සම්බෝල තහනම වෙනුවට ව්‍යවසායකත්වය
අජිත් පැරකුම් ජයසිංහ
ලංකාවට පොල් ඇවිත් තිබෙන්නේ මීට අවුරුදු දහසකට වැඩි කාලයකට පෙර බව ගිය අවුරුද්දේ පොල් සංවර්ධන මණ්ඩලයේ මේස කැලැන්ඩරය කොහේදී හෝ දැක කියවූ බවට මතකයක් තිබේ. එදා සිට අද දක්වා කාලය තුළ ක්‍රමානුකූලව පොල් අපේ සංස්කෘතියේ මූලිකාංගයක් වී තිබේ.
කිරි හොද්ද හා පොල් සම්බෝලය අපේ ආහාර සංස්කෘතියේ මූලිකාංග දෙකක. ඒවා කන එක නවත්තන්නැයි කීම මුග්ධ කතාවකි. කඩෙන් ගත් ගාපු පොල්වලින් හෝ පොල් කිරි පැකට්වලින් නියමාකාරයෙන් ඒ ආහාර හදාගත නොහැකිය. අනෙක, වෙළඳපොළ මිල ගෙවා පොල් අරගෙන ඕනෑ නම් දෙයියන්ට පොල් ගැහුවත් ආණ්ඩුවට ඒ ගැන මොකවත් කීමට අයිතියක් නැත. ඔව්, මේ කියන්නේ කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහගේ ප්‍රකාශය ගැනය.
රිලවුන් ද, මිනිසුන් ද පොල් කන නිසා තමන්ට කර්මාන්ත සඳහා පොල් නැති බව කාලයක සිට පොල් කර්මාන්තයෙන් අසන්නට ලැබේ. මිනිසුන් කන පොල්වල අඩංගු තෙල්වලින් විශාල ප්‍රතිශතයක් අපතේ යන බව ඔවුන්ගේ මැසිවිල්ලයි. ඒ කිසා මිනිසුන් පොල් කන එක අධෛර්ය කරන්නට ආණ්ඩුව මැදිහත් විය යුතු යයි ඔවුහු සිතති. චතුරංග අබේසිංහගේ අභද්‍ර ප්‍රකාශයට හේතුව එයයි.
ලංකාවේ කර්මාන්තකරුවන්ගේත්, චතුරංග වැනි දේශපාලනඥයන්ගේත් ගැටලුව නිර්මාණශීලීව නොසිතීමයි. මෙහෙම කරන්නට බැරිද? පොල්තෙල් විකුණන තැන්ම කලෙක්ෂන් පොයින්ට්ස් බවට පත් කරගන්න. ඒ තැන්වලින් පාරිභෝගිකයන්ට පහසුවෙන් වැසිය හැකි පොලිතින් බෑග් දෙන්න. මිරිකා ඉවත දමන පොල් ඒ බෑග්වලට දමන්න කියන්න. පොල් වැඩිපුර කන බොහෝ නිවෙස්වල ශීතකරණ තිබෙන නිසා ඒවා ශීතකරණයේ තබාගත හැකිය. අනෙක් අයට වේලාගත හැකිය. පොල්තෙල් ගන්නට යන ගමන් ඒ කුඩු ටික දී යම් වාසියක් ලබාගත හැකිය. අඩු මිලට ලබාගත හැකි මේ පොල් කුඩුවලින් කර්මාන්ත කළ හැකිය. පොල් කුඩු එකතු කරන ගමන් ඕනෑ නම්, පොල් කටු ටික ද එකතු කරගත හැකිය. තව මොනවා කරන්නට බැරිද?
පුරුද්දට කර්මාන්ත කරනවා වෙනුවට ව්‍යවසායකයන් වෙන්නට කර්මාන්තකරුවන් පුරුදු කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ වගකීමයි. මිනිසුන් සම්බෝල කන එක නවත්තන්නට ඇමතිවරුන් අවශ්‍ය නැත.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.