මේක විහිළුවක් නොවේ
අජිත් පැරකුම් ජයසිංහ
රාජ්‍ය පාලනය විහිළු කතා කීම තරම් ලෙහෙසි පහසු නැත. කරන කියන දේ අවබෝධයෙන් කළ යුතුය. එසේම, ශරීර භාෂාව ද ඉතා වැදගත්ය. ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දෙමින් මංගල සමරවීර ඇතුළු ඇමතිවරුන් පිරිසක් සිනාමුසුව පුවරු ප්‍රදර්ශනය කරන ආකාරය යහපාලන ආණ්ඩුවට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමේදී විපක්ෂය විසින් උපයෝගී කරගන්නා ලදි. දේශපාලනයේදී ඇත්ත පවා කිව යුතු ආකාරයක් තිබේ.
ලංකාවේ අපරාධ නඩුවලට වැරදිකරුවන් වන්නේ සැකකරුවන් අතරින් 5%ක පමණ පිරිසකි. සැබෑ වැරදිකරුවන් 95%කටම දඬුවම් ලැබෙන්නේ නැත.
අපරාධ නඩු සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවලින් පුද්ගලයන්ට නිදහස ලබාගත හැකි මුත්, ඒ පිළිබඳ මහජන මතයෙන් නිදහස් විය නොහැක්කේ ඒ නිසාය. සමාජ ජීවිතයේදී මෙම මහජන මතය ද ඉතා වැදගත්ය. උදාහරණයක් ලෙස, රනිල් වික්‍රමසිංහ බටලන්ද වධකාගාරය පිහිටි නිවාස සංකීර්ණය තුළ ජීවත් වූ නිසා ඔහු එය පිළිබඳ නොදැන සිටියේ යයි කිව නොහැකි බැවින් අධිකරණයෙන් ඔහු වැරදිකරුවකු නොවුණද බටලන්ද ඔහු පිටුපස පැමිණීම වළක්වාගත නොහැකිය. මහින්ද රාජපක්ෂ සම්බන්ධ හෙල්පිං හම්බන්තොට චෝදනාව හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා ඉවත් කර දුන්නද ඔහු මහජන මතයෙන් නිදහස ලබා නැත. කැරැලි දෙකකින් මෙන්ම, චන්ද්‍රිකාගේ, මහින්දගේ ආණ්ඩුවලට සම්බන්ධ වෙමින් ජවිපෙ කළ දේ සම්බන්ධයෙන් නීතියෙන් කිසිවක් සිදු නොවුණ ද මහජන මතය තුළ ඔවුන් සාන්ත දාන්ත තීන්ත කූඩු නොවේ.
අධිකරණ ඇමතිවරයා හොඳ විහිළුකාරයෙකු යයි අසා ඇත. ඔහු ලොකු ලොක්කන් සමග ඇසුරු කරද්දී විහිළු සපයන්නට හොඳ ඇත. මැතිවරණ වේදිකාවල කතා පවත්වන්නට ද හොඳ ඇත. එහෙත්, ලංකාවේ අධිකරණ ඇමතිකම දරන්නට තරම් ඔහු සුදුස්සකු නොවන බව පාර්ලිමේන්තුවට පත් වූ දා සිට ඔහුගේ චර්යාවන්ගෙන් පෙනේ. අගමැති හරිනි ඇතුළු බොහෝ දෙනෙකුගෙන් ද මෙම ලක්ෂණ ප්‍රදර්ශනය වූ මුත්, හරිනි ලෝ ප්‍රොෆයිල් ගොස් වැඩේ ගොඩ දමාගන්නට උත්සාහ කරයි. හර්ෂණ පසුපස අවාසනාව හඹා එයි. මුලින් ඔහුගේ නම ඉදිරියෙන් දැක්වුණ ආචාර්යකම ගැන ප්‍රශ්න මතු විය. අලුත්ම එක එමිල් රංජන්ට සම්මාන දෙමින් ඔහු දක්වන මෙම ශරීර ඉරියව්වයි.
එමිල් රංජන්ට සම්මාන දීම සඳහා ඇමතිවරයා යොදාගැනීම ඉතා පැහැදිලිවම නිලධාරි කූටකමකි. එහෙත්, ඔහු ඉදිරියේ මෙසේ දෙකට නැමීම නම් ඇමතිවරයාගේ ප්රශ්නයකි.
නැවත කියන්නට තිබෙන්නේ මෙයයි. බොරු ලොකුකම් අතහැර තමන්ට කලින් මෙම තනතුරු දැරූ පුද්ගලයන් කෙසේ කටයුතු කර ඇද්දැයි බලන්න. අලුතෙන් සිතන්න. මේක විහිළුවක් නොවේ.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.