නො දන්නා සන්ධාන හා දන්න ආණ්ඩුව

අජිත් පැරකුම් ජයසිංහ -
හිටපු හමුදාපති
ජනරාල් සරත් ෆොන්සේකා මීළඟ ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක බවට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ, මංගල සමරවීර හා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් දරණ උත්සාහයෙන් සුළු ජාතික පක්ෂ කැළඹීමට පත්ව තිබේ. හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට ජනාධිපති අපේක්ෂක ධුරය ලබා දෙන්නේ නම් තම පක්ෂය එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වය දෙන නව සන්ධානයෙන් ඉවත් වන බව ප‍්‍රජාතනත‍්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් එජාප නායකත්වයට දැනුම් දී ඇත. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එන්. ශ‍්‍රීකාන්ත හමුදා නිලධාරීන් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට මංගල සමරවීර මන්ත‍්‍රීවරයා උත්සාහ කරන බව පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා දැඩි සිංහලවාදියකු ලෙස ප‍්‍රසිද්ධ වී සිටීම ලංකාවේ 24%ක් වන දෙමළ හා මුස්ලිම් ජනතාව අසහනයට පත් කිරීමට හේතු වී තිබේ. 2008 සැප්තැම්බර් 23දා කැනඩාවේ නැෂනල් පෝස්ට් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡුාවක යෙදෙමින් හමුදාපති සරත් ෆොන්සේකා පැවසුවේ තමා දැඩිව ම විශ්වාස කරන පරිදි මේ රට අයිති සිංහලයන්ට බවයිි. ”සුළුතර ප‍්‍රජාවන් සිටින අතර අපි ඔවුන්ට අපේ මිනිසුන් ලෙස සලකමු. 75%ක බහුතරය වන අප යටත් නො වන අතර අපට මේ රට ආරක්ෂා කිරීමට අයිතියක් ඇත. අපි ශක්තිමත් ජාතියක් වෙමු. ඔවුන්ට අප සමග මේ රටේ ජීවත් විය හැකි ය. එහෙත්, සුළුතරයක් වන ඔවුහු නො මනා ඉල්ලීම් නො කළ යුතු ය,” යි ඔහු පැවසීය.

ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉදිරි ජනාධිපතිවරණයේදී ප‍්‍රබල අභියෝගයක් වනු ඇතැයි ඇතැමෙක් අනුමාන කරති. ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය වැනි දැඩි සිංහල ආධිපත්‍යවාදී පක්ෂවල සහයෝගය දිනා ගැනීමට ඔහු සමත් වනු ඇතිමුත් රටේ ජනගහණයෙන් 24%ක් වන දෙමළ බස කතා කරන සුළු ජාතීන්ගේ විශ්වාසය දිනාගැනීම ඔහුට පහසු වන්නේ නැත. එසේ ම, එක්සත් ජාතික පක්ෂය අද පවතින මට්ටමින් හෝ රැක ගැනීමට උර දෙන සුළු ජාතීන් තව තවත් එම පක්ෂය වෙතින් ඈත් වීම ද මෙවැනි ජනාධිපතිවරණ ව්‍යාපාරයකදී එහි බරට උර දීමට සිදු වන ප‍්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මුහුණ දෙන අභියෝගයකි.

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයකු විසින් එකඟ විය යුතුව තිබෙන කොන්දේසි පිළිබඳ කතිකාවක් ද මතු වී තිබේ. යම් නිශ්චිත කාල රාමුවක් තුළ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම එහි ප‍්‍රධාන කොන්දේසිය වී තිබේ. සුළුතර ජාතීන් රාජ්‍යයට අනුකලනය කර ගැනීම සඳහා යෝග්‍ය පරිදි රාජ්‍යය ප‍්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා දීර්ඝ කාලයක් තිස්සේ පවතින අරගලය නො තකා හැර විධායක ජනාධිපති ක‍්‍රමය පමණක් වෙනස් කිරීම සඳහා සුළුතර ජාතීන්ගේ සහයෝගය ලැබේ යයි අපේක්ෂා කළ නො හැකිය. මෙනයින් ගත් කල ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා නිදහසේ නාමයෙන් ගොඩනැෙඟමින් තිබෙන විපක්ෂ සන්ධානයෙන් ඇත්තට ම වන්නේ සුළුතර ජාතීන් තව තවත් කොණ් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල පල්ලට ම ඇද දැමීමයි.

මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ  උවමනාවක් බටහිරට තිබේ ය යන උපකල්පනයක් සමග විපක්ෂයේ සන්ධාන හා ජනාධිපති පොදු අපේක්ෂකත්වය සමපාත කිරීමට ඇතැම් විශ්ලේෂකයෝ උත්සාහ කරති. ලංකාවට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් බදු සහන නො ලැබී යන තත්වයක් නිර්මානය වීම මෙයට හේතුවයි. එහෙත් ජී.එස්.පී. ප්ලස් බදු සහන ලංකාවට නො ලැබෙන්නේ භූ දේශපාලනික ක‍්‍රමෝපායයන්ගේ සීරුමාරුවකට වඩා රටේ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගැටළුවක් හේතුවෙනි.

පොලිස් ප‍්‍රචණ්ඩත්වය, හිංසනය හා ළමයින් සේවයේ යෙදවීම වැනි කම්කරු නීති උල්ලංඝනය කිරීම් ලංකාවට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන නො ලැබීමට ප‍්‍රධාන හේතු බව යුරෝපා සංගම් මුලාශ‍්‍ර පවසයි. පොලිසිය ප‍්‍රචණ්ඩව හැසිරෙන බව හා මිනිසුන් හිංසාවට පත් කරන බව යුරෝපයේ පමනක් නොව ලංකාවේ ද බොහෝ දෙනෙක් දන්නා කරුණකි. යුද්ධයේ අවසානයෙන් පසු ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය වෙමින් සිටිය ද ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ ප‍්‍රශ්න ලංකාවේ ඇත. කොළඹ හතේ බංගලාවක සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියන් දෙදෙනෙක් අභිරහස් අන්දමින් මිය ගොස් තවම මාස කීපයකි.

ලංකාවේ කම්කරු දෙපාර්තමේන්තුවට අයත් පඩිපාලක සභා විසින් විවිධ කම්කරු ශේණි සඳහා අදාළ වැටුප් පිළිබඳ පළ කරන පුවත්පත් දැන්වීම්වල පවා ළමයින්ට ගෙවන වැටුප් පිළිබඳ සඳහන් වන සංදර්භයක් තුළ ලංකාවේ ළමයින් සේවයේ යෙදවීම සිදු වන බවට  ඕනෑවටත් වඩා සාක්කි තිබේ.

මෙතැන යුද්ධය හෝ ත‍්‍රස්තවාදයට එරෙහි ක‍්‍රියාමාර්ග හා අදාළ කාරණා නැත. ලෝකයේ දිළිඳු රටවල් 16කට යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා දෙන්නේ මානව හිමිකම්, යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා අදාල ජාත්‍යන්තර ප‍්‍රඥප්ති 27ක් ක‍්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සලකා බලමිනි. මේ සඳහා එම රටවලට 2008 දෙසැම්බර් 31 දක්වා කල් දී තිබූ අතර ලංකාවට වසරක අමතර සහන කාලයක් දෙන්නට තරම් යුරෝපා සංගමය නිර්ලෝභී විය. මෙම සහනය ලැබෙන රටවල් ඒ සඳහා අදාළ විධිවිධානවලට අනුකූලව කටයුතු කරන්නේ ද යන්න වැඩිපුර ම ප‍්‍රශ්න කරන්නේ යුරෝපා සංගමය නොව එම සහන ලබා ගැනීමට අපේක්ෂා කරන වෙනත් දිළිඳු රටවල් ය. සහනය ලබා ගන්නා රටවල් අදාළ කොන්දේසි මත කටයුතු කර නොමැති නම් වෙළඳ සාධාරණත්වය පතා ලෝක වෙළඳ සංවිධානය හමුවේ නඩු පැවරීමට සහනය නො ලැබෙන රටවලට හැකියාව තිබේ.

ලංකාවේ පාලකයන් කරන්නේ මානව හිමිකම් යනු බටහිර ක‍්‍රිස්තියානි සංකල්පයක් යයි කියන මුග්ධ සිංහල ජාතිවාදීන් සරණ යමින් තමන්ගේ සමාජය කුණු වෙන්නට හැර බටහිරට දත නියවමින් ඇවිදීමයි. පොරොන්දු වූ ජාතික ආර්ථිකය යථාර්ථයක් බවට පත් කිරීට හැකි වී නම් අපේ රටේ ලක්ෂ දෙකක් ගැහැනුන්ට සුද්දන්ට යට ඇඳුම් මහන්නට වන්නේ නැත. ඩොලර් බිලියන 8.1ක් වන ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක් හෙවත් ඩොලර් බිලියන 3.5ක්ම ලැබෙන්නේ ඇඟලූම් අපනයනවලිනි. එයිනුත් 43%ක්ම අපනයනය කරනු ලබන්නේ යුරෝපා සංගමයටයි. 24%ක් මිළ දී ගන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. අපේ අලූත් මිතුරන් වන චීනය හෝ ඉරානය හෝ අපට ඔවුන්ගේ නිෂ්පාදන අපනයන කරන තරමට අපේ නිපැයුම් මිළ දී ගන්නා ඒවා නොවේ.

රටේ මානව හිමිකම් තත්වය නංවා ගතහොත් මුලින් ම හොඳ අපට ම ය. අප හොඳ විය යුත්තේ යුරෝපයෙන් ඒ සඳහා තෑගි දෙන නිසා නොව අප මිනිසුන් නිසා ය. මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ශක්තිමත් කරන ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති සන්ධාන හරහා නො දන්නා පාලනයන් පිළිබඳ සිහින මවනවාට වඩා මේ රටේ පීඩිත ජනයා උත්සාහ කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා බලයේ සිටින පාලකයන්ට බලපෑම් කිරීමයි. ජාතික ප‍්‍රශ්නය විසඳන බවට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන බවට අලූතෙන් පොරොන්දු හෝ නව ජනවරම් අවශ්‍ය නැත. වත්මන් පාලකයෝ ඒ බවට දහ අතේ දිවුරා බලයට ආ අය වෙති. දැන් අවශ්‍ය ඒ පොරොන්දු ඉටු කිරීම මිස තව තවත් ඡුන්ද ඉල්ලීම නො වේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා