මායාදුන්නේට කළ අපහාසය හා රාජ්‍ය සේවයේ අනාගතය
- සුනිල් කන්නන්ගර, හිටපු ජ්‍යේෂ්ට පරිපාලන නිලධාරි
ප්‍රියන්ත මායාදුන්නේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට කළේ යැයි කියන ප්‍රකාශය මගින් ඔහුට තවත් බලවත් අගතියක් සිදු කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ 2011ජ්‍යාත්‍යන්තර සමුපකාර දිනය සැමරුම් උත්සවය පැවැත්වීමේදී සමුපකාර අරමුදලින් රුපියලි මිලියන 183ක් වැය කිරීම පිලිබඳ චෝදනාවක් මත ඔහුව අත්අඩංගුවට ගත් බවයි. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මායාදුන්නේ මහතාව අධිකරණයට ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත් උසාවියට පෙන්වාදී ඇත්තේ ඉහත උත්සවයේ ප්‍රවාහන පහසුකම් සැපයීමේදී රුපියල් ලක්ෂයක මුදලක් අවභාවිතාවීමක් ගැන මායාදුන්නේ මහතා වගකිවයුතු බවය.
ඒ අනුව රුපියල් ලක්ෂ දෙකක ඇප බැඳුම් කරයක් මත මායාදුන්නේ මහතා නිදහස් කිරීමට මහේස්ත්රත්තුමා නියෝග කර ඇත. දැනට සැකපිට අත්අඩංගුවට ගෙන එසේ නිදහස් කෙරුනු මායාදුන්නේ මහතාට එරෙහිව චෝදනා ගොනුකර නඩු පවරන්නේද නැතිද යන්න ඉදිරියේදී දැන ගත හැකිවනු ඇත. කෙසේවුවත් පොලිස් මාධය ප්‍රකාශකවරයා මේ සිද්ධිය ගැන මාධ්‍යට කළ ප්‍රකාශය නම් අනිවාර්යෙන්ම හෙලා දැකිය යුතුය.
නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසිය අමානුෂික ලෙස ක්‍රියා කිරීම කිසි සේත් උචිත නැත. මට තේරෙන හැටියට නම් රාජ්‍ය සේවාවේ දීර්ඝ කාලයක් වගකිවයුතු තනතුරු දරමින් විශාල සේවාවක් රටට ඉටුකල ප්‍රියන්ත මායාදුන්නේ බඳු විශ්‍රාමික ජ්‍යේෂ්ට රාජ්‍ය නිලධාරියෙකු අරභයා නිතිය ක්‍රියාත්මක කිරීමේදී දැවැන්ත මූල්‍ය ගනුදෙනුවකට ඔහු වගකිවයුතු යැයි ඇඟවෙන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කළ අසත්‍ය ප්‍රකාශයෙන් ඔහුට සිදුවූ හානිය ඔහුට නගා ඇති චෝදනාවෙන් කරන හානියට වඩා බොහෝ විශාලය.
ඔහුට එරෙහිව නඟා ඇති රුපියල් ලක්ෂයේ චෝදනාව ගැන අධිකරණයේ නඩුවිභාගයේදි සාධාරණය ඉටුවනු ඇත. මේ අන්දම්න් ප්‍රියන්ත මායාදුන්නේ මහතාව බලවත් අගතියකට අසාධාරණයට ලක් කිරීමට එරෙහිව සාධාරණ පුරවැසියන්ගේ විරෝධය පොලිසියට හා ඔවුන්ට උඩගෙඩිදෙන උදවියට එල්ල කළ යුතුය.
රාජ්‍ය නිලධාරීන් ලෙස රාජකාරිමය වශයෙන් අප බොහෝ මූල්‍ය ගනුදෙනු සඳහා නිර්දේශ දීම්, අනුමත කිරීම්, සහතික කිරීම් ආදියට අත්සන් තැබුවෝ වෙමු. ඒවා අභ්‍යන්තර විගණන අංශවලින් විගණනය කර නිවැරදි දැයි බලති. විගණකාධිපතිතුමාගේ නිලධාරීන් ද එබඳු දේ විගණනය කර වරදක් සිදුව ඇතිදැයි සොයා බලති.
රාජ්‍ය නිලධාරියෙකු ට තනිවම කිසිදු මුදලක් වැය කිරීමට ඉඩක් නැත. රාජ්‍ය මූල්‍ය ගෙවීමක් කිරීමට බලය දීම අනුමත කිරීම, සහතික කිරීම හා ගෙවීම යනුවෙන් පියවර හතරක් පසු කළ යුතුය. මේ පියවර හතරට හතර දෙනෙක් සම්බන්ධ වෙති .ඒ අනුව රජයේ සෑම මුදල් ගෙවීමකට හැමවිටම හතර දෙනෙක් වගකීම දරති. මේ පියවර හතර තුළ නිවැරදිව ක්‍රියාකර ඇතිදැයි පරීක්ෂා කරන්නේ විගණන අංශවලිනි. එසේ පරීක්ෂා කිරීමේදී අඩුපාඩුවක් වී ඇත්නම් ඒ පිළිබඳව ආයතන ප්‍රධානියාට දන්වා ඔහුගේ නිරීක්ෂණ ලබාගනී.
කිසියම් ගනුදෙනුවක ඇති වරදකින් රජයට පාඩුවක් සිදුව ඇත්නම් එය ඊට වගකිවයුතු නිලධාරියාගෙන් රජයට අධිභාරලෙස අයකර ගැනීමටත්, නීතිමය ප්‍රතිපාදන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සකසා අනුමත කර ඇත. ජාතික විගණන පනත ඒ නීතිමය ප්‍රතිපාදනයයි.
ඊට අතිරේකව නොසැලකිලිමත් ලෙස ක්‍රියාකරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන සේවයෙන් පහකිරීම දක්වා දඩුවම් පැමිණවීමේ ක්‍රමවේදයක් ආයතන සංග්‍රහයෙන් සකසා දී ඇත.
මේ රාජ්‍ය මූල්‍ය පරීක්ෂණ ක්‍රමවේද හා ආයතන සංග්‍රහයේ ක්‍රමවේද වෙනුවට රාජ්‍ය නිලධාරීන් කළ හා කරන රාජකාරිමය කටයුතු දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව සලකා බැලීමේ නව ක්රමවේද්යක් ආණ්ඩුව විසින් හඳුන්වාදෙන්නට යන්නේද යන සැකය මේ මායාදුන්නේ මහතාට සිදු කළ අසාධාරණය දුටු මට ඇතිවිය. විගණකාධිපති හා අභ්‍යන්තර විගණන නිලධාරීන් වෙනුවට පොලිස් නිලධාරීන් රාජ්‍ය සේවයේ කටයුතු පරීක්ෂා කරන ක්‍රමවේදයෙන් වන්නේ කිසිදු රාජ්‍ය නිලධාරියෙකු තීරණ ගැනීමෙන් තොරව බෝලේ පාස් කරමින් කල් ගත කිරීම බව ආණ්ඩුවට ඉදිරියේදී වැටහෙනු ඇත.
ප්‍රියන්ත මායාදුන්නේ මහතාට සිදු කළ බලවත් අගතිය ගැනත්, රාජ්‍ය සේවය ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසිවලින් නොව දණ්ඩ නීති සංග්‍රහයෙන් හා අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් පාලනය කරන්නට යාම ගැනත් විරෝධය පල කරමු.
(ෆේස්බුක් සටහනක් වෙනස්කමකින් තොරව සංස්කරණය කර පළ කර ඇත)
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.