සන්ධාන හා පොදු අපේක්ෂකයින් කුමට ද?

අජිත් පැරකුම් ජයසිංහ -

2005 ජනාධිපතිවරණයට පෙර ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්‍ෂ මහතා සමග ගිවිසුමකට එළඹුණේය. එම ගිවිසුම අරලියගහ මන්දිරයේදී, ප‍්‍රසිද්ධියේ අත්සන් කළ අතර එය සියලූ ජනමාධ්‍යවල ද පළ විය. එම ගිවිසුමේ 7 වන වගන්තියට අනුව 2005න් ඇරඹෙන හයවන ජනාධිපති ධුර කාලයෙන් පසුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු වී ඇත.

එපමණක් නොව මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකවරයා විසින් ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ඉදිරිපත් කරනු ලැබූ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ 84 වන පිටුවේ මෙසේ දැක්වෙයි. "මහජන මතය නියෝජනය වීම ද ස්ථාවර ආණ්ඩුවක් බිහි කිරීම ද තුලනය වන අයුරින් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට යෝජනා කරමි. විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු ප‍්‍රශ්න වලට ද විසඳුම් ලබා දෙන්නා වු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජනාධිපතිවරයා නිල මට්ටමින් පාර්ලිමේන්තුවට වගකියන ලෙසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරන්නෙමි."

දැන් මැතිවරණ සමයක් යළි උදා වෙමින් තිබේ. 2004දී බලයට පත් වූ පාර්ලිමේන්තුවේ නිල කාලය 2010 අප්‍රේල් වන විට අවසන් වන බැවින් හරි නම් පැවැත්විය යුතු වන්නේ මහ මැතිවරණයකි. එහෙත්, 2009 නොවැම්බර් මාසයේදී සිය ධුර කාලයේ පළමු සිව් වසර සම්පූර්ණ කරන ජනාධිපතිවරයා දැන් සැරසෙන්නේ ජනාධිපතිවරණයක් පවත්වා ඉදිරි අට වසරක් සඳහා බලය තහවුරු කර ගැනීමට බවට ආරංචි ලැඛෙමින් පවතී. යුද ජයග්‍රහණයේ දීප්තිය මුළුමනින් ම සේදී යන්නට පෙර සිය ධුරය රැක ගන්නට මෙන් ම සිය ජනප්‍රියත්වයෙන් ගොඩ යාමට බලාපොරොත්තුවෙන් සිටින මැති ඇමති පිරිස අතරින් ඉදිරි ආණ්ඩුවක් සඳහා අවනත ම පිරිස තෝරාගැනීම ජනාධීපතිවරණයේ අරමුණ බව පෙනේ. වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරු විශාල පිරිසක් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා ඍජුව හා වක්‍රව කටයුතු කළ අය වෙති. කඩාගෙන යන බවට තර්ජනය කරමින් හා කූට ලෙස බටර් ගාමින් භුක්ති විඳි තනතුරුවල හා වරප්‍රසාදවල මිළ ජනාධිපතිවරයාට ගෙවා ඊළඟ මහ මැතිවරණයෙන් දිනන්නේ ද පරදින්නේ ද යන්න තීරණය කිරීමේ අවස්ථාවක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ මැති ඇමතීන්ට හා සෙසු උන්නතිකාමී ආණ්ඩු පක්ෂ දේශපාලකයන්ට ලබා දී තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙන ලද 1978න් පසු පැවති සෑම ප්‍රධාන මැතිවරණයකදී ම එය වෙනස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී. අලුත් ම තත්වය වන්නේ එය හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂය ද විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ පිලට එක් වීමයි. දැන් බලන විට විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂ කිසිවෙක් නැත. එහෙත් එය පවතී. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට දහ අතේ දිවුරා බලය ලබා ගත් චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන්ට එහි රසය විඳගැනීමෙන් පසු රජුන්, රාජිනියන් දක්වා සිය බලය පුළුල් කර ගැනීමට ආසාවක් ඇති වූවා මිස එය අත්හැරීමට උනන්දුවක් ඇති වූයේ නැත. දැන් විපක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳ කතා කරයි. එසේම හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති පොදු අපේක්ෂකයා බවට පත් කිරීමේ උත්සාහයක් ද තිබේ. ඔහුගේ කැමැත්ත, අකැමැත්ත පිළිබඳ තවමත් ප්‍රකාශ වී නැති මුත්, ජවිපෙ, එජාප හා මංගල සමරවීර පාර්ශ්වය ආදිය ඔහුට මනාප බව පෙනේ.

2008 සැප්තැම්බර් 23දා කැනඩාවේ නැෂනල් පෝස්ට් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් හමුදාපති සරත් ෆොන්සේකා පැවසුවේ පහත සඳහන් පරිදි ය. "මා දැඩිව ම විශ්වාස කරන පරිදි මේ රට අයිති සිංහලයන්ටයි. සුළුතර ප්‍රජාවන් සිටින අතර අපි ඔවුන්ට අපේ මිනිසුන් ලෙස සලකමු. 75%ක බහුතරය වන අප යටත් නො වන අතර අපට මේ රට ආරක්ෂා කිරීමට අයිතියක් ඇත. අපි ශක්තිමත් ජාතියක් වෙමු. ඔවුන්ට අප සමග මේ රටේ ජීවත් විය හැකි ය. එහෙත්, සුළුතරයක් වන ඔවුහු නො මනා ඉල්ලීම් නො කළ යුතු ය."
(I strongly believe that this country belongs to the Sinhalese but there are minority communities and we treat them like our people...We being the majority of the country, 75%, we will never give in and we have the right to protect this country...We are also a strong nation ... They can live in this country with us. But they must not try to, under the pretext of being a minority, demand undue thing.)  

ජාතීන්ගේ ප්‍රශ්නයේදී ජාතික හෙළ උරුමය වැනි දැඩි සිංහලවාදී පක්ෂයකුත් අභිභවා යන ස්ථාවරයක සිටින ජනරාල්වරයා සත්තකින් ම සිංහල අධිපතිවාදී දේශපාලනයේදී වත්මන් නායකත්වයට ප්‍රබල අභියෝගයක් වනු ඇත. එහෙත් රටේ ජනගහණයෙන් 24%ක් පමණ වන සිංහල නොවන ජනයා ඉහත කී ස්ථාවරය දරන්නකුට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇද්ද යන්න ගැටළුවකි. 2005දී කොටි සංවිධානය විසින් දියත් කරනු ලැබූ දෙමළ ඡන්ද වර්ජනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට ඉවහල් වූයේ යම් සේ ද සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රතිචාරය ඉදිරි ජනාධිපතිවරණයකදී ද වැදගත් වනු ඇත.

ලංකාවේ දේශපාලනය ගමන් කරන දිශාව දෙස බලන විට දැකිය හැකි එක් සාධකයක් වන්නේ වත්මන් ආණ්ඩු පක්ෂය මෙන් ම ප්‍රධාන විපක්ෂය ද සුළුතර ප්‍රජාවන්ගෙන් වේගයෙන් ඈත් වෙමින් සිටින බවයි. සියයට තුනක පමණ මුස්ලිම් ජනගහණයක් ජීවත් වන ප්‍රදේශ තිබුණත් දකුණු පළාත් සභාවේ කිසිදු මුස්ලිම් මන්ත්‍රීවරයකු තේරී පත් වී නැත. දකුණ තනිකර සිංහල හා අනර්කලී ආකර්ශා හැර අන් කිසිදු කාන්තා නියෝජනයක් නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිංහල, පිරිමි ආධිපත්‍යෙයන් යුත් පළාත් සභාවකි.

ලංකාවට සන්ධාන හා පොදු අපේක්ෂකයන් අවශ්‍ය කුමක් සඳහාදැයි සාකච්ඡා කිරීම සඳහා මෙය හොඳ නිමිත්තකි. ජාතික සමගිය සඳහා මහා ම බාධකය යැයි ඇතැමුන් විසින් හඳුනා ගනු ලැබූ විමුක්ති කොටි  සංවිධානය පරාජය කිරීමෙන් පසු ලංකාවේ බලයට පත් වන සිංහල නායකයින් සතුව අනිවාර්යයෙන් ම තිබිය යුතු ලක්ෂණයක් වන්නේ ජාතීන් අතර සමගිය ගොඩනැඟීමේ සමර්ථකමයි. එසේ නො වුවහොත් වන්නේ යුද්ධයකුත් නැති සාමයකුත් නැති මේ ගන්ධබ්බ අවධිය තව තවත් දිග්ගැසීමයි. එසේ ම යුද්ධය හේතුවෙන් මේ රටේ හකුළා දමන ලද ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කිරීම හා මානව හිමිකම් තත්වය නඟා සිටුවීම ද, දූෂණයට වැට බැඳීම ද, ජාත්‍යන්තර දේශපාලනයේදී නීච හෙවත් pariah රාජ්‍යයක තත්වයට වැටී සිටින ලංකාව ඒ තත්වයෙන් ගොඩ ගැනීම ද අනාගත පාලකයකු විසින් සම්පූර්ණ කළ යුතු කාර්යයන් වේ. විධායක ජනාධීපති ක්‍රමය අහෝසි කිරීම එහි එක් කොටසක් පමණි. සුළුතර ජාතීන්ට හා ආගමික, කුල ප්‍රජාවන්ට ද දිළින්දන්ට ද, විශේෂයෙන් ම කාන්තාවන්ට ද රාජ්‍යය තුළ සාධාරණ ඉඩක් ලැඛෙන පරිදි රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක ප්‍රධාන අරමුණ විය යුතුය.

දැන් සන්ධාන හැදෙමින් තිඛෙන්නේ මෙවැනි අරමුණු පෙරදැරි කරගෙන නොවේ. රාජපක්ෂ පවුලේ හා හිතවතුන්ගේ නව zවෙළඳ කුලයේz නැඟී ඒම හමුවේ කැපී යන ආණ්ඩුවේ මැති ඇමතීන් ද, අපට ගේම දුන් මහින්දට අපිත් ගේම දෙමුයි අධිෂ්ඨාන කරගෙන සිටින වෛරක්කාරයන් ද, මොකක් හෝ ආණ්ඩුවක බලය රස විඳින්නට නො ඉවසිල්ලෙන් සිටින විපක්ෂයේ පිශාච දේශපාලකයන් ද, රතු කොඩි උස්සාගෙන සිටීම හේතුවෙන් ජීවන සමෘද්ධිය අහිමි වූයේ යයි පසුතැවිලි වන මහළු වියට එළඹෙමින් සිටින වාමාංශිකයන් ද, ජාතිවාදයට විරුද්ධ වීමේ පාපයෙන් තැනකට ඒමේ අවස්ථාව අහිමි වූයේ යයි තැවෙන බුද්ධිමතුන්, කලාකරුවන් හා ක්‍රියාධරයන් ද ලාහෙට දමා ගන්නා ගෙම්බන් සේ එකතු කරගෙන දැන් හැදෙමින් පවතින ආකාරයේ සන්ධානවලින් මේ රටේ මහජනයාට කිසිදු සෙතක් අත් වන්නේ නැත.
 

Comments

  1. අපේ විපක්ෂ නායක තුමාට ඉදිරිය පේනවා අඩුය. නමුත් ජනාධිපති තුමාගේ පොලිටිකල් මොළයට ඒක හොඳට පෙනෙයි. අජිත් ජයසිංහට මේ දෙන්නා තරම් වත් දුර පෙනෙන්නේ නැති හද්ද මෝඩයෙක් බව මේ ලිපියෙන් පැහැදිලිය. ජානාධිපටි තුමාගේ ප්ලෑන් එක මේ වගේ යයි සිතිය හැක

    1. නැවත ජනාධිපති වීම
    2. මහ මැතිවරණය තබා 2/3 ගැනීම
    3. එමගින් අවුරුදු 8ක් බලයේ සිටිය හැකි පරිදි ව්‍යවස්ථා සංශෝධනය කිරීම
    4. අවුරුදු 8 ඉවර වනවිට විධායක ජනාධිපති ක්‍රමය අවසන් කර විධායක අගමැටි තනතුරක් ඇති කර ඒ ධුරයට පත් වීම
    5. නැවතත් ඡන්දයට ගොස් තුන් වන වරටත් රටේ නායකය බවට පත් වන්නට උත්සාහ කිරීම

    ReplyDelete
  2. මිගාරගෙ මොළේ තමයි මොළේ! නරකද ජනාධීපති උපදේශකකමක් ඉල්ලා හිටියොත්?

    ReplyDelete
  3. ඔය අස්සේ මිගාර වගේ බුවාලා කඩේ යැවිමත් රජාගේ තව වැඩක්.

    ReplyDelete
  4. "I love my Country. If u love Our Country,

    http://www.facebook.com/pages/Sarath-Fonseka-Greatest-General-Not-BILLY-BOY-of-UNP-to-win-Election/172944933709?ref=ts

    Please become a fan of this page in FB & please suggest your friends to become a fan....
    Because First Of all We must save our country ......
    COUNTRY FIRST ! "

    ReplyDelete
  5. Mahinda Passa balanne, me rate dewani war eka iwara karala.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා