ඔන්න බුදුනෙ මල් – මෙන්න මං ගියා ප්‍රතිපත්තිය හා මාලිමාණ්ඩුව

 

අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ ජනාධිපති අනුර කුමාර දිසානායක අද දින අයවැය ප්‍රකාශයට පත්කරනු ඇත. මෙය අයවැය යෝජනා කියවීමට පැය කීපයකට පෙර කරන පූර්ව අයවැය දේශපාලන තත්ව විශ්ලේෂණයකි.

ජාතික ජන බලවේග ආණ්ඩුවට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් නැත. එය එක්කෝ මේ මොහොතට ගැලපෙන ධනේශ්වර ප්‍රතිපත්ති හරියට අනුගමනය කළ යුතුය. නැතිනම්, ඔවුන් පෙනී සිටින බව පෙනෙන සුබසාධනවාදය මත පදනම් වූ, රාජ්‍ය මූලික, ජාතික සමාජවාදී ආර්ථිකයක් පිළිබඳ ප්‍රායෝගික වැඩසටහනක් ඉදිරිපත් කළ යුතුය.

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් රාජ්‍ය වියදම් අඩු කර, දැඩි සකසුරුවම්කමකට යොමු වන බව පෙනේ. ආදායම් වැඩි කරගැනීමට යෝජිත වාහන ආනයනය වැනි ක්‍රියාමාර්ග විදේශ වත්කම් අහිමි වීමට හෝ දේශීය බදු ආදායම් අපේක්ෂිත ප්‍රමාණයට නොලැබීමට හෝ හේතු විය හැකිය.

කෙතරම් සකසුරුවමින් වුවද, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ඉඩ තිබේ. පසුගිය මාස තුනේ ද අංශු මාත්‍රයකින් හෝ කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට අසමත් වූ බරවා කකුලක් වැනි රාජ්‍ය අංශයේ බර තවත් ජනතාව මත පැටවෙන්නට ඉඩ තිබේ.

රාජ්‍ය වියදම් කප්පාදු කිරීම මගින් මුදල් සංසරණයට හා ආර්ථික ක්‍රියාකාරකම්වලට බලපෑමක් සිදු වේ. රජයේ ප්‍රතිපත්තිය රාජ්‍ය මූලික ආර්ථිකයක් වන සංදර්භය තුළ අවසානයේදී එය ආර්ථික වර්ධන වේගයට ද බලපානු ඇත. මේ වන විට රට තුළ සැලකිය යුතු සංවර්ධන කටයුත්තක් සිදු වන්නේ නැත. කිසිදු සැලකිය යුතු ඍජු විදේශ ආයෝජනයක් ද අලුතෙන් සිදු වී ඇති බවක් නොපෙනේ. චීනය සමග ගිවිසුම් අත්සන් කළ ඉන්ධන පිරිපහදුව ද ආරම්භ කර නැත.

ආර්ථික ප්‍රතිපත්තියක් මෙන්ම පැහැදිලි දේශපාලන ප්‍රතිපත්තියක් ද රජයට නැත. දූෂණයට විරුද්ධ යයි කීවාට මහා කන්ටේනර් මගඩිය හා සුළං බලාගාර ටෙන්ඩර් දූෂණය ආදී දූෂණ චෝදනා ආණ්ඩුවට එල්ල වී තිබේ.

රටේ නීතිය හා සාමය ඇති කරන බව ජාතික ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තියක් වුවද, මේ වන විට මාලිමා ක්‍රියාකාරිකයන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියා හේතුවෙන් ප්‍රකාශනයේ නිදහස, රැස්වීමේ නිදහස, සංවිධානය වීමේ නිදහස ආදිය සම්බන්ධ අභියෝග එල්ල වී තිබේ. ඔවුන්ට නිසි මග පෙන්වීමක් නැති බව ද ජනතා විමුක්ති පෙරමුණ පවා උඩ සිට යට දක්වාම අරාජික වී ඇති බව ද මෙමගින් පෙනේ.

ජාතික ජන බලවේග ආණ්ඩුව රටේ කිසිදු සංවර්ධනයක් නොවන ආකාරයේ සීමාකාරී රාමුවක් නිර්මාණය කරමින් සිටියි.

කෙසේ වෙතත්, ආණ්ඩුවට කළ හැකි කාර්යයන් දෙකකට ඔවුන් අත ගසා තිබේ. අලුතෙන්ම දියත් වූ ‘එක මිටට – ගොවිබිමට‘ වැඩසටහන ඉදිරියේදී අපේක්ෂා කළ හැකි ආහාර අර්බුදයකට විසඳුමකි. එහෙත්, දැනට කරන අන්දමින් ඉඩම් හිමියන්ට තර්ජනය කිරීම වෙනුවට ඔවුන්ට අවදානම පෙන්වා දීම වැදගත් වේ.

අනෙක් වැඩසටහන වන්නේ ක්ලීන් ශ්‍රී ලංකාය. පැහැදිලි පරාසයක් නොමැතිව අයාලේ යන එම වැඩසටහන විධිමත් කරගත යුතුය. රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීම සඳහා එක පැත්තකින් අවධානය යොමු කළ හැකිය. අනෙක් පැත්තෙන් මහජන සේවා කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. විශේෂයෙන්, පොදු ප්‍රවාහනය වැනි කාරණා සම්බන්ධයෙන් රජය මැදිහත් විය යුතුය. සංචාරකයන්ට සේවා සැපයීමේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුය.

පරිසරය පිරිසිදු කිරීම හා එම පිරිසිදුභාවය පවත්වාගෙන යාම සඳහා මහජනයා යොමු කිරීම සංචාරක කර්මාන්තය සඳහා අතිශය වැදගත්ය.

ජාතික ජන බලවේග ආණ්ඩුව පසුගියදා පොලිසියේ ඉහළ තනතුරුවල විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදු කළේය. පොලිස්කරණය විධිමත් කිරීම අතිශය වැදගත්ය. රට පුරා මේ වන විට ස්ථාපිත පාතාල හා මත්ද්‍රව්‍ය අපරාධ රාජ්‍යය මර්දනය කිරීම දැඩි මහජන ප්‍රසාදයක් දිනාගැනීමට ඉවහල් වනු ඇත.

එහෙත්, ඔන්න බුදුනෙ මල් – මෙන්න මං ගියා කියන ආකාරයේ ප්‍රතිපත්තියකින් එය කළ නොහැකිය. පොලිසිය මත වගකීම පටවා ආණ්ඩුවේ නායකයන් අයින් වී පයින් යන්නට උත්සාහ නොකළ යුතුය. ඔවුන් වගකීම භාරගත යුතුය. ටිරාන් අලස් එවැනි වගකීම් භාරගැනීමක් සඳහා මෑතකාලීන උදාහරණයකි. පරිපූර්ණ නැති විය හැකිය. වත්මන් ආණ්ඩුවේ ද ඇමතිවරු වගකීම භාරගත යුතුය. අවශ්‍ය ආරක්ෂාව සලසා ගත යුතුය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්