මහින්ද රාජපක්ෂ පාරට ඇද දැමීම හා බයියන් ජෙප්පන් කිරීම


 අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ කටුකුරුන්දේදී තම පාක්ෂිකයන් සතුටු කිරීම සඳහා ගැසූ සැලසුම් සහගත කයිවාරුවේ ප්‍රධාන අරමුණක් වන්නේ පළිගැනීම සඳහා ආශාව කුළුගැන්වීමයි. එය ඔහුගේ පාක්ෂිකයන්ගේ සහයෝගය රඳවා තබාගැනීමටත්, අතෘප්තිය මගහැරවීමටත් ඉතා හොඳ උපායකි. මෙම බලවේගය තවමත් ගතානුගතික ජේවීපීකාරයෝය. ඔවුන් සාමාන්‍ය ජනතාව නොවේ.

එහිදී ඔහුගේ ප්‍රධාන ඉලක්කයක් වූයේ මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂවාදී දේශපාලන සංස්කෘතියයි. මහින්දගේත්, ගෝඨාභයගේත් ආරක්ෂාව අඩු කර ඇති අතර, තව දුරටත් අඩු කරන බවට හා නිල නිවසින් එළියට ඇද දමන බවට ද ජනාධිපතිවරයා තර්ජනය කළේය. ඔහු කතා කළේ ජනාධිපතිවරයකුගේ වගකීමෙන් නොවේ.

එහෙත්, ජවිපෙට ඡන්දය දුන් බහුතරය මහින්දගේ හිටපු අනුගාමිකයන්ය. ඔවුන් මහින්දගෙන් පළිගැනීම කෙසේ භාරගනු ඇද්ද යන්න අපැහැදිලිය.

2001දී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සමග මුලපුරන ලද සටන් විරාමය බිඳ දමමින් මහින්ද රාජපක්ෂ යුද්ධයට පොළඹවා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සෑහෙන වැඩකොටසක් ඉටු කළේය. උතුරු නැගෙනහිර පළාත් වෙන් කරන නඩුව පවා පැවරුවේ ජවිපෙ විසිනි. කොටි සංවිධානයට ද සටන් විරාමයෙන් ඉවත් වීමට අවශ්‍යව තිබිණි. යුදවාදය හා සිංහල ජාතිවාදය කුළුගන්වමින් ජවිපෙ මහින්ද බලයට ගෙන ආ නමුත්, වහාම ආණ්ඩුවෙන් ඉවත් විය. මහින්ද සියල්ල අනාගනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වූහ. එහෙත්, එසේ වූයේ නැත.

මහින්ද, ගෝඨාභය, බැසිල් යන රාජපක්ෂ පවුල් කල්ලිය විශාල අවදානමක් ගනිමින් යුද්ධය සඳහා නායකත්වය දුන්හ. යුද්ධය තුළ ඔවුහු විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනයන්ට ඉඩ දුන්හ. ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ජාතිකවද තමන්ට එරෙහිව එල්ල වන මානව හිමිකම් චෝදනාවලින් ආරක්ෂා වීම සඳහා ඔවුන් බලය රැකගත යුතු විය. ඒ සඳහා බලය අවභාවිතා කරමින් දූෂණයෙහි යෙදෙමින් අත දිග හැර වියදම් කළහ. කොහොම කළත්, ඔවුන්ට ගැලවිල්ලක් නැත. 2015දී ද ඔවුහු පැරදුණහ. එහෙත්, දකුණේ බලය ඔවුන් අත තිබිණි.

ඇමරිකාව මුල් වී රාජපක්ෂ පවුල ඇතුළෙන්ම බිඳ දමා, අරගලයක් ඇති කර, රාජපක්ෂ පාලනය පමණක් නොව සිංහල බෞද්ධ ගොවිගම අධිපතිවාදය ද බිඳ දමා, ඔවුන්ට ආරක්ෂාව සැලසූ රනිල් වික්‍රමසිංහ පාලනය ද පන්නා දමා ජවිපෙ බලයට ගෙනාවේ ඉතුරු ටික සම්පූර්ණ කරන්නටය. ජවිපෙ මේ කරමින් සිටින්නේ එයයි. ඔවුහු පළමුව රාජපක්ෂ බයියන් රවටා ඡන්දය දිනාගත්හ. දැන් ඔවුන් අතහැර දමා තම පාක්ෂිකයන් සමග ඉදිරියට යාම ආරම්භ කර ඇත.

තව මාස දෙකකින් ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව රැස්වනු ඇත. රාජපක්ෂවරුන් පාවා දීමට එය කදිම අවස්ථාවකි.

අප හැම විටම සිටියේ යුද්ධයට විරුද්ධවය. අප කිසිදු කලෙක රාජපක්ෂවරුන්ට සහාය දක්වා නැත. අප උත්සාහ කළේ ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදී සම්මුතියකට පැමිණීමටයි. එහෙත්, අපගේ අනුකම්පාව හිමි වූ දෙමළ ජනයා හෝ අපට සහයෝගය දැක්වූයේ නැත. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට උවමනා වූයේ යුද්ධයෙන් ඊලාම් රාජ්‍යය දිනාගැනීමයි.

මෙම අභියෝගය හමුවේ ශ්‍රී ලංකා ජනරජය තවදුරටත් රැකගැනීමට නම් යුද්ධය හැර වෙන මගක් තිබුණේ නැත. යුද්ධය දැඩි අවදානම් තීරණයකි. රාජපක්ෂ ආණ්ඩුව පමණක් නොව, ඔවුන්ගේ පවුල් ද, හමුදාව ද, රජය ද, ශ්‍රී ලංකාව ද එයින් නැති භංග වන්නට ඉඩ තිබිණි. දෙමළ ජාතිවාදී කොටි ත්‍රස්තවාදීන් පරාජය කළ හැකිව තිබුණේ ඒ හා සමාන ප්‍රතිවිරුද්ධ සිංහල ජාතිවාදී ඒකාධිපති බලයකටය. රාජපක්ෂලා ඒ සඳහා නායකත්වය දුන්හ.

අවසානයේදී රාජපක්ෂලා ජයගත් අතර, යුද්ධයට විරුද්ධ වූ අපි පරාජය භාරගත්තෙමු. යුද්ධය අවසන් කිරීමෙන් ඇති වූ සුසමාදර්ශීය වෙනස සම්බන්ධයෙන් රාජපක්ෂලාට දිය යුතු ගෞරවය අපි නම් නොඅඩුව ලබාදෙන්නෙමු.

රාජපක්ෂලා සොරකම් කළ බව ඇත්තකැයි මම ද විශ්වාස කරමි. එහෙත්, බලය රැකගැනීම සඳහා ඔවුන් සොරාකෑ ධනය විශාල වශයෙන් බෙදාගත්හ. ජවිපෙ ද ඒ සොරකම්වලින් සම්පූර්ණයෙන්ම නිදොස් නැත. ජවිපෙ කොටස්කරුවන්ව සිටි පිරිසක් ඒ සොරකම්වලට සම්බන්ධ අතර, වී එෆ්එම් රේඩියෝ විකාශන බලපත්‍රය ද රාජපක්ෂලාගේ මිත්‍ර සංග්‍රහවල කොටසකි. ජවිපෙ එය විකුණන් කෑවේය.

රාජපක්ෂලාගෙන් පළිගැනීම ජවිපෙ 3% අමන්දානන්දයට පත්කිරීමට හේතු වනු ඇත. ජවිපෙට එය ඉතා වැදගත්ය. එහෙත්, ජවිපෙ බලයට ගෙන ඒමට ඡන්දය දුන් ඉතුරු ටික ජවිපෙට දිනාගැනීමට ඔවුන්ට හැකි විය යුතුය. එසේ වුවහොත්, සමස්ත බයි බලවේගයම ජවිපෙ වනු ඇත. රාජපක්ෂලාට කෙළම වනු ඇත. ඉතිහාසයේ එවැනි උදාහරණ එමටය.

ජවිපෙ ඉදිරියට ගෙන යනු ඇත්තේ රාජපක්ෂලාගේ ආර්ථික මූලෝපායමය. දැනට ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ විසින් අටවන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නම් ‘උගුලෙන්’ ගැලවීමටයි. රාජපක්ෂලාත් ජවිපෙත් අතර වෙනස්කම් දෙකක් ඇත. එකක්, දූෂණය සම්බන්ධයෙනි. අනෙක, ජාතිවාදය සම්බන්ධයෙනි. රාජපක්ෂවාදීන්ට දූෂණය අතහැර දැමීමට සිදු වනු ඇත. එහෙත්, ඔවුන් ජාතිවාදය අතහැර දමන්නේ නැත.

අප සිටින්නේ සුසමාදර්ශීය වෙනසක් තුළය. දේශපාලන සංස්කෘතිය වෙනස් වෙමින් ඇත. වෙනස් කළ යුතුය. වෙනස් සංස්කෘතියක් තුළ ශ්‍රී ලංකාව නැවත සැකසිය යුතුය. නැතිනම් රීසෙට් කළ යුතුය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න