඇත්තේ එතැන් සිට අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපති ඝාතනය කිරීමට සහ ජනාධිපති ධුරයේ බලෙන් දිවුරුම් දීමටයි. මැස්සකුටවත් ළං වීමට බැරි අන්දමින් ජනාධිපතිවරයාට සපයා ඇති ආරක්ෂාව පිළිබඳවවත් ඔහුට අවබෝධයක් තිබී නැති බව පෙනේ. 


හෝටලයේ කාමර හැත්තෑවක් වෙන් කරගෙන සිටි බව ද, ආරක්ෂක කැමරා වසා දමා තිබූ බව ද, එක් කාමරයක ආයුධ ගොඩගසා තිබූ බව ද කියනු ලැබේ. කෙසේ හෝ වේවා මෙම අවි ආයුධ හා සෙබළුන් හෝටලය වට කර සිටි හමුදා භට කණ්ඩායම්වලට නො පෙනී එතැනින් ඉවත් වී ගොස් තිබේ. 


මෙම කුමන්ත්‍රණය හා අදාළ තොරතුරු ෆොන්සේකාගේ කාර්යාලයෙන් අත්අඩංගුවට ගන්නා ලද පරිගණකවල තිබේ ද යන්න දැන් පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ පරිගණක සංඛ්‍යාව 23ක් බව ෆොන්සේකා පවසයි.


මේ අතර, සරත් ෆොන්සේකා හමුදාපති සමයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ නැති බව සරත් ෆොන්සේකා පවසයි. 


ෆොන්සේකාට හිතවත් දැනට සේවය කරන හා විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් අයගෙන් ප්‍රශ්න කරගෙන යමින් තිබේ. ඇතැමුන් වගකිව යුතු තනතුරුවලින් ඉවත් කර තිබේ. යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් මෙන්දක සමරසිංහ එම තනතුරින් ඉවත් කර ජනාධිපතිවරණය අතරතුර ජාතික රූපවාහිනියේ වැඩසටහන්වල පෙනී සිටි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දයා රත්නායක එම තනතුරට පත් කර තිබේ.  

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා