පළාත් සභාවල බලය බෙදීමේ යථාර්ථය පෙන්වන ආණ්ඩුකාරවරු


(2009 ඔක්තෝබර්  23 - W3Lanka) පළාත් ආණ්ඩුකාරවරුන්ගේ 12 වැනි සම්මේලනය හෙට (24දා) යාපහුව පැරඩයිස් හෝටලයේදී ආරම්භ කෙරේ.සම්මේලනය සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ලේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව්, සබරගමු පළාත් ආණ්ඩුකාර පි‍්‍රයන්ත ජානක බණ්ඩාර, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, උතුරු පළාත් ආණ්ඩුකාර පී. ඒ. චන්ද්‍රසිරි සහ දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්ම මහත්මීහු සහභාගි වීමට නියමිතය.


ප්‍රධාන වශයෙන් ම ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලෙස ගෙන ආ පළාත් සභා ක්‍රමය තුළ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන මධ්‍යම ආණ්ඩුව නියෝජනය කරන ආණ්ඩුකාර තනතුර බොහෝ දුරට ඡනදයෙන් පත් වූ පළාත් සභාවේ බලය ඉක්මවා නො යන නාමමාත්‍රික තනතුරක් බවට පත් විය යුතු වුව ද, බලය බෙදීමට විරුද්ධ වත්මන් පාලකයන් යටතේ පළාත් පාලනයේ බලවත් ම පුද්ගලයන් වී තිබෙන්නේ ආණ්ඩුකාරවරු ය. ඡන්දයෙන් පත් වන පළාත් සභාවල සම්මත කර ගනු ලබන නීති සඳහා අවසාන අනුමැතිය ලබා දීමේ බලය ඇති ආණ්ඩුකාරවරයා ඒවා හිතාමතා ප්‍රමාද කරන බව පළාත් සභිකයෝ චෝදනා කරති. පළාත් රාජ්‍ය සේවයේ පත්වීම්, මාරු කිරීම් හා උසස්වීම් සම්බන්ධ සියලු බලතල ඇත්තේ තමන්ට බව දිනකට දෙකකට ඉහතදී සබරගමු ආණ්ඩුකාර පි‍්‍රයන්ත ජානක බණ්ඩාර පැවසීය.


සරසවි සිසුවකුව සිටියදී පළාත් සභාවලට දැඩි සේ විරුද්ධ වත්මන් ජාතික හෙළ උරුමයේ මූල සංවිධානයක් වූ චම්පික රණවක නායකත්වය දුන් ජනතා මිතුරෝ කණ්ඩායමේ ක්‍රියාකාරිකයකුව සිටි බණ්ඩාර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකි. මෙම තරුණ ආණ්ඩුකාරවරයා සබරගමු පළාතේ මහඇමතිව ද යට කරගෙන මාධ්‍ය සංදර්ශනය සියතට ගෙන ඇත.


නැගෙනහිර පළාතේ සිදු වන බොහෝ සංවර්ධන කටයුතුවලදී ඒවා ඍජුව මෙහෙයවන ජනාධිපති සහෝදර බැසිල් රාජපක්ෂ එම පළාතේ මහ ඇමති වන කොටි සංවිධානයේ ළමා සොල්දාදුවකුව සිටි සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන් ගණන් ගන්නේ නැත. නැඟෙනහිර ආණ්ඩුකාරවරයා වන රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම එහි මහඇමතිවරයාට වඩා බොහෝ බලවත් ය.


උතුරු පළාත සඳහා පළාත් සභාවක් නැති අතර ආණ්ඩුකාර විශ්‍රාමික මේජර් ජනරාල් පී. ඒ. චන්ද්‍රසිරි යාපනයේ හිටපු හමුදා අණ දෙන නිලධාරියෙකි.


ආණ්ඩුකාරවරුන් නව දෙනාගෙන් එක් අයෙකු හෝ සුළුතර ජනවර්ගයකට අයත් වීම හා එක් අයෙකු කාන්තාවක් වීම සාධනීය ලක්ෂණ වේ. අර්බුද පැවති දෙමළ කතාකරන ජනයා බහුතරයක් සහිත උතුරු හා නැඟෙනහිර දෙපළාතේ ආණ්ඩුකාරවරුන් හිටපු හමුදා නිලධාරීන් වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ එම ප්‍රදේශවල පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ වාර්ගික සාමයක් තවම ස්ථාපිත වී නැති බවයි.අඩු වශයෙන් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුවත් පත්වීම් ලබන්නේ ඔවුන් ජනාධිපතිවරයාගේ ළඟ ඥාතීන් වන නිසා ය. එක් ආණ්ඩුකාරවරයෙක් වෘත්තියෙන් ගායකයෙකි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා