රාජ් රාජරත්නම් සමග ආණ්ඩුවේ ලොක්කන්ගේ ගනුදෙනු ගැන සිළුමිණ නිහඬ ඇයි?



(2009 ඔක්තෝබර්  25 - W3Lanka) ෆෝබ්ස් සඟරාව විසින් ලෝකයේ ධන කුවේරයන් අතරින් 556වැනියා ලෙස හඳුනාගෙන තිබෙන  ලාංකික පුරවැසියකු ද වන ගැලියන් අරමුදලේ ප්‍රධානී රාජ් රාජරත්නම්ට එක්සත් ජනපද රජය විසින් එල්ල කර තිබෙන චෝදනාව වන්නේ අයථා මාර්ගවලින් ලබා ගත් තොරතුරු පදනම් කරගෙන කොටස් ගනුදෙනුවල යෙදුණු බවයි. ලංකාවේ නම් මෙවැනි වැරදි පිළිබඳ නිසි පරීක්ෂණයක්වත් කෙරෙන්නේ නැත. කෙසේ වෙතත්, රාජරත්නම් තවම වැරදිකරුවකු වී නැත. වරදකරුවකු වන තුරු නීතිය මෙන් ම යුක්තිය ද අනුව ඕනෑම පුද්ගලයකු නිර්දෝෂී යයි සැලකේ.

එහෙත් ලංකාවේ රජයේ ප්‍රධාන මුද්‍රිත ප්‍රචාරක මාධ්‍යය වන ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පත අද රාජරත්නම් හඳුන්වා තිබෙන්නේ ලෝක හොරා ලෙසයි.

සිළුමිණ මෙසේ කියයි.

රාජ් රාජරත්නම් ගෙන් මෙරට ආයෝජනය කිරීමට බැව් පවසමින් ඩොලර් 3000000ක මුදලක් ලබා ගෙන ශ්‍රී ලංකාවේ විනිමය පාලන නීති උල්ලංඝණය කරමින් එකී මුදල් අපහරණයට ලක්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකුට එරෙහිව මේ වන විට අධිකරණමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙයි.

නම් කියන්නට බය ද? මේ මන්ත්‍රීවරයා එජාප කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකයි. ඔහුගේ නම මෙවැනි කූට ව්‍යාපාර සමග සම්බන්ධව යෙදුණු පළමු අවස්ථාව මෙය නොවේ.

පසුගිය කාලයේ එජාප නායකත්වය විසින් පැරෂුට් මගින් දේශපාලනයට පාත් කරන ලද කට්ට කෛරාටිකයන් රැසක් දැන් සිටින්නේ ආණ්ඩුව සමගයි. සමහරු එදා මෙන් ම අද ද ප්‍රබල ඇමතිවරු වෙති.

අධිකරණ ඇමති මිලින්ද මොරගොඩ සමග සිළුමිණ කියන මේ 'ලෝක හොරාට' ඇති සම්බන්ධය කුමක්ද යන්න රජය පැහැදිලි කළ යුතුව තිබේ. පසුගියදා ටයිම් සඟරාවට ප්‍රකාශයක් කළ අධිකරණ අමාත්‍යංශ නිලධාරියකුට අනුව අත්අඩංගුවේ සිටින කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීම සඳහා ඩොලර් මිලියනයක් ලබා දීමට අදාළව රජය හා රාජරත්නම් අතර ගිවිසුමක් ඇත.

ටයිම් සඟරාව කියන පරිදි රාජරත්නම් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙන් ම ජනාධිපති මහින්ද රාජපක්ෂ ද හමු වී තිබේ.

පසුගිය වසරක ඔහු හිටපු මැලේසියානු රාජ්‍ය නායක මහතීර් මොහොමඩ් සමග එක වේදිකාවේ සිටිමින් ලංකාවේ සිමා සමුළුවක ප්‍රධින කථිකයකු වූයේය.


මීට අමතරව එක්තරා දේශපාලන පවුලකින් පැවත එන ප්‍රබල කාන්තාවක් විසින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය නොවන සංවිධානයකට ද තවත් පුද්ගලයන් හා කුඩා සංවිධාන කිහිපයකට ද රාජරත්නම් විසින් මුදල් ලබාදී ඇති බවටත් තොරතුරු අනාවරණය වෙමින් පවතී.

නම කියන්නට බය ඇයි? මේ සුනේත්‍රා බංඩාරනායක ‍විසින් මෙහෙයවනු ලබන සුනෙර පදනමයි. රාජරත්නම් දෙමළ පුනරුත්ථාපන සංවිධානයට ලබා දුන් මුදල් පිළිබඳව පරීක්ෂා කෙරෙමින් ඇති බව මහ බැංකුව ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රකාශ කළේය. මහ බැංකුව පරීක්ෂණ පවත්වන අතර අධිකරණ අමාත්‍යංශය සිළුමිණ ලෝක හොරා ලෙස හඳුන්වන පුද්ගලයාගන් මුදල් ලබා ගන්නට ගිවිසුම් ගසයි. ඒ විදේශ අමාත්‍යංශය විරෝධය පළ කරද්දී ය.

'මේ තැනැත්තා ශ්‍රී ලංකාවේ විපක්ෂයේ බලවත් චරිත හරහා යම් ආකාරයක එල්.ටී.ටී.ඊ. වුවමනාවන් ඉටුකර ගැනීමට උත්සාහ ගෙන ඇති බැව් තහවුරු වී තිබේ' යයි ද සිළුමිණ කියයි.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා