හදිසි නීතිය රිචුවල් එකක් හෙවත් අභිචාරයක් වීම
(2011 ජනවාරි 24, W3Lanka ) සාමාන්‍ය නීතිය අභිභවා යන හදිසි නීති තත්වයක් රටකට අවශ්‍ය වන්නේ යුද්ධයක්, මහජන කැළඹීමක්, ආපදාවක් වැනි තත්වයකදී ය. එවැනි අවස්ථාවකදී මතු වන අවශ්‍යතාවන් අනුව රජයට සාමාන්‍ය නීතිය යටත් නො ලැබෙන සීමිත බලතල ප්‍රමාණයක් තාවකාලිකව ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදී රටක හදිසි නීතියෙන් බලාපොරොත්තු වේ. නිදසුනක් ලෙස, 2004 සුනාමිය වැනි ආපදාවකදී විශාල මළ මිනී සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ක්ෂණිකව කටයුතු කිරීම පිණිස මරණ පරීක්ෂණයකින් තොරව මළ මිනී වැළලීමේ බලය රජයට කෙටි කාලයකට අවශ්‍ය විය හැකි ය. එහෙත්, එවැනි බලතල රජයට හැමදාමත් අවශ්‍ය වන්නේ නැත. එසේ ම, යම් දේශපාලන ව්‍යාපාරයක් මැඬලීම පිණිස රජය එවැනි බලතල පාවිච්චි කරන්නට යනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදී, යුක්ති සහගත පියවරක් වන්නේ දැ නැත. ලංකාවේ හදිසි නීතිය වනාහි 1983 ජුලි මාසයේ සිට වසර 28කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන්නකි. අප දන්නා තරමින් මෙම කාල සීමාව තුළ හදිසි නීතිය ක්‍රියාත්මක නො වුණේ ආර්. ප්‍රේමදාස ජනාධිපති යටතේ 1989 වසරේ මාස කීපයක කාලය සඳහා පමණි. හදිසි නීතිය දීර්ඝ කරන්නේ මාසයෙන් මාසයටයි. ඒ වෙනුවෙන් විවාදයක් හා ඡන්ද විමස...