ජී.එස්.පී. ප්ලස් නැති වන්නේ පොලිසිය හා කම්කරු දෙපාර්තමේන්තුව නිසා මිස යුද්ධය නිසා නොවෙයි



(2009 ඔක්තෝබර්  20 - W3Lanka) පොලිස් ප්‍රචණ්ඩත්වය, හිංසනය හා ළමයින් සේවයේ යෙදවීම වැනි කම්කරු නීති උල්ලංඝනය කිරීම් ලංකාවට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන නො ලැබීමට ප්‍රධාන හේතු බව යුරෝපා සංගම් මුලාශ්‍ර පවසයි. 

පොලිසිය ප්‍රචණ්ඩව හැසිරෙන බව හා මිනිසුන් හිංසාවට පත් කරන බව යුරෝපයේ පමනක් නොව ලංකාවේ ද බොහෝ දෙනෙක් දන්නා කරුණකි. යුද්ධයේ අවසානයෙන් පසු ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය වෙමින් සිටිය ද ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ ප්‍රශ්න ලංකාවේ ඇත. කොළඹ හතේ බංගලාවක සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියන් දෙදෙනෙක් අභිරහස් අන්දමින් මිය ගොස් තවම මාස කීපයකි.



ලංකාවේ කම්කරු දෙපාර්තමේන්තුවට අයත් පඩිපාලක සභා විසින් විවිධ කම්කරු ශ්‍රේණි සඳහා අදාළ වැටුප් පිළිබඳ පළ කරන පුවත්පත් දැන්වීම්වල පවා ළමයින්ට ගෙවන වැටුප් පිළිබඳ සඳහන් වන සදර්භයක් තුළ ලංකාවේ ළමයින් සේවයේ යෙදවීම සිදු වන බවට ඕනෑවටත් වඩා සාක්කි තිබේ. 

මෙතැන යුද්ධය හෝ ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග හා අදාළ කාරණා නැත. ලෝකයේ දිළිඳු රටවල් 16කට යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා දෙන්නේ මානව හිමිකම් හා අදාල ජාත්‍යන්තර ප්‍රඥප්ති 27ක් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සලකා බලමිනි. මෙම සහනය ලැබෙන රටවල් ඒ සඳහා අදාළ විධිවිධානවලට අනුකූලව කටයුතු කරන්නේ ද යන්න වැඩිපුර ම ප්‍රශ්න කරන්නේ යුරෝපා සංගමය නොව එම සහන ලබා ගැනීමට අපේක්ෂා කරන වෙන රටවල් ය. 



ලංකාවේ පාලකයන් කරන්නේ මානව හිමිකම් යනු බටහිර සංකල්පයක් යයි කියන මුග්ධ සිංහල ජාතිවාදීන් සරණ යමින් තමන්ගේ සමාජය කුණු වෙන්නට හැර බටහිරට දත නියවමින් ඇවිදීමයි. මහ ලොකු ජාතික ආර්ථිකය යථාර්ථයක් නම් අපේ රටේ ලක්ෂ දෙකක් ගැහැනුන්ට සුද්දන්ට යට ඇඳුම් මහන්නට වන්නේ නැත.


ඩොලර් බිලියන 8.1ක් වන ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක් හෙවත් ඩොලර් බිලියන 3.5ක්ම ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. එයිනුත් 43%ක්ම අපනයනය කරනු ලබන්නේ යුරෝපා සංගමයටයි.24%ක් මිළ දී ගන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.


අපේ අලුත් මිතුරන් වන චීනය හෝ ඉරානය හෝ අපට ඔවුන්ගේ නිෂ්පාදන අපනයන කරන රටවල් මිස අපේ නිපැයුම් මිළ දී ගන්නා ඒවා නොවේ. 


අලුත් යාළුවන්ට තුරුල් වී පැරණි මිතුරන්ට කොකා පෙන්වමින් ලංකාවේ 'බුද්ධිමත්' ගැහැනුන් හා මිනිසුන් සමග මෝඩ චූන් ගන්නවා වෙනුවට දැන්වත් යථාර්ථයට මුහුණ දෙන්නට ආණ්ඩුව යොමු විය යුතු ය. 


රටේ මානව හිමිකම් තත්වය නංවා ගතහොත් මුලින් ම හොඳ අපට ම ය. අප හොඳ විය යුත්තේ යුරෝපයෙන් ඒ සඳහා තෑගි දෙන නිසා නොව අප මිනිසුන් නිසා ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා