අපි දෙනියායට ගියේ ඇයි? - ලංකා පැහැදිලි කරයි

අසංක සායක්කාර - ලංකා විශේෂ කලාපය

ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත් දෙණියාය ප්‍රදේශයේ දී 'ලංකා' ඉරිදා සංග්‍රහයේ මාධ්‍යවේදීන් තිදෙනකු විසින් කළ ගවේෂණය කිසියම් ආන්දෝලනයකට හේතු වී තිබේ. ඔවුන් එහි පිටත්වීමට පසුබිම් වූ හේතු හා අවසන සිදු වූ දේ රටට හෙළිකිරීම මෙම ලිපියේ අරමුණයි. 

ඇත්ත යටපත් කිරීමට ආණ්ඩුවේ බත්බැලයෝ දැන් ටොන් ගණන් පච, කෙප්ප, බේගල් හලමින් සිටිති. ආණ්ඩුවේ මාධ්‍ය එක්ව මෙය මාධ්‍ය සන්දර්ශනයක් බවට පත්කර ගැනීමට තව ඇත්තේ සුළු මොහොතකි. ඇතැම් විට මේ ලිපිය ඔබ අතට පත්වන මොහොත වන විට ඒ මාධ්‍ය සංදර්ශනය ගජරාමෙට දියත් වෙනු ඇත. ඇත්ත මරා දමා තවත් මාධ්‍යවේදීන් තිදෙනෙක් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා පෝරකයට දක්කන්නට පෙර අපි ඔබට ඇත්ත හෙළි කරන්නෙමු. ඒ ඇත්ත ඇති සැටියෙන් දැනගැනීමට ඔබට ඇති අයිතිය වෙනුවෙනුත් ඇත්ත ඇති සැටියෙන් හෙළි කිරීමට අපට තිඛෙන වගකීම නිසාවෙනුත් ය. තව ද ඇත්ත වසා බොරුව රජකරවා රජුන් සතපවන ආණ්ඩුවේ හෙළුව හෙළි කිරීම වෙනුවෙනුත් අපි ඔබට සිදු වූ සියල්ල නොසඟවා කියන්නෙමු.

දකුණු පළාත් සභා මැතිවරණය සඳහා දින නියමවීමටත් පෙර පළාත් සභා මැතිවරණයේ දී ඒ ඒ දිස්ත්‍රික් ආවරණය කිරීමේ මුඛ්‍ය වගකීම් පැවරීම කර්තෘ මණ්ඩලය විසින් සිදු කරන ලදි. ඒ අනුව මාතර දිස්ත්‍රික්කය ආවරණය කිරීමේ වගකීම පවරන ලද්දේ කර්තෘ මණ්ඩල සමාජික ශාලික විමලසේන හට ය. මේ වගකීම යටතේ දිස්ත්‍රික්කයේ ආර්ථීක, සමාජ දේශපාලන තත්වයන් සොයා බලා හා විශ්ලේෂණය කර ඒ පිළිබඳ ප්‍රවෘත්ති හා විශේෂාංග සැපයීම ඔහු විසින් සිදු කළ යුතු ය. පූර්ව මැතිවරණ සමයේ සිට පශ්චාත් මැතිවරණ සමය දක්වා එම වගකීම දැරිය යුත්තේ ද ඔහු විසිනි. ඒ අනුව 2009 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ ශාලික විමලසේන හා ඡායාරූප ශිල්පී රවීන්ද්‍ර පුෂ්පකුමාර දෙණියාය බලා යාමට නියමිත සිටියහ. දෙණියාය ප්‍රදේශයේ ඉඩමක රජයේ වාහන සහ සම්පත් යොදා ගෙන අනවසර ඉදිකිරීමක් කරන බවට කාර්යාලයට තොරතුරු ලැබුණේ ද මේ අතරතුර ය.

ශාලික හා රවින්ද්‍ර දෙණියාය බලා ගියේ කර්තෘ මණ්ඩලයෙන් ලද එම වගකීම ද කර තබා ගෙනය. දෙදෙනා දෙණියායට ළං වූයේ පසු දා උදෑසනය. 'ලංකා' ඉරිදා සංග්‍රහයේ මාතර දිස්ත්‍රික් වාර්තාකරු දයා නෙත්තසිංහ උදෑසන වන විට දෙණියායට පැමිණ සිටියේ ය. කලින් සැලසුම් කළ පරිදි දෙණියායේ පූර්ව මැතිවරණ සූදානම හා ආර්ථක තත්වයන් පිළිබඳ සොයා බැලීම් කිහිපයට ගිය තිදෙනා මධ්‍යහ්නය වන විට එහි යම් යම් කොටස් හමාර කර තිබිණි. අනවසර ඉදිකිරීම් සිදු කෙරන පෞද්ගලික ඉඩම පිළිබඳ ව සොයා බැලිමට යා යුතු බවට තිදෙනා තිරණය කළේ ඉන් පසුව ය. ඒ අනුව තොරතුරු පසුපස හඹායද්දී මාධ්‍යවේදීන් භාවිත කරන්නා වූ උපක්‍රම භාවිත කරමින් අදාළ ඉඩම තිඛෙන තැන සොයාගත් පිරිස ත්‍රීවිලරයක නැගී එහි ගියහ.

මෙය දැවැන්ත වතුයායක් බවත් එය 'නාතගල වත්ත' නමින් හඳුන්වන බවත් එහි හිමිකරුවා ජනාධිපතිගේ මස්සිනා බවත් මාධ්‍යවේදී සොයුරුන් දැනගත්තේ ත්‍රීවිලරයේ රියැදුරාගේ කතාබහෙනි. වත්ත අසලට යන විට මඟනැගුම ව්‍යාපෘතියට අදාළ වාහන කිහිපයක් වත්තේ තැනින් තැන නතර කර තිඛෙන ඔවුහු දුටුවහ. පෞද්ගලික ඉඩමක මඟනැගුමෙ සම්පත් යොදාගෙන ඉදිකිරීමක් කරන බවට ලද තොරතුරු සත්‍යබවට මේ පිරිස දැනගත්තේ එවිට ය. ඒ අනුව තිදෙනා වත්ත ඇතුළට යාමට තීරණය කළහ. මෙය අධිආරක්ෂිත කලාපයක් හෝ වෙනයම් ආරක්ෂක භූමියක් හෝ නොවුණ නිසා කිසිදු බාධාවකින් තොරව වත්ත ඇතුළට යාමට මොවුනට හැකියාව ලැබිණි.

වත්ත ඇතුළට ගිය පිරිස එහි සිටි සේවකයෙක් සමඟ කතාබහ කරමින් ඉඩම හා සිදුකෙරෙන මේ අනවසර ඉදිකිරීම් පිළිබඳ තොරතුරු විමසා ඇත. මේ ඉදිකෙරෙන ගොඩනැගිල්ල පිළිබඳ වැඩිමනක් විස්තර කීමට ඔහු නොදැන සිටි නිසා අප මාධ්‍යවේදීහු තිදෙනා තම කාර්යය හමාර කර වතුයායෙන් පිටතට පැමිණයහ.
කතාවේ පළමු උල්ලාසය අවසන් වන්නේ එතැනිණි. එදින දහවල් 2.30 ට පමණ මේ තිදෙනා වෙනත් ස්ථානයකට යාම සඳහා බස්රථයකට ගොඩ වී ඇත. සුළු මොහොතකින් බස්රථය හරස් කරමින් පැමිණි රථයකින් පොලිස් සැරයන්වරයෙක් බිමට බැස්සේ ය. ඉන්පසු ඔහු බස්රථයේ සිටි තිදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ ය. පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේ දී අත්අඩංගුවට ගන්නා හේතුව පැහැදිලිව ඉදිරිපත් කළ යුතු ය. සැරයන්වරයා හේතුව ලෙස ප්‍රකාශ කළේ —අනවසරයෙන් දෙමළ ඉඩමකට ඇතුළු වීමය.˜ අප පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනා දෙණියාය පොලීසියේ අත්අඩංගුවට පත් වූ පුවත ලංකා කාර්යාලයට දැනගන්නට ලැබුණේ පස්වරු 4.00ට පමණ ය. ඒ පුවත කණවැකුණු සැණින් අප පළමුව සිදුකළ ක්‍රියාව වූයේ දෙණියාය පොලිසියට ඇමතීම ය.

"ඒ ගොල්ලො දෙමළ මිනිස්සු ඉන්න ඉඩමකට ඇතුළු වෙලා ඒ නිසා අපිට ප්‍රශ්න කරන්න පොලිසියට ගෙනාවා.˜

"දෙමළ මිනිස්සු ඉන්න ඉඩමකට ඇතුළු වෙච්ච එක කොහොමද නීතිවිරෝධී වෙන්නෙ..?"

"ඒ ගොල්ලො පෞද්ගලික ඉඩමකට ඇතුළු වෙලා තියෙන්නෙ අනවසරයෙන්. ඒ නිසා ප්‍රශ්න කරනවා."

එම පිළිතුරින් සෑහීමට පත් නොවුණු අපි ඒ පිළිබඳව සොයා බැලීම සඳහා තවදුරටත් උත්සාහ කළෙමු. ඒ අතරවාරයේ දෙනියායේ ඇති ව තිබු‍ණේ වෙනස් තත්වයකි. අත්අඩංගුවට පත්ව සිට මධ්‍යවේදීන් තිදෙනා පොලිසියේ සිටිය දී කොට කලිසම් ඇදගත් මැර පන්නයේ මිනිසුන් කිහිපදෙනෙක් පොලිසියට ඇතුළු වී අප මාධ්‍යවේදීන්ගේ ගමන් මළු පරීක්ෂා කරන්නට පටන් ගත්හ. එවිටම මාධ්‍යවේදීන් පිරිස එයට එරෙහි විය.

"මේ ගොල්ලො කවුද අපේ බෑග් චෙක් කරන්න. මේ බෑග්වල තියෙන්නෙ වටිනා බඩු. බෑග් චෙක් කරනවා නම් පොලිසියේ කෙනෙක් චෙක් කරන්න. කවුද දන්නෙ මේ ගොල්ලො මේ බෑග්වලට මොනව දායිද කියලා"

මේ එරෙහිවීම මත පොලිසියට එම පිරිසගෙන් බෑග් නිදහස් කර තම භාරයට ගැනීමට සිදු විය. එහෙත් ටික වෙලාවක් යන තුරු මේ පිටින් පැමිණි මැර පිරිස පොලිසියේ රැදී සිටියහ. එතැන් පටන් පොලිසිය අප මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම ඇරඹූහ. මේ ප්‍රශ්න කිරීමේ දී මේ පිරිස මාධ්‍යවේදීන් බවත් ඔවුන් ලංකා පුවත්පතේ බවත් දැනගැනීමෙන් පසු පොලිසිය පළමුව ඒ බව කොළඹට දැනුම් දී තිබේ.

පස්වරු 6 පමණ වන විට පුවත්පත් කාර්යාලයේ සිට දෙනියායට අප කතා කරන විට පොලිසියෙන් ලැබුණේ සැකමුසු පිළිතුරකි.

"එහෙම කිසිම අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙලා නෑ."

මීට පැය දෙකකට පෙර අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කර පොලිසිය දැන් එවැන්නක් සිදු වී නැති බව පැවසීම දැඩි සැකයට තුඩු දුන් නිසා ජනමාධ්‍ය අමාත්‍යවරයාටත් රටේ සෙසු මාධ්‍යවලටත් මේ පිළිබඳ දැනුම් දුන් අපි අවසානයේ පොලිස් මූලස්ථානයේ CIB II 71/83 අංකය යටතේ පැමිණිල්ලක් ද කළෙමු. රාත්‍රි 8.30 වන විටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ තමන් වෙත තවමත් ඒ පිළිබඳ තොරතුරු ලැබී නැති බවයි. එදින රාත්‍රී 12.00 වන තුරුත් අපිට අපේ මාධ්‍යවේදීන් පිළිබඳ නිශaචිත තොරතුරක් දැනගැනීමට නොහැකිවිය. 12ට පමණ ටෙරන්ස් නම් නිලධාරියකු දෙණියාය පොලිසියේ සිට කියාසිටියේ මාධ්‍යවේදීන් තිදෙනා දෙනියාය පොලිසියේ සිටින බවත් ඔවුන් තිදෙනා ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා නිතර යන තැනකට අනවසරින් ඇතුළු වූ නිසා ඒ පිළිබඳ ප්‍රශ්නකරන බවයි. එතැන් පටන් පොලිසිය වරින් වර ප්‍රකාශයන් නිකුත් කළ අතර ඒ හැම ප්‍රකාශයකම කියවුණේ ඉහත කතාවම ය.

ලංකා ඉරිදා සංග්‍රහයේ මාධ්‍යවේදීන් තිදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බව දැනගත් පසු දේශපාලනඥයන් කිහිපදෙනෙකු වහා මේ සඳහා මැදිහත් ව මාධ්‍යවේදීන් සිර කිරීම සඳහා ක්‍රියාත්මක වූයේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂ කණ්ඩායමක් දෙණියාය පොලිසියට යවන ලදී. මාධ්‍යවේදීන්ගේ කැමරා පරික්ෂා කරමින් චෝදනාවක් ගොනු කළ හැකි සාක්කි සොයා බැලු ඔවුහු අන්තිමේදී සාක්කි නොමැති නිසා දයා නෙත්තසිංහ සතුව තිබූ වීඩියෝ කැමරාව සියතට ගත්හ. එම කැමරාවේ වේලාව වෙනස් කර ජනාධිපතිවරයාගේ නැගණියගේ ඉඩමේ ඉදිවන මන්දිරයට ගොස් මන්දිරයේ සැම තැනම වීඩියෝ කරන ලද්දේ මොවුන් විසිනි.

"උඹලා වීඩියෝ කරේ නෑ කිව්වට මේ තියෙන්නෙ වීඩියෝ...˜

අප මාධ්‍යවේදින් වෙත පැමිණි විශේෂ කණ්ඩායමේ නිලධාරීහු විසින් කැමරාව පෙන්වුයේ අභිමානයෙනි. මෙතැන් පටන් දිගින් දිගට ම සිදුවූයේ විපරීත ක්‍රියාවලියකි. 03 වන බ්‍රහස්පතින්දා සවස් වරුවේ මාධ්‍යවේදීන් තිදෙනා මොරවක උසාවිය සඳහා ඉදිරිපත් කිරීමට ගෙන එමින් සිටිය දී හදිසියේ එම තීරණය අත්හරින්නට ඔවුන්ට සිදුවිය. ඒ කොළඹින් ලැබුණු අණක් නිසාය. ත්‍රස්තවිමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක දෙණියාය බලා ගොස් සිටියේ ය. එතැන් සිට චෝදනා ත්‍රස්තවාදය දෙසට බැරවෙන්නට පටන් ගත්තේ ය.

මේ අතරවාරයේ 04 වන සිකුරාදා දවල් 12 ට තවත් විපරීත ක්‍රියාවක් සිදුවිය. ජාතික රූපවාහිනියේ දිවා පුවත් තුළින් මේ පිළිබඳව අදහස් පළ කළ ඇමති මර්වින් සිල්වා ලංකා මර්දනයේ පළමු බෝම්බය පත්තු කළේ ය.

"මේ පිරිස උත්සාහ කරේ ජනාධිපතිවරයාව ඝතනය කරන්නද කියලා අපිට සැකයි."

අමාත්‍යවරයා මේ බරපතල ප්‍රකාශය සිදුකිරීමෙන් අනතුරුව එදින සවස්වරුවේ ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අමාත්‍යවරයාගේ ප්‍රකාශයම ලිඛිත භාෂාවට පෙරළා මාධ්‍ය නිවේදනයක් ලෙස පළ කළේ ය. අපේ මාධ්‍යවේදීන් තිදෙනා ජනාධිපති ඝාතනය කිරීමට සැලසුම් කළ බවට දැන් නිලවශයෙන් චෝදනා නගා තිබේ. මේ චෝදනා ගොනුවන අතරවාරයේ මාධ්‍යවේදීන් තිදෙනා හදිසි නීතිය යටතේ රැඳවුම් නියෝග ලබාගෙන පරීක්ෂණ කිරීම සඳහා කොළඹ රැගෙන එන ලදි.

සති අන්තය වන විට ඇති වී තිබුණු තත්වය එයයි. කෙසේවෙතත් මේවනවිට අප මාධ්‍ය වේදීන් තිදෙනා ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීමට ආණ්ඩුවත් ආණ්ඩුවේ බත්බැලයන් කිහිපදෙනෙකුත් දැඩි ප්‍රයත්නයක නියැලෙති. මේ සමස්ත ක්‍රියාවලිය දෙස බැලීමේ දී මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමේ සිට මේ දක්වා එක්තරා සැලසුමක් අනුව කටයුතු කෙරෙන බව පැහැදිලි ය. මේ මාධ්‍යවේදීන් පොලිසියේ අතට හසුවන්නේ අහම්ඛෙනි. එහෙත් බලධාරීන් විසින් මොවුන් ලංකා පුවත්පතේ බව දැනගැනීමත් මඟනැගුමේ සම්පත් යොදාගෙන ඉදිකෙරෙන ගොඩනැගිල්ලක් පිළිබඳ සෙවීමට පැමිණ බව දැන ගැනීමත් සමඟ මාධ්‍යවේදීන් අභූත චෝදනා නගා අසරණ කිරීමටත් ඒ හරහා ලංකා පුවත්පත නිහඬ කිරීමටත් සැලසුම් කර බව පැහැදිලිය. මේ සියලූ කුමන්ත්‍රණයන් විග්‍රහ කර බැලීමේ දී අවසන කීමට තිඛෙන්නේ කෙතරම් අභූත චෝදනා නගා අප මාධ්‍යවේදීන් මර්දනය කිරීමට කටයුතු කළත් රටට ඇත්ත කියන භූමිකාවෙන් අප ඉවතට ඇද දමන්නට කිසිදු දූෂිතයකුට හෝ ඔවුන්ගේ ඉඳුල් කා බත්බැල මෙහෙවරේ යොදන වුන්ට නොහැකි බවයි.

ඇමැති මර්වින්ගේ භූමිකාව 


ඇමති මර්වින් සිල්වා මේ දිනවල වැඩි වශයෙන් සිටින්නේ දකුණු පළාතේ ය. පසුගිය 02 දා ද ඔහු සිටියේ මාතර දිස්ත්‍රික්කයේ ය. ගැටබරු දේවාලයේ වාර්ෂික පෙරහැර නිසාවෙන් එය සංවිධානය කිරීමේ වගකීමෙන් කොටසක් ඔහු භාරගෙන සිටියේ ය. ඒනිසා දෙනියායේ නතර වී ඔහු ඒ කටයුතු මෙහෙයවමින් සිටියේ ය. ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනෙක් දෙනියාය පොලිසියේ අත්අඩංගුවට පත් ව සිටින බව ඇමතිවරයාට කල්තියා දැනගන්නට ලැබිණි. 

"ඕකුන්ට ලේසියෙන් ගැලවෙන්න දෙන්න එපා."

මධ්‍යවේදීන් තිදෙනා පොලිසියේ සිටිය දී පොලිසියට පැමිණෙන කොට කලිසන් ඇදගත් මැරපිරිස මේ ඇමතිවරයාගේ මෙහෙයවීම මත පොලිසියට ආ බව රහස්‍ය ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබිණී. කෙසේවෙතත් ඔවුන් පැමිණි අරමුණ ඒ ආකාරයෙන් ඉෂ්ට කරගැනීමට නොහැකි වු තැන වෙනත් උපායක් දියත් කිරීමට පිරිස සූදානම් වූ බව දැනගැනීමට තිබේ. 

"වැඩිය දඟලන්න දෙන්න එපා. පොලිසියෙන් එළියට අරන් කට්ටිය උස්සමු."

දහවල් අත්අඩංගුවට පත් මාධ්‍යවේදීන් සවස් වන විට දෙනියාය පොලිසියේ නොමැති බවට ඇතැම් නිලධාරීන් ප්‍රකාශ කරන්නට පටන් ගත්තේ මේ හේතුව නිසාවෙන් බව ද දැඩි සැකයක් මතු වී තිබේ. එහෙත් මේ බව ආරංචි වීමත් සමඟ බොහෝ මාධ්‍යවේදීන් ඒ පිළිබඳව පොලිසියෙන් හා බලධාරීන්ගෙන් දිගින් දිගට ම කළ විමසීම නිසා මෙම මැර පිරිසට තම අදහස අතහැර ගන්නට සිදුවිය. 

තමන්ගේ බලාපොරොත්තු සිතූ අයුරින් ඉෂ්ට නොවුණු තැන ඇමතිවරයා සිකුරාදා දිනයේ අමුතුම උපායක් ක්‍රියාවේ යෙදවීය. ජාතික රූපවාහිනියට කතා කර කැමරා කණ්ඩායමක් තම නිවසට ගෙන්වා ගෙන මෙම මාධ්‍යවේදීන් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක නියැලූණු බවට සැකයක් ඇතැයි ඔහු ප්‍රකාශ කරේ එහෙයිනි. ඇමතිවරයාගේ මෙම සාහසික ප්‍රකාශයෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකද එය ම පොලිස් භාෂාවෙන් ප්‍රකාශ කළේ ය. අප පුවත්පත සමඟ බද්ධ වෛරයෙන් පසුවන මේ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය ගැන අපට නම් පුදුමයක් නැත. එසේම මෙය ඇමතිවරයා තම හිතුමනාපෙට සිදු කළ සුපුරුදු කඩා පැනීමේ අඥාන ක්‍රියාවක් ලෙස ද අපි නොදකිමු. මේ පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් තිබේ. ඒ මේ ආණ්ඩුවේ දූෂණ වංචාවන්ට එරෙහිව අප ගෙනයන සටන නතර කිරීමයි. ඇමතිවරයා ප්‍රකාශ නිකුත් කරන්නේ ඒ අනුව ය. ඇතැම් අවස්ථාවල පොලිසිය හැසිරෙන්නේ ද ඒ අනුව ය. එහෙත් මර්වින් සිල්වා ඇමතිවරයාට සහ මේ කුමන්ත්‍රණකරුවන්ට අපට පවසන්නට ඇති එකම දෙය අප නිහඬ කරවන්නට ඔබ කොතරම් උත්සාහ කළත් ඔබට කළ නොහැකි එකම දෙය ද එය බවයි. 

Comments

  1. රට පෙරට
    මාධ්‍ය වේදියෝ වැලිකඩට
    අළුත් සිරිලංකාවක්
    (ඊලඟට අර සංගීත ඛණ්ඩය වාදනය වේ )

    ReplyDelete
  2. කුමන පැහැදිලි කිරීම් ඔබලා කරද යමෙකුගේ දේපලවලට අනවසරයෙන් ඇතුල්වීම (trespass) වරදක් නොවේද ? මෙය ඳඩුවම් ලැබිය හැකි වරදක් බව සාමාන්‍ය දැනුම ඇති අයෙකුට වුවද වැටහෙනු ඇත.

    රජය මෙහිදී හැසිරී ඇති අන්දම වැරදිය... නමුත් වැරදි දෙයක් කිරීමට ගොස් ඔබලා අත්විඳි ප්‍රතිපල ගැන කල හැක්කක් නොවන්නේ "සාදාරණය පතන්නාද සාදාරණ විය යුතු" නිසාය.

    "නිහඩ කිරීම" ගැන කට මැත දෙඩවීම එතරම් සුදුසු යුගයක අපි ජීවත් නොවෙමු. ලසන්ත "නිහඩ" වූ අයුරු ඔබට අමතකද ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා