ටැබූ සබ්ජෙක්ට්ට පෙනෙන ධනවාදයේ සුන්දරත්වය අපට නො පෙනෙන්නේ ඇයි?

(2009 ඔස්තෝබර් 31 - W3Lanka) අජිත් පැරකුම් ජයසිංහගේ ඉන්න ඇටමැස්සන් ද? අලුත් ඇටමැස්සන් ද? ලිපිය පිළිබඳ අදහසක් දක්වන හිතවත් බ්ලොග්කරුවකු වන ටැබූ සබ්ජෙක්ට්ස් මෙසේ පවසයි. 



ලේඛකයා වැරදි ලෙස වටහා ගෙන ඇති අන්දමට මේ කිසිවක් ධනවාදය නිසා ඇති වූ දේවල් නොවේ. දියුණු ධනවාදී සමාජ වල මෙහෙම විකාර සිදුවන්නේ නැත. මේ සියල්ල සිදුව ඇත්තේ අපට තවමත් වැඩවසම් සමාජයෙන් මිදී ධනවාදය කරා ගමන් කරන්නට බැරිවූ නිසාය. ඒ නිසා ධනවාදයට විකල්ප සෙවීමේ කිසිම අවශ්‍යතාවයක් නැත.

අප සිතන පරිදි මෙම කරුණ පිළිබඳ සංවාදයක් මතු කර ගැනීමට හැකි නම් ඉතා හොඳ ය. ඇත්තෙන් ම අපට තවමත් වැඩවසම් සමාජයෙන් මිදී ධනවාදය කරා ගමන් කරන්නට බැරි වී තිබේ ද? නියම ධනවාදය යනු බටහිර රටවල තිබෙන ස්වරූපයේ එකකැයි ටැබූ සිතන බව පෙනේ. එතකොට ලංකාවේ රජය හරහා රජය කරවන ධනවාදීන්, සුළු ධනේශ්වර කොටස් හා සෙසු ධනේශ්වර ව්‍යාපාරිකයන් කරන මේ නිර්දය සූරාකෑම ධනවාදය නොවේද? නිදසුනක් ලෙස රුපියලක් විය කර කෙල්ලට එස්.එම්.එස්. එකක් යවන කොල්ලාගේ සාක්කුවෙන් කතා නැතුව ශත තිස් දෙකක් ගසා කා අර රුපියලෙනුත් තවත් බදු සූරාගෙන මහජන මුදලින් ගත්, මහජන මුදලින් ම තෙල් ගැසූ තඩි සැප වාහනවල නැඟී මහජන මුදලින් පඩි කන රැකවලුන් හා බැලයන් පිරිවරාගෙන ගැහැනුන් සමග යහන් ගත වී ඉතිරි වේලාවේ දේශපාලනය යයි කියා දෙයක් කරමින් සුරසැප විඳීම ධනවාදය නොවේද? 


පහක සඳහන් වන්නේ අප ටැබූගේ සටහනට තැබූ පිළිතුරකි.


බටහිර රටවල ධනවාදයේ ප්‍රජාතාන්ත්‍රික පදනම හා යහපාලනය පවත්වාගත හැකි ආර්ථික පදනම ගොඩනැඟෙන්නේ ලංකාව වැනි රටවල් නව යටත් විජිත ස්වරූපයකින් සූරාකෑම හරහාය. එවැනි අවස්ථා අහිමි පරිවාරයේ රටවල ධනවාදය සියලු පසුගාමී ලක්ෂණ කැටි කර ගනිමින් සිය අර්බුදය කළමනාකරණය කර ගනියි. ඒ රටවල ධනවාදය යනු සොරකමක් නම් මේ රටවල ධනවාදය යනු මහ දවල් මංකොල්ලයකි. මේ රටවල පාලකයන්ට ඇතැම් විට කොමිස් ගෙවන්නේ දියුණු ධනවාදී රටවල ව්‍යාපාරිකයන් විසිනි. අපේ හොරුන්ගේ ගිනුම් ඇත්තේ දියුණු ධනවාදී ස්විට්සර්ලන්තයේ බැංකුවලයි. ඔවුන්ගේ දෙව්ලොවෙහි පාදම අපේ අපායයි.

ඉන්න ඇටමැස්සන් ද? අලුත් ඇටමැස්සන් ද? ලිපිය කියවා ඔබේ අදහස් දක්වන්න.


Comments

  1. මේ සම්බන්ධයෙන් කතිකාවක් ගොඩ නඟාගත හැකි නම් අගය කරමි. නමුත් බැණ ගැනීමටවත් මඩ ගසා ගැනීමටවත් නොවේ. මගේ ධනවාදය ගැන ඇති කියැවීම 'සමාජවාදීන්ගේ' කියැවීමට වඩා බොහෝ වෙනස්ය. තමන්ට නොතේරෙන හැම දෙයම ධනවාදය ලෙස අර්ථ ගන්වා බණින්නට මට ඕනෑකමක් නැත. ධනවාදය ලොව මිනිසා විසින් මෙතෙක් බිහිකර ඇති දියුණුම අර්ථ ක්‍රමයයි. (එය සර්ව සම්පූර්ණ යැයි මෙයින් අදහස් නොකෙරේ.) එසේම අර්ථ ක්‍රමයක් ලෙස ධනවාදය ගතිකව දියුණුවේ. මාක්ස් දුටු ධනවාදය නොවේ අද ඇත්තේ, ඊට වඩා දියුණු ධනවාදයකි. මාක්ස් කියූ උත්තර සමාජය බිහි වන්නේ ධනවාදය තුළින්ම මිස එය බිඳවැටී නොවේ.

    වැඩිදුර ලිවීම පසුවට තබා එකම ප්‍රශ්නයකට පිළිතුරු දෙමි.

    [නිදසුනක් ලෙස රුපියලක් විය කර කෙල්ලට එස්.එම්.එස්. එකක් යවන කොල්ලාගේ සාක්කුවෙන් කතා නැතුව ශත තිස් දෙකක් ගසා කා අර රුපියලෙනුත් තවත් බදු සූරාගෙන මහජන මුදලින් ගත්, මහජන මුදලින් ම තෙල් ගැසූ තඩි සැප වාහනවල නැඟී මහජන මුදලින් පඩි කන රැකවලුන් හා බැලයන් පිරිවරාගෙන ගැහැනුන් සමග යහන් ගත වී ඉතිරි වේලාවේ දේශපාලනය යයි කියා දෙයක් කරමින් සුරසැප විඳීම ධනවාදය නොවේද?]

    නැත. නැත. නැත. මේ වැඩවසම් ක්‍රමය යටතේ ගොවියා වී කුරුණි දෙකක් අස්වැන්න නෙළා ඉන් එකක් රජතුමාට දීමේ ක්‍රමයේ වර්තමාන ස්වරූපයයි. ධනවාදය අනුදක්නේ අවම බදු අයකිරීම්ය. අධික බදුබර ධනවාදය දකින්නේ Deadweight loss එකක් ලෙසිනි. (http://en.wikipedia.org/wiki/Dead_weight_loss හා http://en.wikipedia.org/wiki/Excess_burden_of_taxation බලන්න.)

    පසුව හමුවෙමු.

    ReplyDelete
  2. ස්තුතියි. ඒත් මට කීමට අවශ්‍යව ඇති කාරණයක් වන්නේ වර්තමාන ගෝලීය ධනේශ්වර පද්ධතිය යනු ලොව සියලු රාජ්‍යවල සාධනීය හා පසුගාමී ලක්ෂණ සියල්ල කැටි කර ගත් එක් පද්ධතියක් බවයි.

    ලංකාවේ වර්තමාන සමාජ ක්‍රමය ගැට ගැසී තිබෙන්නේ ධනේශ්වර නිෂ්පාදන බලවේග සමග මිස වැඩවසම්වාදයක් සමග නොවේ. අපේ ප්‍රධාන ආර්ථික කුළුණු දෙක වන ඇඟලුම් කර්මාන්තයේදී හා මැදපෙරදිග රැකියාවලදී රාජ්‍යයක් ලෙස ලංකාව කරන්නේ ධනේශ්වර නිෂ්පාදනයට ඍජුව හෝ වක්‍රව ශ්‍රම සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුවකි. මෙහි කිසිදු වැඩවසම් සම්බන්ධයක් නැත.

    වර්තමානයේ පවතින දෙය අතීත වැඩවසම්වාදයක් සමග සම්බන්ධ කර ගත නොහැක. වැඩවසම් ක්‍රමය බිඳ වැටී ධනවාදය බිහි වන්නේ නිෂ්පාදන බලවේගවල සංවර්ධනයක් සමග මිස සංස්කෘතික කාරණා මත නොවේ. ලංකාවට ද නූතන ලෝක පද්ධතිය තුළ මෙම නිෂ්පාදන සබඳතා ධනේශ්වරරණයෙන් ගැලවී සිටීමට හැකි වූයේ නැත. එහෙත් මෙය සිදු වූ‍යේ බලහත්කාරී යටත් විජිත හා පශ්චාත් යටත් විජිත සංදර්භයක් තුළ නිසා මෙම ක්‍රියාවලිය පසුබිමින් බටහිර සිදු වූ සමාජ සංවර්ධනය මෙහි සිදු වූයේ නැත.

    ලංකාවේ ධනවාදය හරියට ප්‍රමාණ දෙකක රෝද දෙකක් සවි කළ කරත්තයක් වැනි ය. ලොකු රෝදය ධනේශ්වර නිෂ්පාදන සබඳතා වන අතර පොඩි රෝදය සමාජ සංවර්ධනයේ පසුගාමිත්වයයි. අප මේ එක තැන කැරකි කැරකී ප්‍රශ්න කරන්නේ මේ කරත්තයේ විකෘති ගමනයි.

    ReplyDelete
  3. I don't have a political knowledge as you guys, but there are things in this so called " Capitalism" at it's best country where I live, which make me surprised.

    1. There are no "popular" schools here; means, school studied won't add any weight in your Resume.

    2. There is a minimum wage system;and people don't have to commit suicide, if they are laid-off. They are entitle to a monthly payment, until finding the next job.

    3. There is a pension, after your service period. I was told, you are entitle to it, even you didn't work at continuously.

    The list will go on, I don't want to be sound like a "Capitalist.". But, sometimes I wonder, why they call these "capitalist" countries.

    They do teach, about "Socialist" philosophy in schools. Most of the professors are center-left and there is no restriction to voice their view.

    When asked, they said, "Capitalism" was in the brink of collapsing during the great depression,and it survived by borrowing some from "Socialism. "

    ReplyDelete
  4. [ස්තුතියි. ඒත් මට කීමට අවශ්‍යව ඇති කාරණයක් වන්නේ වර්තමාන ගෝලීය ධනේශ්වර පද්ධතිය යනු ලොව සියලු රාජ්‍යවල සාධනීය හා පසුගාමී ලක්ෂණ සියල්ල කැටි කර ගත් එක් පද්ධතියක් බවයි.]

    නැත. ඔබ කරන්නේ ලෝකයේ පවත්නා සියළු අර්ථ ක්‍රමයන් එකට ගෙන ඊට 'ධනවාදය' යැයි නමක් දී ඊට දොස් කීමය. එය වැරදිය. ධනවාදය යනු එක් සුවිශේෂ අර්ථ ක්‍රමයකි.

    ලෝක ආර්ථිකය සඳහා වෙළෙඳ භාණ්ඩ නිපැයුම මහා පරාක්‍රමබාහු කාලයේද සිදුවිය. එසේ කළ පමණින් රටක් ධනවාදී වන්නේ නැත. කොමියුනිස්ට් චීනය තම ඉතිහාසය පුරාම ධනවාදී ලෝකයට නිෂ්පාදන කළේය. එහෙත් 1980 පමණ වනතුරු එහි ධනවාදී අර්ථ ක්‍රමයක් වූයේ නොවේ.

    @Dappi Sira,

    ඇත්ත. 100% ධනවාදී රාජ්‍ය කොහේවත් නැත. ධනවාදී ලෙස හඳුන්වනු ලබන සියළු රටවල් එක්තරා මට්ටමකට ධනවාදයට ඉඳුරා පටහැනි ක්‍රියා මාර්ග ගනී. (උදා: ඔබාමාගේ stimulation වැඩ සටහන හා ඔබ කතා කරන minimum wage system ආදිය)

    ReplyDelete
  5. ටැබූගේ 'ලෝකයේ පවත්නා සියළු අර්ථ ක්‍රමයන් එකට ගෙන ඊට 'ධනවාදය' යැයි නමක් දී ඊට දොස් කීමය. එය වැරදිය. ධනවාදය යනු එක් සුවිශේෂ අර්ථ ක්‍රමයකි.' යන මතය අගයමි. එහෙත් ඔබේ ලිවීම් හරහා ලංකාවේ පවතින ක්‍රමය කුමක්දැයි විග්‍රහ කරන්නේ නම් හොඳ ය. එය වැඩවසම්වාදයකැයි කීම අති සරළ ය; අප්‍රමාණවත් ය.

    ReplyDelete
  6. සුද්දා අප රට අල්ලා විට මෙහි තිබුණේ වැඩවසම් ක්‍රමයකි. යටත් විජිත පාලනය යටතේ එය ධනවාදයට පරිවර්තනය වීමේ මූලික පදනම වැටිණි. එහෙත් මේ පරිවර්තනය සම්පූර්ණ නොවූයේ ඊට පෙර සුද්දා අප දමා ගිය නිසාය.1956 සිට වරින්වර අප ධනවාදයට එරෙහිව රාජ්‍යවාදය (Statism - එනම් ධනය නොව රජය බලය වන ක්‍රමයක්. මෙහිදී තීරණ ගැනෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව නොව රජය හිතන විදිය අනුවය.) පසුපස ගියෙමු. 1970-77 කාලයේදී ඊට කොමියුනිස්ට් අර්ථ ක්‍රමය යම් පමණකට මුසුවිය.

    අද ඇත්තේ බලයේ සිටිනා ආණ්ඩුව මත තීරණය වන, ධනවාදය හා රාජ්‍යවාදය අතර දෝලනය වන ක්‍රමයකි. UNP ආණ්ඩු අප ධනවාදය කරා තල්ලු කළ අතර UNP නොවන ආණ්ඩු රාජ්‍යවාදය කරාද වැඩවසම් ක්‍රමය කරාද තල්ලු කළහ. එකම UNP නොවන ධනවාදියා/වාදිනිය වූයේ චන්ද්‍රිකාය. අදනම් ඇත්තේ මතුපිටින් ධනවාදය අලේපනය කරන ලද වැඩවසම් ක්‍රමයකි. ධනවාදී සමාජයක මූලික ලක්ෂණය වන නිදහස් ව්‍යාපාර කිරීමේ හෙවත් ආර්ථික නිදහස අද අපේ රටේ නැත. අද අපේ රටේ ආර්ථිකය විශාල ලෙස පාලනය කරන්නේ තනි රජ පවුලකි. ව්‍යාපාර කිරීමේ නිදහස ඇත්තේ මේ රජ පවුලේ අභිමතය අනුවය. මෙය ප්‍රේමදාස යුගයේ තිබුණු සහචර ධනවාදයටද (Crony Capitalism) වඩා ප්‍රාථමිකය.

    ReplyDelete
  7. මේකට ඇත්ත උත්තරේ ලංකාවේ තියෙන්නේ වැඩවසම් ලක්ෂන ශේෂ වී තිබෙන ධනවාදයකි යන්නයි.
    (වැඩිහිටියෙක් වෙන සමහර අයට ලමා ලක්ෂන ඉතිරිවෙලා තියෙන්න පුලුවන්.-තනියම නිදාගන්න බය වීම,තනියම ඇදුම් මැදගන්න බැරි වීම වගේ-නමුත් රැවුල ඇවිත්,කර දඩු පලල් වෙලා උගුර බැරැන්ඩි වෙලා ස්වයංවින්දනයේ යෙදෙනව වෙනුවට ලිංගික හැසිරීම් වල යෙදෙන තැනට ආවට පස්සෙ ලමා ලක්ෂන කිහිපයක් ඉතිරි වෙලා තිබුන කියල එයා බබෙක් වෙන්නෙ නැහැ.එයාට කියන්නෙ වැඩිහිටියෙක් කියල)
    ලංකාව වැඩවසම් සමාජයක ඉදල ධනවාදී එකක් බවට පත්වෙන්න පටන්ගත්තෙ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය සමග.1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරන වලින් රාජකාරි ක්‍රමය අහෝසි කිරීම මෙතනදී තීරනාත්මක පියවරක්.එහෙම පටන් ගත්ත ධනවාදයට සංක්‍රමනය වීමේ ගමන අද බො‍හෝ දුර ඇවිත් තිබෙනවා.
    ධනවාදයක් තුල තිබෙන මූලික ලක්ෂන සියල්ල අප රට තුල තිබේ.ඒ වගේම වැඩවසම් ක්‍රමයේ මූලික ලක්ෂන බොහොමයක් අහෝසි වෙලා තියෙනවා.
    වැඩවසම් ක්‍රමයක් තුල තිබුනු "ප්‍රධාන" නිෂ්පාදන සම්බන්ධතාවය වුනේ ඉඩම් හිමියා-දාසයා,රදලයා-ගොවියා වර්ගයේ සම්බන්ධතාවයයි.අද ඒ වෙනුවට "ප්‍රධාන"වශයෙන් දකින්න තිබෙන්නෙ ප්‍රාග්ධන හිමියා-වැටුප් ශ්‍රමිකයා කියන සම්බන්ධතාවය.පරන වැඩවසම් සබදතාවය පසෙකට ඇදල දාල ධනවාදි සබදතාවය ප්‍රමුඛ වෙලා තියෙනවා.ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන සංඝටක වන ඇගලුම් කර්මාන්තය,විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් එන මුදල්,විවිද සේවා සපයන ආයතන - මේවායේ තියෙන්නෙ ධනවාදය මිසක් වෙන මොකක්වත් නෙමේ.දියුනු ධනේශ්වර රටවල් සිය ප්‍රාග්ධනය අපනයනය කරල ලංකාව තුල ආයෝජන කරල තියනව.ප්‍රාග්ධන අපනයනය කියන්නෙ වැඩවසම්වාදයට කොහෙත්ම අදාල නොවෙන ධනවාදි ලක්ෂනයක්.කොටින්ම ලංකාවේ ආර්ථිකය වැඩවසම්වාදී කියන එක විෂය නොදැනීමේ ප්‍රතිඵලය මිස වෙනෙකක් නෙමේ.
    මේක ප්‍රධාන වශයෙන් ධනවාදි සමාජයක්.හැබැයි පරන සමාජයේ ලක්ෂන තවම ඉතිරි වෙලා තියෙනවා.ඒකට හේතුව ලංකාවට ධනවාදය ගෙනාපු ආකාරය එක්ක කතාකරන්න ඔනෙ.(බටහිර ර‍ටවල වගේ නෙමේ මෙහෙ තියෙන්නේ බ්‍රිතාන්‍ය විසින් උඩින් ආරෝපනය කල ධනවාදයක්.මේක වෙනම මාතෘකාවක්)
    කොහොම හරි වැඩේ මේකයි.අවුරුදු 60 ක දේශීය ධනපති ක්‍රමය ලංකාව අවුල් කරල විනාස කරල තියනව මිස ඉදිරියට ගෙනියන්න සමත් වෙලා නැහැ.කොටින්ම අද රට තියෙන්නෙ අවුරුදු 60කට පෙර තිබුන දේශීය අතිරික්තය පවා විනාස කරගත්ත ලෝකයටම නය වුන පරාධීන දුර්වල හා බෙලහීන තැනක.මේක ධනවාදය නෙමෙ වෙන එකක් කියල පෙන්නන්න මොන තරම් ට්‍රයි එක දුන්නත් මේ තමයි ලංකාව වගේ පරිධියේ රටවල මේ යුගයේ ක්‍රියාත්මක වෙන ධනවාදය.ඒ ඇත්ත වහන්න බැහැ.

    ReplyDelete
  8. ඉතාම වෑදගත් සංවාදයක්. ඊටත් වඩා ලස්සන ගහමරා ගන්නෙ නෑතිව තර්ක ඉදිරිපත් කරන විදිහයි.

    ReplyDelete
  9. මගේ මතකය නිවෑරදි නම් කාල් මාක්ස් කියා ඈත්තේ, සමාජවාදය බිහිවිය යුත්තේ, ධනවාදය අවසන එය එපා වීමෙන් බවයි.

    දෙවෙනි ලෝකයේ, සමාජ්වාදී කදවුර බිදවෑටීමට හේතුව, වැඩවසම් ක්‍රමයේ සිට සමාජ්වාදයට කෙලින්ම පෑනීම ලෙස සමහරු තර්ක කරනවා.

    ලංකාවේ ඈත්තේ ඔයකියන කියන ධනවාදයද එක ප්‍රශ්ණ්යක්. මොකද දෑනට එපා වෙලා ඈත්තේ,ධනවාදය නොව අපේ සමාජ්වාදය නිසා.

    ReplyDelete
  10. Taboo,
    Please post some nice articles regarding this subject. From very basics. I really appreciate that.
    Cheers,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා