පොලිසියට දී ඇති නිදහසේ මිනී මැරීමේ අවස්ථාව අහිමි කරනු!
මෙම ඡායාරූපයේ සිටින පිරිස උද්ඝෝෂණය කරන්නේ පුත්තලම පොලිසියේ නිලධාරියකු විසින් පුත්තලම රෝහල් භූමියේදී පුද්ගලයකුට වෙඩි තැබීමට එරෙහිවයි. සිද්ධියට මුල් වී තිබෙන්නේ පොලිසිය සමග ඇති වූ තර්ක කිරීමකි. වෙඩි වැදුණු පුද්ගලයා පොලිස් අණ නො තකා ධාවනය කළ බව පොලිසිය කියයි. තර්ක කිරීම සිදු වී තිබෙන්නේ ඒ නිසා ය. සිද්ධිය වී තිබෙන්නේ පසුගිය ජනවාරි 25දා ය. පොලිසිය හෝ හමුදාව සමග තර්ක කිරීම ඉතා අනතුරුදායක බව මේ රටේ ජනතාව දනිති. හේතුව ඔවුන් අතට දී ඇති ගිනි අවි හා ඔවුන් සතු බලය වඳුරන් අත දැලි පිහි වැනි බව කවුරුත් දන්නා නිසා ය. එහෙත්, ඇතැම් එඩිතර මිනිස්සු තමන්ට අසාධාරණයක් වූ විට එයට එරෙහිව පොලිසිය සමග තර්ක කරති. පොලිසියට තර්ක කිරීම රුස්සන්නේ නැත. ලංකාවේ පොලිසිය කාලාන්තරයක් තිස්සේ හිතන්නට හුරු වී සිටින්නේ තමන් මහජනයා මර්දනය කරන්නට සිටින ආයතනයක් ය කියා මිස තමන් මහජන සේවාවක් ය කියා නො වේ. මහමගදී පොලිස් නිලධාරියකුගෙන් පාරක් අසනවාටවත් ඇතැම් පොලිස් නිලධාරීන් කැමති නැත. පොලිසිය ඉතා සුළු හේතු මත මිනිසුන් මරා දැමූ සිද්ධි ගණනාවක් පසුගිය සමයේ වාර්තා විය. පොලිස් නිලධාරීන්ට පහර දුන් හා ඝාතනය කළ ඇතැ...