ශ්‍රී සඟරාව ගැන මතක


 අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී සඟරාවෙ පිටු හතරක පහක එක දවසෙන් ඉවර වෙන චිත්‍ර කතාවක් තිබුණා. ඒ සමහර කතාත් මට තාම මතකයි. හඳපානේ ඔරු පදින්න ගිහින් ගඟේ ගිලිලා මැරුණ අක්ක නගෝ දෙන්නෙක් ගැන හොල්මන් කතාවක් තිබුණා. තව කතාවක පෙම්වතිය අන්ධ වීම නිසා ගෙදරින් ‘පොට්ටියක් බඳින්න ඕනැ පොට්ටයෙක්‘ කිව්ව නිසා කොල්ලෙක් කතුරකින් ඇස්වලට ඇනගෙන ‘පොට්ටියක් බඳින්න ඕනැ පොට්ටයෙක්‘ කියලා කෑගහනවා. මං පොඩි කාලෙ මේ පොට්ටයා කියන්නෙ කාටද කියල දැනගෙන හිටියෙ නැහැ. ඇයි ඉතින් මේ පොට්ටනියක් බඳින්න ඕනැ කියල කෑගහන්නෙ කියල තමයි මං කල්පනා කළේ.

ඉස්කෝලෙ යන්න පටන් ගන්නත් කලින් තමයි මං ශ්‍රී සඟරාව කියෙව්වෙ. අකුරු ඉගෙන ගත්තෙත් ඒකෙන්මද කොහෙද? මොකද, අක්කා අකුරු ගැටගහගෙන ඒවා කියනවා බලාගෙන ඉඳලා මාත් කියවන්න පටන් අරගෙන. ගෙදර තිබුණ අම්මගෙ ශ්‍රී සඟරා මිටියෙ ‘අහන්න ආසයි අපටත් කියන්න‘ කොටසෙ විහිළු කතා හයියෙන් කියවලා හිනා වුණාට ඇතැම් ඒවා තේරුණේ පස්සෙ කාලෙක. උදාහරණයක් විදියට එක කතාවක තිබුණා, ඒ කාලෙ දෙමළ රාජ්‍ය සේවකයන්ට භාෂා ප්‍රවීණතාව ලබාගන්නට දෙමළ අය සිංහල විභාග ලියද්දි, එක මහත්තයෙක් ගොනා තණ කයි කියන වාක්‍යය බහුවචනයට හැරෙව්වෙ ගොනා තන දෙකම කයි වශයෙන්ය කියලා.

තව කතාවක තිබුණා, ගෑණු ළමයෙක් කොල්ලට කියනවා අයියා මං කැළැල් වෙච්ච කෙල්ලක් කියලා. කොල්ලා තද වෙලා කෙල්ලට ගහනවා. එතකොට කෙල්ල කකුල් දෙක මුල පෙන්නලාද කොහෙද කියනවා උණු වතුර වැටිලා පිච්චිලා කැළැල් වෙලාය තියෙන්නෙ කියලා. අයියා නංගාව බදාගෙන උම්ම දෙනවද කොහෙද? හරියට මතක නැහැ.

තව තිබුණා විහිළු චිත්‍ර කතා පිටුවක්. එකක මතකයි ඉණ පේන්න කොට හැට්ටයක් ඇඳපු ටීචර් කෙනෙකු පන්තියට ඇවිත් පසුපසට හැරිලා පන්තියෙන් පිටත පෙන්නලා ‘මේ පිට පැත්ත අඳින්න‘ කියනවා. කොල්ලෙක් ඇඳල පෙන්නන්නෙ ටීචර්ගෙ පිට පැත්ත.

තව ඡායාරූප ඇසුරෙන් පිංතූර කතාවකුත් තිබුණා. විවිධ මාතෘකා යටතෙ විවිධ ලිපි තිබුණා. ඒක හරි අපූරු කාන්තා සඟරාවක්. ශ්‍රී කියන්නෙ විස්මිත නමක් හා ලෝගෝ එකක්. ලංකාව ශ්‍රී ලංකාව වෙන්න කලින් තමයි ශ්‍රී සඟරාව පටන් ගත්තෙ. ලංකාව ශ්‍රී ලංකාව වුණේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්.

ශ්‍රී සඟරාව හරස් අතට ඍජුකෝණාස්‍රාකාර හැඩය ගත්ත, කවරය වර්ණ ලිතෝ මුද්‍රණයෙන් තිබුණ, පිටු සීයකට වැඩි අපූරු ප්‍රකාශනයක්. එය පළ කළේ දවස, රිවිරැස, සන්, වීක්එන්ඩ්, ටිකිරි ආදී පුවත්පත් පළ කළ ස්වාධීන ප්‍රවෘත්තිපත්‍ර සමාගමෙන්. ඒකෙ අයිතිකාරයන්ම තමයි ගුණසේන කොම්පැනියෙත් අයිතිකාරයන්. රුපියල් දෙකක් විතර වෙන්න ඇති මිළ. අපේ ගෙදර ශ්‍රී සඟරා මිටියක් තිබුණා. ගුරුවරියක් වුණ අපේ අම්මා තමයි ඒවා එකතු කළේ. ඇය ගෙදර වැඩ ඉවර වෙලා නාලා එහෙම රහස් හඬින් හඬ නඟා ඒවායේ මහදිග කතාව වගේ අපට කියවන්නට බැරි ලොකු ලිපි කියවනවා අහන් ඉන්න අපි හරි ආසයි.

ශ්‍රී සඟරාවේ ආරම්භක කර්තෘ වෙලා සිටියෙ නැසීගිය ශ්‍රීයා රත්නකාර මහත්මිය. ශ්‍රී සඟරාවට නම තැබුවෙ ඇගේ නමින්ලු.

වැවිලිකරුවකු වූ ඇගේ පියා නිදහසින් පසු ශ්‍රී ලංකා රජයේ සෙනෙට් සභිකයෙක්. නුවර ඉපිද, යහපත් එ‍ඬේරාගේ කන්‍යාරාමයේ අධ්‍යාපනය ලද ශ්‍රියා පුවත්පත් කලාවට රැගෙන ආවේ පිලිප් ගුණවර්ධනගේ බිරිඳ හා දිනේෂ් ගුණවර්ධනගේ මව වූ කුසුමා ගුණවර්ධනයි. ‍

ඩී.බී. ධනපාලයන් යටතේ ලංකාදීප පුවත්පතේ පුහුණුව ලද ඇය ටයිම්ස් ආයතනය විසින් පළ කරන ලද වනිතා විත්ති පුවත්පතේ කතුවරිය ලෙස කටයුතු කළා. වසර පහකට පසු ඩී.බී. ධනපාලයන් සමග අලුතින් ආරම්භ කරන ලද දවස පුවත්පත් ආයතනයට බැඳුණු ඇය අප ඉහත සඳහන් කළ ශ්‍රී සඟරාවේ ‍සේවය කළා. ඇය ප්‍රකට ගත් කතුවරියක්.

කැලනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය තිලක් රත්නකාර ඇගේ සැමියායි.

(සඟරාවෙ ඡායාරූප ගත්තෙ ඉසිඹුව – අතීත මතක, කවි, කතන්දර සහ දැනුම ෆේස්බුක් පිටුවෙන්. අන්තිම පිංතූරෙ ඉන්න කාන්තාව තමයි ශ්‍රියා රත්නාකර )

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න