ඇමතිතුමාගේ කෝච්චි ගමන
අජිත් පැරකුම් ජයසිංහ
ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගේ දුම්රිය ගමන දේශපාලනිකව ඉතා වැදගත් සංසිද්ධියකි. මෙවැනි දුම්රිය ගමන් හිටපු ප්‍රවාහන ඇමතිවරුන් ද ඇතැම් විට සංදර්ශනාත්මකව කර තිබේ. බොහෝ විට ඔවුන් ඒවා කරන්නේ අලුත් දුම්රියක් හඳුන්වා දීම වැනි පියවර සමගයි.
බිමල් රත්නායක තමන් ඉතා නිහතමානී පුද්ගලයකු බව පෙන්වීමට උත්සාහ කළ ද ඔහු ද සෙසු ඇමතිවරුන් මෙන්ම තම කාර්ය මණ්ඩලය ලවා අවස්ථාව කැමරාගත කරගත්තේ සංදර්ශනාත්මකවය.
අවසනාවන්ත කාරණය වන්නේ ඔහුගේ ආධුනිකබව හේතුවෙන් සමස්ත පක්ෂයේම යථාර්ථය හෙළිදරව් වීමයි. එනම්, නිර්ධන පංතිකයන් බව අවධාරණය කරන, රැකියා නොකරන, සම්මාදම් කරන ලද පක්ෂ අරමුදලින් ජීවත් වන මෙම තපස්වරුන් පිරිස කවදාවත් බස්රියක, දුම්රියක නොගිය අය බවයි. 1994න් පසු කාලය ඔවුන් ජීවත් වී තිබෙන්නේ පැලවත්තේ පක්ෂ මූලස්ථානය කේන්ද්‍ර කරගත් උප සංස්කෘතික සීමිත අවකාශයක ගැඹුරේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට පොදුජන ප්‍රශ්න ගැන තිබෙන අවබෝධය අවමය.
දුම්රියේ ගිය නිර්ධන පංතික ඇමතිවරයා මාර දේවල් ටිකක් සොයාගෙන ඇත. දුම්රිය ප්‍රමාද වෙනවාලු. ෆෑන් කැඩිලලු. වැසිකිලි අපිරිසිදුලු. මේ අතර ආබාධ සහිත අයට දුම්රියට නගින්න බැරි බව ද ඔහු සොයාගෙන තිබේ. මෙම කාරණා ගැන ඔවුන්ට මෙතරම් අනවබෝධයක් තිබෙන්නේ පොදු සමාජ ජීවිතයෙන් ඈත්ව ජීවත් වීම නිසාය.
ඊයේ සවස මම මරදානේ සිට කලුතරට සමුද්‍රෙද්වි දුම්රියෙන් පැමිණියෙමි. එම දුම්රියට මොහොතකට පෙර මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වන පළමු වේදිකාවට පැමිණෙයි. කලුතරින් බසින වැඩි පිරිසක් එන සමුද්‍රෙද්වි නවත්වන්නේ දෙවන වේදිකාවේය. එය ප්‍රතිසංස්කරණය කළ යුතු පැරණි වේදිකාවකි. දුම්රියේ මට්ටමේ සිට අඩි දෙකක් පමණ පහළට බැසිය යුතු වේදිකාවකි. ගර්භණී කාන්තාවකට පාපුවරුව දිගේ පහළට බැසීම සඳහා වෙනත් අය උදව් කරනු මම ඊයේ ද දුටුවෙමි. ඉදිරිපස දෙවෙනි පංතියේ පෙට්ටිවලින් නම් බසින්නට වන්නේ රේල් පාරෙන් ද පහළටය. ඒකත් කට්ට කරුවලේය. මේ සෙනගට බැසගෙන දුම්රිය මගට ඉහළින් ඇති පාලම හරහා යාම සඳහා තෙරපීමට ද සිදු වේ. එසේ තෙරපී එළියට එන විට සමහර බස් ගිහිල්ලාය.
මෙවැනි ගැටලුවලට සරල විසඳුම් තිබේ. අළුත්ගම දුම්රිය දෙවන වේදිකාවට යොමු කර සමුද්‍රෙද්වි පළමු වේදිකාවට යොමු කළ හැකිය. එසේ කළ විට ඇතැම් මගීන් පාලම උඩින් නොගොස් දුම්රිය මාර්ගය හරහා වේදිකාවට ගොඩවන්නට යාම අවදානම් සහගතය. එසේ නොකරන ලෙස නිවේදනය කළ හැකිය. සරල විසඳුම් මගින් විසඳිය හැකි බොහෝ ප්‍රශ්න තිබේ. අවශ්‍ය සිතීමයි. දුම්රිය වේදිකාවල ආලෝකය වැඩි කිරීම සඳහා වැය වන්නේ රුපියල් දහස් ගණනක් පමණි.
දිනපතා දුම්රියේ යන මගීන් දුම්රිය අපිරිසිදු කරන්නේ අවම වශයෙන් බව මගේ අත්දැකීමයි. සමුද්‍රෙද්වි වැනි දුම්රිය බොහෝ විට අංගනයේදී පිරිසිදු කර ආපසු එවනු ලැබේ. එහෙත්, නඩත්තුව නැති නිසා විදුලි පංකා, කවුළු, ආසන, වැසිකිළි ආදිය අබලන් වේ. දුම්රිය හිතාමතා අපිරිසිදු කරන වැඩි පිරිස නම් ඉඳහිට දුම්රියේ සංචාරක ගමන් බිමන් යන අයයි.
ඇමතිවරයා ගමන් කළ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඇමති වෙල්ගමගේ කාලේ හඳුන්වා දුන් හික්කඩුවේ සිට කොළඹ බලා යන ශීඝ්‍රගාමී දුම්රියෙන් පසු අලුත් දුම්රියක් හඳුන්වා දී නොමැති බව ඇමති බිමල් දැනගත යුතුය. සෙනග තදබද වේලාවේ කලුතරින් කොළඹ පැත්තට පෙරවරු 7.25න් පසු දුම්රියක් තිබෙන්නේ 8.18ටය. 8.47ට යන ගාලු කුමාරිගෙන් පසු තවත් දුම්රියක් තිබෙන්නේ 10.30ටය.
කැලනිවැලි දුම්රිය මාර්ගයේ තත්වය ඊටත් අන්තය. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් කොළඹ පැත්තට පෙ.ව. 8.04ට දුම්රියක් පිටත් වූ පසු නැවත දුම්රියක් තිබෙන්නේ සවස 2.16ටය.
දුම්රිය වේදිකාවල ටිකට් දීම සඳහා තිබෙන්නේ ගුල් වගයකි. ටිකට් දීම කරන්නේ ස්ටේෂන් මාස්ටර්ලාය. ටිකට් දෙන රස්සාව කළාට ඇතැමෙක් උපාධිධාරීහුය. ඔවුන් කරන්නේ රාක්කවලින් කාඩ්බෝඩ් ටිකට් එකක් තෝරා පරණ අච්චුවකින් මොකක්ද එකක් කාවැද්දීමය. මේ යකඩ මෝල නිසා හවසට ඇඟ රිදෙන එක හැර වෙනත් ප්‍රතිඵලයක් නැත. මේ අව් අස්සේ මාස්ටර්ලා ජනතාවගෙන් තවත් දුරස්ථ වීම සඳහා මේ ගුල්වල හිල්වලට ඉටිරෙදි ද ගසාගෙන ඇත. ඔවුන්ට කන් ඇහෙන්නේ ද නැත. ඊයේත් මරදානේ ටවර් හෝල් පැත්තේ ටිකට් ගුලෙන් මට දෙවෙනි පංතිය වෙනුවට තුන්වන පන්තියේ ටිකට් එකක් දී තිබිණි. එය වෙනස් කර ගැනීමට තවත් විනාඩි කීපයක් ගත වූ අතර තව පොඩ්ඩෙන් එක්කෝ සමුද්‍රෙද්වි මිස් වෙනවාය. නැතිනම්, මං නොදැන තුන්වෙනි පංතියේ ටිකට් එකකින් දෙවෙනි පංතියේ යනවාය.
ඇමතිතුමාටත්, ජනතා විමුක්ති පෙරමුණටත්, ටිකක් හෝ ජනතාව අතර ජනප්‍රිය වන්නට අවශ්‍ය නම් පොදු ප්‍රවාහනයට අත තැබිය හැකිය. එසේ කරනවා නම් දුම්රියෙන් පටන් ගැනීම වඩා පහසුය. එතන බාධාකාරී වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මාෆියාව පමණි. බස් ධාවනයේ මෙන් පාතාල මෙහෙයුම් නැත.
බොරුවට දුම්රියේ ගොස් සංදර්ශන පාන්නට ඕනෑ නැත. කළ යුතු දේ මගීන්ට හා දුම්රිය සේවකයන්ට යෝජනා කළ හැකිය. පුංචි පුංචි වෙනස්කම්වලින් පටන්ගන්නට පුළුවන.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.