ඉන්න ඇටමැස්සන් ද? අලුත් ඇටමැස්සන් ද?


අජිත් පැරකුම් ජයසිංහ -
රටේ සිදු වන ඇතැම් මහා පරිමාණ දූෂණ පිළිබඳ ජනතා අවධානය යොමු වී ඇත. රුබෙල්ලා එන්නත විෂ වීමෙන් පාසල් දැරියන් දෙදෙනෙකු මිය යාම මේ හා බැඳුණු ආසන්න උණුසුම් සිද්ධියකි. දූෂණය බැඳී පවතින තවත් සාධකයක් වන්නේ බොරුවයි. කොමිස් ලබා ගැනීම සඳහා ගෙන්වන ලද ප්‍රමිතියෙන් බාල ඖෂධ බවට විපක්ෂය විසින් චෝදනා කරන ලද රුබෙල්ලා එන්නත්වල වෙන් වෙන් වශයෙන් ඒවා නිෂ්පාදනය කළ දිනය පිළිබඳව සඳහන් කර නොතිබුණද එම එන්නත් බහාලන ඇසුරුම්වල එන්නත්වල නිෂ්පාදිත දිනය සඳහන් කර තිබෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය එය ප්‍රමාණවත් බව පැහැදිලිව ම සඳහන් කර ඇති බව ද සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මේ පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයේදී කෑ ගසා පැවසීය.

එහෙත් මේ පිළිබඳව Criteria for Medicinal Drug Promotion නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ හා අදාළ නිල ලේඛනයේ මේ පිළිබඳව සඳහන් වන්නේ එසේ නොවේ. මෙම ලේඛනයේ ප්‍රමෝෂන් හෙවත් ප්‍රවර්ධනය අර්ථ දක්වා ඇති ආකාරය අනුව එය නිෂ්පාදකයන් විසින් සපයනු ලබන ඖෂධ තොරතුරුවලට ද අදාළ වේ. ඇසුරුම්කරණය හා ලේබල්කරණය පිළිබඳ මෙම ලේඛනයේ අංක 28 යටතේ දැක්වෙන්නේ ඇසුරුම් හා ලේබල් යෙදීම කළ යුතුව තිබෙන්නේ ආනයනය කරන රටේ ඖෂධ පාලන අධිකාරිය අනුමත කර ඇති ආකාරයට බවයි. පෙට්ටියේ නිෂ්පාදිත දිනය තිබුණාම ඇතැයි කියා ලෝක සෞඛ්‍ය සංවිධානය කියා නැත. අදාළ සමාගමට එසේ කියන්නට ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයයි.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව අලුත් බඩු ලෙස ආනයනය කර ඇත්තේ පරණ බලවේග කට්ටල බව එම දෙපාර්තමේන්තුවේ ම විමර්ශන කමිටුවක් විසින් සොයාගෙන තිබේ. ‍උතුරු දුම්රිය මාර්ගය හැදීම පිළිබඳ 'ලංකාව ඉතිහාසගත කළ' රූපවාහිනී දැන්වීමේ දුම්රිය මැදින් වෙන් වූ පසු එන්ජිම ඇති කොටස රිවස් කරනවා වෙනුවට පණ දාගෙන කෝච්චි තල්ලු කරන මිනිසුන් ඉන්නේ ලොක්කන් කෝච්චි ගිලින මේ සිරිලංකාවේයි. සත්තකින් ම ලංකාවේ මිනිස්සු සහ ගැහැනු දූෂණයට එරෙහි පුරවැසියෝ පිරිසක් නො වෙති. ඔවුහු කෝච්චි තල්ලු කරන්නට කී විට ඒවා තල්ලු කරති. ඡන්දය දෙන්නට යයි කී විට ඕනෑම හොරෙකු වැඩි ම මනාපයෙන් මහජන නියෝජිතයන් ලෙස පත් කර ගනිති.

ලංකාවේ වැඩියෙන් ම දූෂිත ක්ෂේත්‍ර අතරින් එකක් වන්නේ ජනමාධ්‍යයි. ඇතැම් තෝරා ගත් දේශපාලකයන්ගේ පමණක් දූෂණ මාධ්‍ය මගින් හෙළිදරව් වන්නේ හා ඔවුන් ඒ සමග දැඩි ප්‍රහාරයකට ලක් වන්නේ බොහෝ විට තරගකාරී දේශපාලකයන් සහ ජනමාධ්‍යකරුවන් අතර දූෂිත ගනුදෙනුවල ප්‍රතිඵල ලෙසයි. ඇතැම් විට ලොක්කෝ සිය ඇම්බැට්ටයන් ලවා මාධ්‍ය ආරම්භ කරන්නේ ම තමන් අසල සිටින තරගකරුවන්ගේ හොරකම් ගැන ලිපිගොනු එළියට ඇදීම සඳහායි. මේ මාධ්‍ය හිමියන් සහ ඒවායේ මාධ්‍යකරුවන් එම අරමුණු වෙනුවෙන් සේවය කරන්නේ ලාභ ප්‍රයෝජන වෙනුවෙනි. මෙය පැහැදිලි දූෂණයකි.

දූෂණය පිළිබඳ කතා කරන සිවිල් සමාජ සංවිධාන වන රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ පාලකයන්ට නො දෙවෙනි අන්දමින් දූෂිත ය. මේ සංවිධාන බොහොමයක් බොරු වාර්තා මත පදනම් වන ව්‍යාජ ආයතන මිස ප්‍රජාතන්ත්‍රවාදීව නිර්මානය වූ සැබෑ පුරවැසි සංවිධාන නො වේ. බොහෝ විට යාව ජීව වන ඒවායේ නායකයෝ මහා පරිමාණ වංචනිකයෝ වෙති. ධනවාදයට විකල්ප යෝජනා කරන්නට සිටින වාමාංශිකයන් පවා මෙකී දූෂණවලින් ගැලවී නැත. ඔවුන් තම නිරුවත වසා ගන්නේ තමන් විප්ලවය වෙනුවෙන් ජීවිතය කැප කර සිටින යුග පුරුෂයන් පිරිසක් ය යන කඩතුරාවෙනි. පක්ෂ හා ව්‍යාපාර අරමුදල්වලට වන දේ පිළිබඳව සාමාජික බැතිමතුන් ප්‍රශ්න නො කරන්නේ නායකයන්ගේ 'පරිත්‍යාගශීලිත්වය' හමුවේ ඔවුන් තුළ වරදකාරී හැඟීමක් ඇති කර තිබෙන හෙයිනි.

මේ කිසිවකුට දූෂණයෙන් ගැලවීමට අවශ්‍යතාවක් නැත්තේ තමන්ට වග වීම සඳහා පුරවැසි සමාජයක් ලංකාවේ නැති බැවිනි. ලංකාවේ ජනතාව යයි කියන ජීවීහු මේ සියල්ලන් සේ ම දූෂිත ය. පාරේ යන විට දකුණු පැත්තෙන් යා යුතු බව හා පාර පනින විට කහ ඉරෙන් එය කළ යුතු බව පවා නො දන්නා ඔවුහු මාර්ග අනතුරු සිදු වූ විට නීතිය අතට ගෙන වාහන ගිනි තබති. වාහන පදවන විට ඒ ගිනි තබන්නෝ ම මගමරුවෝ වෙති. පාලකයන් සමෘද්ධිය කපන බව කියා බිය කර හෝ වෙනත් රැවටිලි කර මේ ජනතාව රැස්වීම්වලට ගෙන එද්දී විශ්වවිද්‍යාලවල විප්ලවවාදී නායකයෝ නවක සිසුන් වධ බන්ධනයට ලක් කර පෙළපාලිවලට ගෙන්වා ගනිති. රජයේ සේවකයෝ වැඩ නො කර වැඩි පඩි ගන්නා ක්‍රම ගැන කල්පනා කරමින් පැය අට ගෙවා අතිකාල ද කරති. වැසියෝ ගෙදර කුණු ටික පාර අයිනට හොරෙන් විසි කර යති. මහ මැදුරුවල බලු කුමාරයන්ව කක්කා දමන්නට පාරට එවති. වැදගත් තැනකට ගියොත් එහි ගලක් හෝ මල් පැළයක් හෝ ගලවාගෙන ගෙදර ගෙන එති. නැතිනම් ගලක නම කොටා එති. ස්පීකරයක් තිබේ නම්, අනෙකාගේ කණ් අඩි පැලෙන්නට සිංදු හෝ බණ හෝ දමති. ඔර්ජිනල් සයිලන්සරය ගලවා සද්ද සයිලන්සර් ගැසූ බස්වලට ප්‍රිය කරති. පිරිමි බස්වලදී ගැහැනුන්ට ජැක් ගසති. ගැහැනු ශරීරාංග මතු වී පෙන්වන සාරි වැනි සෙක්සි ඇඳුම් ඇඳ කවුරුහරි ඒ කෑලි දෙස බැලුවොත් ගස්සති.

1977 සිට ගත වූ දශක තුන තුළ සමස්ත ලාංකීය සමාජය ම පූර්ණ ලෙස ධනවාදීකරණය විය. ආගමට හා විප්ලවවාදයට පවා එයින් ගැලවී සිටින්නට බැරි විය. බුදු බණ දෙසන හිමිවරු හීනියට තොල් ආලේප ගා ගන්නේත් මාක්ස්ගේ ඩාස් කැපිටාල් පරිවර්තකයා ආණ්ඩුවේ දූෂණ ආවරණය කරන පත්තරයක කර්තෘ පදවිය දරන්නේත් මෙම ධනේශ්වරකරණයේ ප්‍රතිඵලයක් ලෙස මිස ඔවුන්ගේ පෞද්ගලික වැරදි නිසා ම නොවේ. මේ ධනේශ්වර මහෝගයෙන් ගැලවී සිටින්නට වැදි මිනිසෙකුටවත් බැරි විය.

ධනවාදය ඇතුළාන්තයෙන් ම දූෂිත ය. එය පවතින්නේ ම ලාභය හෙවත් අතිරික්ත ශ්‍රමය සූරාකෑම මතයි. කොමිස් යනු ධනේශ්වර වෙළඳාමේ ප්‍රධාන ප්‍රධාන අංගයකි. නිෂ්පාදනයට වඩා ආනයනය හා වෙළඳාම කරන ලංකාවේ ‍කොමිස් ගැහිල්ල වළක්වා ගැනීමට ධනවාදයට බැරි ය. කොමිස් නැතිනම් රජයේ රෝහල්වලට බෙහෙත් පෙත්තක්වත් එන්නේ නැත. ටෙන්ඩර් නැතිනම් පාරේ වළක‍ට ගල් කැටයක්වත් වැටෙන්නේ නැත. මහ තැන්වලින් ගහන කොමිස් ලාභ මේ රටටවත් එන්නේ නැත. එසේ එනවා නම් අඩු තරමේ එයින් කොටසක් හෝ පහළට කාන්දු වෙයි. එහෙත්, ඒවා කෙළින් ම යන්නේ ස්විස් බැංකුවලටයි. 2008 ජුලි මාසයේදී ස්විස් රටේ හෝටලයකදී ගඩාෆිගේ පුතා හැනිබාල් හා ලේලිය සිය සේවකයන් දෙදෙනාට අඩන්තේට්ටම් කිරීම පිළිබඳ ජිනීවා පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන දෙදිනක් රඳවා තැබීම පිළිබඳ කෝප වූ අපේ පාලකයන්ට ඉතා සමීප මිතුරු රටක් වන ලිබියාවේ ජනාධිපති ගඩාෆි සිය ස්විස් බැංකු ගිනුමෙන් ඩොලර් බිලියන පහක් ඉවත් කර ගත්තේ ය. ඩොලර් බිලියන පහක්!

දූෂණය නැති කිරීම සඳහා ආණ්ඩු වෙනස් කිරීම පිළිබඳ කතා කෙරෙන මෙසමයේ 1994 ඡන්ද‍ය ආසන්න කාලයේ කලින් කොලම වැනි එජාප රජය දැඩිව විවේචනය කළ පුවත්පතක් පළ කර පසුව පාලකයන්ගේ ආදරය ලැබ ලේක්හවුස් ආයතනයට දොර විවර වූ මාධ්‍යකරුවකු වන චින්තන ජයසේන ඒ දිනවල සිළුමිණ පුවත්පතට ලියූ තීරු ලිපියක උපුටා දැක්වූ අපූරු උපමා කතාවක් සිහිපත් වේ. එම කතාවේ තමන්ගේ ඇඟේ සිටින මැක්කන්, කිනිතුල්ලන්, ඇටමැස්සන් ආදීන් එළවා දැමීමට උනන්දුවක් නැති බල්ලෙක් කියන්නේ දැන් ලේ උරා සැපට සිටින උන් ඉගිලී ගියහොත් බඩගිනිකාර අලුත් පරපෝෂිතයන් පිරිසක් පැමිණ ඇඟේ වසා වැඩියෙන් ලේ උරා බොනු ඇති බවයි. විසඳුම ඇත්තේ ධනවාදයට විකල්ප සෙවීම තුළ මිස හිසරදයට කොට්ට මාරු කිරීම තුළ නොවේ.

Comments

  1. 100% true. There is no any other country like Sri lanka and people like sri lankans.

    ReplyDelete
  2. ලේඛකයා වැරදි ලෙස වටහා ගෙන ඇති අන්දමට මේ කිසිවක් ධනවාදය නිසා ඇති වූ දේවල් නොවේ. දියුණු ධනවාදී සමාජ වල මෙහෙම විකාර සිදුවන්නේ නැත. මේ සියල්ල සිදුව ඇත්තේ අපට තවමත් වැඩවසම් සමාජයෙන් මිදී ධනවාදය කරා ගමන් කරන්නට බැරිවූ නිසාය. ඒ නිසා ධනවාදයට විකල්ප සෙවීමේ කිසිම අවශ්‍යතාවයක් නැත.

    ReplyDelete
  3. ටැබූ සබ්ජක්ට්ස් වෙත,
    බටහිර රටවල ධනවාදයේ ප්‍රජාතාන්ත්‍රික පදනම හා යහපාලනය පවත්වාගත හැකි ආර්ථික පදනම ගොඩනැඟෙන්නේ ලංකාව වැනි රටවල් නව යටත් විජිත ස්වරූපයකින් සූරාකෑම හරහාය. එවැනි අවස්ථා අහිමි පරිවාරයේ රටවල ධනවාදය සියලු පසුගාමී ලක්ෂණ කැටි කර ගනිමින් සිය අර්බුදය කළමනාකරණය කර ගනියි. ඒ රටවල ධනවාදය යනු සොරකමක් නම් මේ රටවල ධනවාදය යනු මහ දවල් මංකොල්ලයකි. මේ රටවල පාලකයන්ට ඇතැම් විට කොමිස් ගෙවන්නේ දියුණු ධනවාදී රටවල ව්‍යාපාරිකයන් විසිනි. අපේ හොරුන්ගේ ගිනුම් ඇත්තේ දියුණු ධනවාදී ස්විට්සර්ලන්තයේ බැංකුවලයි. ඔවුන්ගේ දෙව්ලොවෙහි පාදම අපේ අපායයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා