කීර්ති ශ්‍රී වීරසිංහ, කැටයම් චින්තක හා නීතිය

කතා කරන ඡායාරූපයක්. පොලිස් නිලධාරියා = දරදඬු නීතිය, කැටයම් චින්තකගේ මව = අසරණ වින්දිතයා. පිටිපස්සෙන් ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ හා අදහසක් නැති ජනතාව.
පුවත් දෙකක් කෙරෙහි අවධානය යොමු විය. එකක් අලුත් පුවතකි. ඒ අනුව අගමැතිතුමා කුඩු කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කර ගන්නට තමන් වෙනුවෙන් ලියුම් දුන් ගෝලයා ඉවත් කර තිබේ. ගෝලයා කියන්නේ තමන් ගෙදර යන්නේ පරීක්ෂණ අවසන් වනතුරු පමණක් බවයි. පරීක්ෂණ කෙරෙනවා නම් ඔහු ආපසු ආවාට අපට කමක් නැත.

ඔහු දැනටමත් පරීක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරක් සපයා තිබේ. ඒ කියන්නේ බාත්රූම් උපකරණ මුවාවෙන් ගෙන්වූ කුඩු කන්ටේනරයේ බදු අඩු කරන්නැයි ඉල්ලා ලියුමක් නිකුත් කළේ ගම්පොල නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චිගේ ඉල්ලීම මත බවයි. ඔහෙම යං! ඔහොම යං!

දෙවන පුවත දින කීපයක් පැරණි එකකි. පළ වී තිබුණේ රිවිර පුවත්පතේ ය.

මරා දමන ලද කඹුරුපිටියේ කැටයම් චින්තකගේ මව සිය නිවස ගිනි තැබීම හා අනාරක්ෂිත තත්වය පිළිබඳ සිය පුතුගේ අවමංගල්‍යය අවස්ථාවේ මාතර මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක හේමන්ත හේමාල් ප්‍රශාන්තට පැමිණිලි කළ අවස්ථාවේ ඔහු පවසන්නේ මෙසේයි:

මගේ බලප්‍රදේශයේ ඕනෑම ‍පොලිස් ස්ථානයකට මම කියන්නම් කිසිම කරදරයක් කරන්න එපා කියලා. උදව්වක් අවශ්‍ය ඕනම විටක කතා කරන්න. කඹුරුපිටිය ‍පොලිසියටත් උපදෙස් දීල තිබෙන්නෙ තවත් කරදර කරන්න එපා කියල. ඒ කොහොම වුණත් තමන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු යොදාගන්න 

මේ කැටයම් චින්තකගේ නැගනිය කළ ප‍්‍රකාශයකි: අපේ ගෙට ගිනි තියල. අපට ඉතිරි වුණේ මේ ඇඳිවත විතරයි. ඒ ගේ හැදුවෙ මම බැංකුවලින් ණය අරගෙන. අයියගෙ සල්ලි කීයක්වත් ඊට යොදවල නෑ. අයිය වරදක් කළානම් දැන් ඊට වන්දි ගෙවල ඉවරයි. අපේ ගෙවල් ගිනි තිබ්බේ ඇයි ? මේ ගැන කියන්න අහන්න කවුරුවත් අපට නෑ. මාධ්‍යවලින් සමහර ඒව මේ කරුණු විකෘති කළා. ඒ නිසා තමයි ජනතාවගේ කෝපය ඇවිස්සුනේ. එහි ප්‍රතිඵල වෙන්න ඇති මේ විනාශය වුණේ. ඊයෙ උදෙත් රතිඤ්ඤා පත්තු කරන ගමන් කිව්ව තොපේ ගේත් ගිනි තියනව කියලා. මම ඒත් හිතුවෙ නෑ එහෙම කරාවි කියලා.

රිවිර පුවත්පතේ පළ වූ මෙම වාර්තාව අවසන් කර තිබුණේ මෙසේ ය: කැටයම් චින්තකගේ මවගේ නිවස ඉදිරිපිට කුරුඳු ගහක කිරිබත් පාර්සලයක් එල්ලා තිබෙන අයුරු දක්නට ලැබුණි.

කුඩුකාරයන් සමග ඇසුරු කර අතට ම අසු වූ අගමැතිවරයාට තමන්ගේ ජාමෙ බේරා ගැනීම සඳහා ගෝලයකු බිල්ලට දෙන්නට සිදු වී තිබේ. එහෙත්, සිද්ධිය මෙතැනින් අවසන් විය යුතු නැත. අගමැති පුත්‍රයාගේ ඡන්ද ව්‍යාපාර පසුබිමේ හෙල්ලුණ සල්ලි ගස්වල කුඩු සල්ලි තිබුණා ද යන්න ගැන පරීක්ෂණ පැවැත්විය යුතු ය.  මේ එක් තලයකදී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන අාකාරයයි. එහිදී නීතිය කොර ය.

කැටයම් චින්තකගේ මවගේ හා සොයුරියගේ නිවෙස් ගිනි තබන්නේ කාගේ අනුදැනුම මත ද යන්න ඉතා පැහැදිලි ය. එම අපරාධ සිදු වන්නේ පොලිසියේ රැකවරණය තුළ බව ද පෙනේ. සැකකරුවන් පිරිසක් මරා, කිරිබත් කා, කිරිබත් පාර්සලයක් මිය ගිය මිනිහාගේ මවගේ නිවස ඉදිරිපිට එල්ලා යන සමාජයේ ම්ලේච්ඡ වී තිබෙන්නේ ද නීතිය නො වේ ද?

අප මෙම සිද්ධි පිළිබඳ දිගින් දිගට ම කතා කරන්නේ අන් හේතුවක් නිසා නො වේ. මේ වනාහි ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිංදුවට ම වැටී ඇති ආකාරය හා නීතියෙන් තොර පසුබිමක් තුළ සමාජය ම්ලේච්ඡත්වය වෙත තල්ලු වන ආකාරය පෙන්නුම් කරන සංකේතාත්මක සිද්ධි වන නිසා ය. අනෙක් පැත්තෙන්, මානව හිමිකම් රාජ්‍ය නො වන සංවිධාන ආදිය මේ පිළිබඳ දක්වන නිහඬත්වය ද මේ ම්ලේච්ඡත්වයේ ම කොටසකි. ඔවුන් නිහඬ වන්නට හේතුව මේවා ‍සිය ව්‍යාපෘතිවලට මුදල් ලැබෙන දේ නො වන හෙයිනි. මිනිසුන්ට මානව හිමිකම් තිබිය යුත්තේ රාජ්‍ය නො වන සංවිධානවලට විදේශාධාර ලැබෙන ප්‍රමාණයට අනුව නො වේ. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මා එක පාරටම සින්ඩියේ මේක දැක්කෙ කීර්ති ශ්‍රී රාජසිංහ නීතිය වගෙ වචන මාතෘකාවට යොදා ඇති බවකුයි.දාන කොමෙන්ට් එක එක පාරටම ඔළුවට ආව.ලිපිය කියවනකොට තේරුනේ වෙනත් දෙයක් ගැනයි කියන්නෙ කියල.කොහොමටත් දාන්න හිතුන කොමෙන්ටුවත් අදාලයි කියල හිතෙන නිසා දාන්නම්.

    කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ පන්සලක හිටියලු මන්ද බුද්ධික ඇබිත්තයෙක්.සාමනේරවරු මේ ඇබිත්තයට විහිලු කරල හිනා වෙනවලු.එවිට ඇබිත්තය සාමනේරවරුන්ට ටොකු අනිනවළු.දවසක් රජු ආපු දවසක රජු ට ඇහුනලු සාමනේරනමක් අඩනව.ඒ මිකද කියල බලපුවම ඇබිත්තය ටොකු ඇනල.රජු සාමනේරවරුන්ට කීවලු නැවත ඇබිත්තයාට විහිලු කරන්න එපා කියල.
    කතාව ඒක නොවෙයි.රජු නියම කලාලු අර මන්ද බුද්ධිකයව පසුදා හිස ගසා දාන්න.වධක භූමිය ට යන පාර වැටිලා තිබෙන්නෙ පන්සල ලගින්ලු.පන්සල ලන් වෙනවාත් එක්ක්ම ඇබිත්තයා පන්සල ඇතුලට පැන්නලු.වධකයා පොරව විසිකරපු පාර පොරව වැදුනලු පන්සලේ දොරේ.ඒ පන්සල එදා ඉදල ඒ නමින් නම් කළාලු.

    ඒ කාලෙ මොන තරම් අවනීතියකඩ්ෆ්හ ජනතාව හිටියෙ කියල පේන ඒ සිද්ධියෙන්.රජුගේ නඩු තීන්දුව මොන තරම අසාධාරණද කියල පේනව.ටොක්කක් ඇන්නට මරණ දඩුවම.ඒ අතින් අද ජීවත් වන ජනතාව කොයි තරම් වාසනාවන්තද කියල පේනව.

    නරේන්ද්‍රසිංහ රජු ඝාතන ප්‍රයත්නයක් තිබුනලු.ඒක ව්‍යවර්ථ වුනට පස්සෙ රජුගෙ තීරනය තමයි අල්ලපු ගම්වල පිරිමි වැඩි දෙනෙකුගෙ හිස ගසා දමන්න කියන එක.මේ පාලකයො මොන තරම් අන්තනෝමතිකද කියල පේනව.

    නීතියේ ආධිපත්‍ය වටින්නෙ එවැනි පසුබිමක.පැරාගෙ ලිපිය කාලෝචිතයි.

    ReplyDelete
    Replies
    1. යකා,
      මෙහෙම දේකුත් තියනව. ඒ කාලෙ දරදඬු නමුත් නීතියක් තිබුන. බොහෝවිට (අපි අහල තියන විදියට) කාටත් එකසේ නීතිය ක්‍රියාත්මක උනා. දැන් තියන අවුල තමයි නීතිය පුද්ගලයාගේ බලවත් කම අනුව තීරණය වීම. ජාත්‍යන්තර බලපෑම් මෙහෙමවත් නැතිවුනානම් මොනවගේ තත්වයක් ඇති වෙයිද? (උදාහරණයකට ගන්නකො තංගල්ලෙ සුද්ද ඝාතනය)

      Delete
    2. ඒ කාලෙත් මේ විදියම තමයි.නීතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.කවදාවත් රජපවුල්වල අයට රදලයන්ට හාමුදුරුවරු න්ට නීති බලපෑවෙ නෑ.කුල ක්‍රමය අනුව පහල කුල වල අයට පීඩනය හා අසාධාරණය වැඩි වුනා.සුද්ද ආවට පස්සෙ තමයි කිසියම් විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇති වුනේ.කොහොමත් ප්‍රයෝගිකව බැලුවොත් නීතිය කියන්නෙ දුප්පතුන් හා දුප්පතුන් අතර ආරාවුල් විසදීමටත් ධනවතුන්ට දුප්පතුන්ගෙන් සිදුවන හිරිහැර වැළැක්වීමටත් තිබෙන යාන්ත්‍රණය.මේ අර්ථකතනය මගෙ එකක්.

      Delete
    3. "නීතිය කියන්නෙ දුප්පතුන් හා දුප්පතුන් අතර ආරාවුල් විසදීමටත් ධනවතුන්ට දුප්පතුන්ගෙන් සිදුවන හිරිහැර වැළැක්වීමටත් තිබෙන යාන්ත්‍රණය."

      අති විශිෂ්ට අර්ථකථනයක්. රුවන් වාකියක් යකෝ.

      Delete
    4. නීතිය කියන්නෙ දුප්පතුන් හා දුප්පතුන් අතර ආරාවුල් විසදීමටත් ධනවතුන්ට දුප්පතුන්ගෙන් සිදුවන හිරිහැර වැළැක්වීමටත් තිබෙන යාන්ත්‍රණය.//

      එතකොට ධනවතුන්ගේ ආරවුල්?

      Delete
    5. ස්තුතියි පැරා
      මෙහෙමයි රාජ් .ධනවතුන් හා ධනවතුන් අතර ගැටුම් සහෝදරත්වයෙන් විසදා ගන්නවා.ධනවතුන්ටත් කලාතුරකින් වැඩ වරදින වෙලාවල් නැත්තෙම නෑ.විදේශීය බලපෑම් ඒ කියන්නෙ අන්තර්ජාතික ප්‍රාග්ධනය මැදිහත්වුනොත් ධනවතුන්ටත් වැඩ වරදිනවා.ඊට අදාල නඩු තීන්දු බලන්න.ඒත් දුප්පතුන්ට වගෙ පරිප්පු කන්න නම් වෙන්නෙ නෑ.මේ රක්ෂනය ලොක්කොත් එක්ක එකතුවෙලා වැරදිකරන පොඩ්ඩන්ට නම් නෑ.

      යාන්ත්‍රණය මෙහෙයවන ධනවතුන් මේ ප්‍රශ්න විසදා ගන්නවා.අනික ධනවතුන් හා ධනවතුන් අතර එහෙම ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ.එක පවුලෙ අය වගේනෙ.

      නඩුවකදි සාක්ෂි පරස්පර වෙලා නිදොස් කොට නිදහස් වීමේ වරම ධ්නවතුන්ට හිමියි.මොන ධනවතාද හිරේ දුක් විදින්නෙ.රිමාන්ඩ් කරපු හැටියෙ ප්‍රයිවෙට් හොස්පිට්ල් වල ඇඩ්මිට් වෙනවනෙ.සමබ්න්ධතා සහ මුදල් විසි කිරීම් තුලින් නිදහස් වෙනවනෙ.

      Delete
  2. //මිනිසුන්ට මානව හිමිකම් තිබිය යුත්තේ රාජ්‍ය නො වන සංවිධානවලට විදේශාධාර ලැබෙන ප්‍රමාණයට අනුව නො වේ//

    සහතික ඇත්ත කථාවකි..... මෙපමනක් නොවේ මිනිසුන් බ්ලොග් ලිවිය යුත්තේද රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන ඩොලර් කුට්ටි ප්‍රමාණයටද නොවේ.......

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන මේ මා හට ද රාජ්‍ය නො වන සංවිධානවල ඩොලර් කුට්ටි ටිකක් ලබා දීමට වහා කටයුතු කරන්නේ නම් ඉතාම ස්තුතියි.

      Delete
  3. පොලීසියෙන් කරපු හැම ඝාතනයක්ම අධිකරණ නිලධාරියෙකු පරීක්ෂා කර සහතික කරනවා. ඔවුනුත් මෙම මිනීමැරුම් වලට සම්බන්ධයි.මම කල්පනා කරන්නේ මේ කිසිවෙකුට හෘද සාක්ෂියක් කියලා එකක් නැද්ද? මුන්ට රාත්රිලයට හොදට නිදා ගත්තැහැකිද?
    මහින්ද මේ රටේ විනාශ කරපු ලොකුම දේ තමා හෘද සාක්ෂිය

    ඉන්දික

    ReplyDelete
  4. මෙන්න අපේ බහුතර චින්තනයට අනුකූලව නැගෙන ප්‍රශ්න කීපයක්.

    කැටයම් චින්තක ලා ගැන මෙච්චර කතා කරන්නේ
    1. අජිත් පැරකුම් හොරකම්, මීනීමැරුම් වලට අනුබද දෙන්නෙක්ද?
    2. කඹුරුපිටිය ගම එක්ක තරහක් තියෙනවා නේද?
    3. පොලීසිය එක්ක පරණ කෝන්තරයක් තියෙනවා නේද?
    4. කැටයම්වලට ඇයි ඔච්චර කැමැත්තක්?

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රශ්නය.....
      පැරාට ඩොලර් එවන්නේ කකාද?

      Delete
    2. KAKKA @ DO NOT ASK SILLY QUESTIONS, LIKE A CHILD. TRYTO READ AND UNDERSTAND THE ARTICLE. THEN COMMENT WISELY.

      Delete
  5. නීතිය අතේ තියෙන උන් හිතන්නේ නැති දෙයක් තමයි. කවද හරි අපිට මෙහෙම දෙයක් නොවෙයිද කියන එක. ඔය අම්මලා දරුවෝ හරියට හැදුවනම් ඔහොම අඬන්න වෙන්නේ නෑ නේ. එයාලත් චන්ඩි වගේ තමයි ඉන්න ඇත්තේ.. නැත්නම් ගම් වල මිනිස්සූ එලව එලව ගහන්නේ නෑ.

    හැමදාම උද්ඝෝෂණ වලට තහනම් නියෝග දෙන උසාවිය. බන්ඩාරනායක නෝනා එලවපු වෙලාවේ.. එයාලගේ උද්ඝෝෂණ වලට ජනතාව එන්නේ නෑ කියලා ඇඬුවා මතකද....?

    ඔය නීතීය බලය තියෙන උදවිය.. පොඩ්ඩක් ඒ ත්තවය නැති උනහම වෙන දේවලුත් සිහි කල්පනාවට ගන්නවනම් රට මේ තරම් අවුල් වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.මටත් ඕක හිතුන දෙයක් තමයි.

      Delete
  6. ඩොලර් දැමීම සඳහා මගේ එකවුන්ට් නම්බර් එක පැත්තකින් සඳහන් කරන්නට හිතේ.

    මොකද කියන්නේ?

    මං ඇත්තට ම ඩොලර්වලට මනාපයි මෙයාලා. කෝ ඒත්, කවුරුවත් දෙන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ane dollar ewanawanam matath kiyapan mata dawas dekata gena gal bothaleta gewanda monawa hari deyak karannam

      indika

      Delete
  7. නීතිය කියල වියුක්ත දෙයක් නම් නෑ.සමාජ යථාර්ථයේම ප්‍රතිබිම්භයක් තමයි නීතියත්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා