සමාජවාදය දිනේවා! උතුරු කොරියාව භංග වේවා!

"Despicable human scum Jang, who was worse than a dog, perpetrated thrice-cursed acts of treachery in betrayal of such profound trust and warmest paternal love shown by the party and the leader for him," උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ මාමා හා විශ්වාසවන්ත සගයකු වී සිටි Chang Song-thaekට මරණ දඬුවම දීමෙන් පසු උතුරු කොරියානු KCNA පුවත් ඒජන්සිය නිකුත් කළ නිවේදනයේ කොටසක්.


පෙරටුගාමිත්වය (vanguardism) කියන්නේ කම්කරු පංතියේ වඩාත් ම පංති හැඟීම තිබෙන හා දේශපාලනික වශයෙන් දියුණු ම පිරිස විප්ලවය සංවිධානය කිරීම සඳහා පක්ෂයක් පිහිටුවාගෙන විප්ලවීය අරගලයේ නායකත්වය සියතට ගැනීමයි.

ඒ කියන්නේ කම්කරු පංතියේ එක ම නියෝජිතයා තමන් බව ප්‍රකාශ කර ගැනීම වැනි දෙයක්. කොටි සංවිධානයත් තමන් දෙමළ ජනයාගේ එක ම නියෝජිතයා ලෙස ප්‍රකාශ කර ගත්තේ මේ හා සමාන මතවාදයකින්. 

පෙරටුගාමිත්වය ගැන තිබෙන ලොකුම ගැටලුව තමයි, මේ පෙරටුගාමී නායකයන් පිරිස තෝරා ගන්නා ආකාරය. කවුරුද ඔවුන්ව තෝරා ගන්නේ. පෙරටුගාමිත්වයක් අවශ්‍ය වන්නේ සමාජයේ පංති විඥානයේ තිබෙන දුබලකම නිසා නේ. ඒ කියන්නේ තමන්ගේ නායකයන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා ගන්න කම්කරුවන් නො දන්න නිසා නේ. පෙරටුගාමීන් තෝරා පත් කර ගැනීම සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව නො වන නිසා මෙය තමන් විසින් ස්වයංව තමන් ම පත් කර ගැනීමක් ලෙසයි සලකන්න වෙන්නේ. ලංකාවේ නම්, ඔය වාමාංශික පක්ෂ හැම එකක ම නායකයෝ හිතාගෙන ඉන්නේ තමන් ඉතිහාසය විසින් මේ වගකීම භාර ගන්න නිර්මානය කර තිබෙන සුවිශේෂ මිනිසුන් පිරිසක් ය කියලායි. ඒ නිසා ඔවුන්ට මුලින් ම වැදගත් වන්නේ තමන්ගේ ම පැවැත්මයි. අවසානයේදී ගත්තා ම ඔවුන් දේශපාලනය කරන්නේ එකී ස්ව පැවැත්ම ආරක්ෂා කර ගන්නයි.

මේ පෙරටුගාමී මානසිකත්වය මම නම් හඳුන්වන්නේ සමාජ භින්නෝන්මාදයක් ලෙසයි. මම ශාස්තෘ නවකතාවෙන් සාකච්ඡා කළේ මේ කාරණයයි. 

මේ මානසිකත්වයෙන් ගොඩනගන විප්ලවවාදී සංවිධානයකට කළ හැකි විප්ලවයේ උපරිම නිදර්ශනයක් දැන් උතුරු කොරියාවේ සජීවීව රඟ දැක්වෙනවා. සමාජවාදයේ නමින් ක්‍රියාත්මක වන මෙවැනි නිර්ධන පංති ආඥාදායකත්වයකත්, වෙනත් ඕනෑම ආඥාදායකත්වයකත් අතර කිසිදු වෙනසක් දකින්න නැහැ.

සමාජවාදයේ නාමයෙන් අප විසින් කළ යුතුව තිබෙන මුල් ම කාර්යයක් තමයි, මේ පෙරටුගාමී සංකල්පය පරාජය කිරීම. 

අපි කලිනුත් කියලා තිබෙන පරිදි සමාජවාදය කියන්නේ පෙරටුගාමී පක්ෂයක් විසින් බලය ඩැහැ ගැනීම නොවෙයි. එය අඛන්ඩ අරගලයක්. එය මිනිස් ජීවිතය ඇතුළතින් හා පිටතින් වෙනස් කරන අරගලයක්. ඒ අරගලය ආරම්භ කරන්න දේශපාලන බලය අත්‍යවශ්‍ය නැහැ. 

මේ සංවාදයත් සමාජවාදය සඳහා අරගලය ම තමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. එය පෙරටුගාමීත්වයේ වරදක් නොව එය හසුරවන්න වූ පුද්ගලයා හෝ පිරිසට ලැබෙන බලය ක්‍රියාවට නැංවීමේදී සිදුවන අක්‍රමිකතාවක් බව පැරා පිලිගන්නවාද ?

    ආඥාදායක බලයක් ලැබූ විට එය හැසිරවීමට සුදුස්සෝ වන්නේ නායක සහෝදරයන්ද ??

    ReplyDelete
    Replies
    1. ජෝජ් ඕවල්ගෙ ඇනිමල් ෆාම් පොතේ මේක ලස්සනට කියල තිබෙනව.සත්තු ඔක්කොම විප්ලවය කරල අන්තිමට ඒක ඌරන්ගෙ බූදලයක් වෙනව.මැතිවරන නොපවත්වන රටක ඊට වඩා මොනව වෙන්නද?

      Delete
  2. පැරකුම් සහෝදරයාගේ සාස්තෘ නව කතාව මිලට ගන්න විදියක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මං ගාව කියවල ඉවරවුණ එකක් තියෙනව ඕනනම් නිකන් දෙන්නම්.
      0718313031

      Delete
  3. එම ආඥාදායකත්වය ක්‍රමක්‍රමයෙන් වෙනස් විය යුතුයි

    සමාජවාදී විප්ලවයට නායකත්වය දීම නිර්දන පාන්තික පෙරටුගාමී පක්ෂය හෝ කුමන නමකින් හැදින්වුවෙන නිර්දන පාංතික බලවේගයක් විසින් සිදු කලද පසු දින උදයේ සමාජවාදී ආදර්ශයක් දැකිය නොහැක

    විප්ලවයෙන් පසු ඒ සදහා දීර්ග කාලයක් ගතවිය හැක

    එය පැරා සදහන් කරන පරිදි //එය අඛන්ඩ අරගලයක්. එය මිනිස් ඇතුළතින් හා පිටතින් වෙනස් කරන අරගලයක්./// විය යුතුය

    ReplyDelete
    Replies
    1. ජෝජ් ඕවල්ගෙ ඇනිමල් ෆාම් පොතේ මේක ලස්සනට කියල තිබෙනව.සත්තු ඔක්කොම විප්ලවය කරල අන්තිමට ඒක ඌරන්ගෙ බූදලයක් වෙනව.මැතිවරන නොපවත්වන රටක ඊට වඩා මොනව වෙන්නද?

      Delete
    2. ඔබ හරි
      නමුත් න්‍යාය සහ ව්‍යවහාරය අතර පරතරය වටහා ගැනීමට තරම් දැනුමක් විප්ලවවාදීන්ට තිබිය යුතුයි

      Delete
  4. හරි වැරදිලාවත් ලංකාවේ සමාජවාදී ක්‍රමයක් ඇති උනොත් එක මේ උතුරු කොරියාවේ හරි කම්බෝජේ පොල්පොට් ක්‍රමය වගේ එකක් නෙවේ කියලා දෙන්න පුළුවන් සහතිකය මොකක්ද? මට නම් sure මෙහේ සමාජවාදය ඇති උනොත් එක උතුරු කොරියාවේ එකටත් එහා යාවි, මොකද එක ක්‍රියාත්මක කරන්නෙත්, අපේ මේ එන්න අයියලාම නේ.
    අනික ඔය සමාජවාදීන්ගේ පරමාදර්ශී රටක් වෙන කියුබාව උනත් ලෝකේ අනිත් රටවල් වලට වඩා අවූරුදු 50-60 පිටිපස්සෙන් ඉන්නේ, කීසිම ප්‍රජාතනතවාදයක් නැහැ, නිදහසක් නැහැ.
    මම නම් කියන්නේ නොදන්නා සමාජවාදයට වඩා මේ දන්න system එක හොදයි කියලා. අපි try කරන්න ඕනෑ වඩ වඩාත් ප්‍රජාතනතවාදය දිනා ගැනීමට සහ මේ ක්‍රමය වඩාත් හොද එකක් බවට පත් කරගන්න .

    ReplyDelete
    Replies
    1. උතුරු කොරියාව හොඳ උදාහරණයක් මෙහෙ ඉන්න සමාජවාදී සිහින දකින්නන්ට ඒකේ භයානක කම පෙන්වන්න.කල්ලියට විරුද්ධ වුනොත් මරණය.කල්ලියෙ මතය ඇර වෙන මතයක් නෑ.ලංකාව 1971 දියි 1987-1989 දි බේරුනේ අනූ නවයෙන්.ඇත්තෙන්ම ඒ කැරලි දෙකම මර්ධනය කළ ආරක්ෂක අංශ වල අය නිසි පරිදි ඇගයීමකට ලක් නොවූ බවයි මම නම් හිතන්නෙ.
      මිනීමරු කල්ලියකට බලය ගියොත් ආයෙ ඊට පස්සෙ කට අරින්න බෑ.කිසිම විකල්පයකුත් නැහැනෙ.බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය,උසාවි ක්‍රම,ආගමික නායකයො,මාධ්ය මේ මොකවත් නෑ.එකම දේ නායකයා පෙරටු කොටගත් දේශපාලන මණ්ඩලය.මේ දේශපාලන මණ්ඩලයෙ අයත් නායකය කියන පැත්තට බුරණ අය තමයි.

      මෑතකදි ජේ වී පී එක බෙදුන වෙලාවෙ ඒ අයට රාජ්‍ය බලය තිබ්බනම් කැඩිච්ච අය ඔක්කොම ද්‍රෝහියො කරල මරල දානව.පෙරටු ගාමී පක්ෂයත් එහෙම තමයි.

      ඇලෙක්සැන්ඩර් සොල්ශෙන්ට්සින් අපූරු කතාවක් කීව .ආඥාදායකත්වය යනු මාක්ස්වාදයේ විකෘතියක් නොව එහි නෛසර්ගික අවස්ථාවකි කියල.

      කියුබාවෙ මිනිස්සු නිකම් නොවෙයි හිඟන හිරකාරයොලු.කට අරින්නෙ හතර වටේම බලලලු.හැමතැනම රහස් පොලීසිය නිසා.කොමියුනිස්ට් රටවල නඩුකාරයො පත්කරන්නෙත් පක්ෂෙන්නෙ.ලංකාව වගෙ රටවල් දිව්‍ය ලෝක කොමියුනිස්ට් රටවල් දිහා බැලුවම.
      මේ ලඟදිත් ලෙනින්ගෙ පිළිරුවක් කුඩු කරල තිබුන නේද යුක්‍රේන් වල.

      Delete
  5. //පෙරටුගාමිත්වය ගැන තිබෙන ලොකුම ගැටලුව තමයි, මේ පෙරටුගාමී නායකයන් පිරිස තෝරා ගන්නා ආකාරය. //

    පෙරටුගාමී කියල වෙනම පිරිසක් නැති නම් හොදයි. ඒත් යථාර්ථයේදී එහෙම එකක් අපට මුන ගැහෙන්නෙ නැහැ. මිනිස්සුන්ගේ අවබෝධය විඥාන මට්ටම විවිධයි. ඒ නිසා ඕනෑම සමාජ වැඩක දී එහි පෙරමුන ගන්න යම් සාපේක්ෂව දියුනු පිරිසක් ඉන්නවා. හැමෝම එකම උනන්දුවෙන් කැපවීමෙන් දේවල් වල පෙරමුන ගන්න තත්වයක් තිබේ නම් ඉතා හොදයි. ඒත් ඇත්ත තුල ඒක සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි.

    පෙරටුගාමීත්වය ගැන සංකල්පය බිහි උනේ ඔය හින්දා. ග්‍රාම්ස්චි ඓන්ද්‍රීය බුද්ධිමතා කියල ගේන අදහසත් මේකට ඥාතීත්වය දක්වනවා.

    එතකොට ‍මේ පෙරටුගාමී පිරිස් ( පක්ෂය) රුසියාවේ,චීනයේ - අප මෙතෙක් දන්න සමාජවාදී යැයි කියූ රටවල් වල සිදුවුන ආකාරයට නිලධාරිවාදී විදිහට අන්තනෝමතික විදිහට හැසිරෙන්න පුලුවන්ද?

    පුලුවන්. මොකද මේ අයත් අවසන් විග්‍රහයේදී මිනිස්සු.

    එතකොට ඒක පාලනය කරගන්න පුලුවන් කොහොමද?

    ඒක පාලනය වන එකම විදිහ තමයි මේ පෙරටුගාමී පිරිස් ( පක්ෂය) සහ සමාජ බලවේගය අතර තිබෙන සම්බන්ධය. චීන විප්ලවයේ මුල් දවස් ගැන විචිත්‍ර විස්තරයක් තිබෙන ෆාන්ෂෙන් පොත ඔබ කියවා තිබේ නම් එහි එන මංකඩ පරීක්ෂනය උදාහරනයකට ගන්න. විප්ලවයෙන් පස්සෙ බලය ලැබෙන්න ඕනෙ පක්ෂයට නෙමෙයි මහජනයාට. මහජන නියෝජිත සංවිධාන වලට. පක්ෂය සිටිය යුත්තේ ඒ තුල. ප්‍රශ්නය තිබෙන්නේ ලෙනින්ගේ පෙරටුගාමී සංකල්පයේ නෙමෙයි. ඒ පෙරටුගාමී සංකල්පය සහ සමාජය අතර තුලනය පවත්වා ගැනිමට අවශ්‍ය යාන්ත්‍රනයන් ගොඩනැගීමට අසමර්ථ වීම තුල.

    - රාමචන්ද්‍ර

    ReplyDelete
    Replies
    1. චීන විප්ලවය අවසන් වෙලා සෑහෙන කාලයක් යනකම් කරපු එකම වැඩේ මැරීමලු.ඩෙන් සියා ඕ පෙන් ආවට පස්සෙ තමයි ආර්ථික යෝධයෙක් වෙන පාරට වැටුනෙ.මා ඕ සේතුන් හිටියනම් අද චීනය හිඟන දිලිදු රටක්.මම දැක්ක දියතෙ තිබුන මා ඕ කිව්වලු තාත්ත හිටියනම් එයාටත් වෙන්නෙ අනෙක් දේශපාලන විරුද්ධ වාදීන්ට වුන දේමයි කියල.බලයට පත්වුනාට පස්සෙ දේශපාලන විරුද්ධවාදීන් මැරීමේ මාක්ස්වාදී පිළිවෙත සාධාරණීකරනය කරන්නේ කොහොමද? මේ ක්‍රමය නිර්ධන පන්තියේ ආඥාදායකත්වය කියල රුසියාවෙත් ක්‍රියාත්මක වුනා.ලංකාවෙත් ජේ වී පිය බලය ඇල්ලුවට පස්සෙ කරන මහා සංහාර ගැන ඉඩමේගම වාගෙ දේශපාලන මණ්ඩල සභ්කායො අදහස් පළ කලාලු.විජය මරපු වෙලාවෙ ප්‍රති විප්ලව වාදීන් මරණ එක දැන් ඉදන්ම පටන් ගත්ත එක ලේසියි කියල.

      ඔවු ඉතින් නිච්චි නිනවු නැතිව මිනීමරන එක කලින්ම පටන් ගන්න එක ලේසියිනෙ.චීන සෝවියට් ආදර්ශ දිහා බැලුවම 1989 ඉදන් 1995 පමන වනතුරු එක දිගට ඝාතන සිදුවෙන්න ඉඩ තුබුනා.විප්ලවය වෙනුවෙන් වැඩකරපු අයටත් මැරුම් කන්න සිදු වෙනව.චීනෙ රුසියාවෙ එහෙම වුනා.ඡන්ද නැතිනිසා ඊට පස්සෙ ක්‍රමය ප්‍රශ්න කරන්නත් බැහැනෙ.

      Delete
    2. පෙරටුගාමිත්වය වාමාංශක සංකල්යක් ලෙස ගත්තාම ඒ තුළින් ම තමයි, ආඥාදායකත්වයත් මතු වන්නේ. ඒ සඳහා බලපත්‍රයත් එක්ක ම තමයි මේ සංකල්පය ගොඩනැගෙන්නේ.

      හොඳයි, එහෙම නම් අපි පෙරටුගාමිත්වයත් අලුතින් අර්ථකථනය කරමු. අපි පෙරටුගාමීන් ය කියලා නම් කර ගත්ත‍ට කමක් නැහැ. අපි ඒ වෙනුවෙන් සමාජයෙන් මිළක් නො ඉල්ලා සිටිමු.

      Delete
    3. අජිත්, රෝසා ලක්සම්බර්ග‍්ගේ Russian revolution පුලුවන් නම් බලන්න. පෙරටුගාමී සංකල්පය ඒකාධිපතිත්වයක් කරා යාමට තුඩු දුන් රුසියාවේ ඇතැම් දේවල් එහිදී ඇය විවේචනය කරනවා. සිංහලයට හැරවීමට වටිනා ලියැවිල්ලක්.

      - රාමචන්ද්‍ර

      Delete
  6. ගොර්බශොෆ් පෙරෙස්ත්‍රොයිකාව හදුන්වල දීල ලංකාවෙ විසි අවුරුදු බිලි පූජාව නැවැත්තුව කියල හිතෙනවා.ලංකාවෙ විතරක් නොවෙයි තුන් වැනි ලෝකයෙ හැමරටකටම අදාලයි.කියුබාවට අත නොතබමු කියල ගමේ කඩේ මුදලාලිගෙ කඩේ බිත්තියෙ පෝස්ටර් ගහන මාක්ස්වාදීන් යනු භයානක ඇදහිලි කල්ලියකි.

    අපට සමාජවාදයක් අවශ්‍යය.එය මිනිස්කම හදුනන එකක් විය යුතුය.සමාජවාදය පිළිබද කතිකාව යුරෝපයේ සියවස් ගනනාවක සිට වර්ධනය විය.කාල් මාක්ස් එයට ප්‍රචන්ඩ විප්ලවය ආදේශ කිරීමෙන් එය මිනී මරන ව්‍යාපාරයක් බවට පත් විය.
    එම මාවතින් බැහැර විය යුතුය

    මැතිවරණ නොපවත්වන ,එක් මිනීමරු කල්ලියක් ජීවිතයේ කුදු මහත් සෑම අංගයක්ම පාලනය කරන ක්‍රමය වෙනුවට සංවාදය තුලින් බිහි වන මානව හිතවාදී සමාජවාදයක් අවශ්යය.එහි අන්‍ය මත මර්ධනයක් නැත.ලේ ගද ගහන ජේවීපී පෙරටුගාමී සිස්ටම් එක හා ඔවුන්ගේ මිනීමරුවන් සැමරීමේ වැඩ සටහන් බල්ලට දැමිය යුතුය.

    ReplyDelete
  7. යළිත් තහවුරුයි. කොටින් පිටුපස පෙරටුගාමියෝ.

    පෙරටුගාමී මාක්ස්වාදී පක්ෂ සාමාජිකයන් ඊළාම් මතවාදයත් කොටි ත්‍රස්තවාදයත් වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇති බව මීට ටික දිනකට පෙර සාක්ෂි සහිතවම අපි පෙන්වා දුන්නා. ඒ බව යළිත් තහවුරු කරමින් පෙරටුගාමී සමාජවාදී කල්ලියට අනුබද්ධ සම අයිතිවාසිකම් ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කොටින් සැමරීමේ අයිතිය ඉල්ලා තිබේ. "මිය ගිය හමුදා භටයින් සිහි කරනවා මෙන්ම මියගිය සටන්කරුවන් සිහිකිරීම ජාතිද්‍රෝහී ක්‍රියාවක් නොවේ" යැයි නිවේදනයක් නිකුත් කරමින් සම අයිතිය ව්‍යාපාරය පවසයි.

    යුද්ධයෙන් මිය ගිය සිංහල හෝ දෙමළ හෝ අහිංසක වැසියන් සැමරීමට ඔවුන්ගේ නෑදෑයන් ට දුවා දරුවන්ට අයිතියක් තිබෙන බව ඕනෑම අයෙකු පිළි ගන්නා සත්‍ය වුවත් මොවුන් ඉල්ලන්නේ "සටන්කරුවන් (ත්‍රස්තවාදීන්)" සැමරීමේ අයිතියයි. ඒ මොවුන්ගේ තියරියට අනුව මරාගෙන මැරෙන ත්‍රස්තයන් විමුක්තිකාමීන් මිස ජනඝාතක ත්‍රස්තවාදීන් නොවන බැවිනි.

    යළිත් අවධානය සදහා - පෙරටුගාමීන් යනු කවුද? ජනතා විමුක්ති පෙරමුණ තුළ ක්‍රියාකාරීව හිද පසුව එයින වෙන්ව නව දැඩිමතධාරී මාකස්වාදී පක්ෂයක් බිහිකර මේ රට මාක්ස්වාදය කරා ඇදගෙන යෑමේ තම ඉලක්කය කෙසේ හෝ සපුරාගන්නට හදන කසිකබල් මතවාද වලින් ජීවිතය කාලකන්නිකරගත් සමාජයට වෛර කරන බංකොලොත් දේශපාලන කල්ලියකි. එහි නායකත්වය දරන්නේ කලක් කොටින් සමග සමීපව කටයුතු කළ කුමාර් ගුණරත්නම් නම් වූ හැඩි දෙමළා ය. මේ රට මාකස්වාදී රටක් කළ නොහැක්කේ බහුතර සිංහල බෞද්ධයන් බුදු දහමට හා බෞද්ධ සංස්කෘතියට දැඩි ලෙස බැදී සිටිනා නිසා යැයි ඔවුන් තරයේ විශ්වාස කරති. ඒ නිසා ආගම අබිං යැයි අදහන උග්‍ර මාකස්වාදීන් වන මොවුන් උන්ගේ සුපුරුදු බයිලාව වන ඊනියා පංති වෛරයටත් වඩා බුද්ධාගමට හා බෞද්ධ සංස්කෘතියට වෛර කරති. සමාජවාදය පැතිරවීමටනම් බුද්ධාගමත් සිංහල බෞද්ධ සංස්කෘතියත් විනාශ කළ යුතුය. ඒ සදහා ඔවුන් බුද්ධගමට හතුරුකම් කරන, සිංහල බෞද්ධ සංස්කෘතිය වැනසීමේ එකම අදිටනින් පෙළෙන සතුරු බලවේග වන ද්‍රවිඩ ක්‍රිස්තියානි බෙදුම්වාදය සහ මුස්ලිම් අන්තවාදය සමග කදවුරු බැදගෙන ඇත. (එදා සිංහල බෞද්ධ සංස්කෘතිය වැනසීම සදහා සුද්දා අනුගමනය කළේද මේ තියරියයි) පෙරටුගාමී සමාජවාදී කල්ලියට මැදපෙරදිගින් මෙන්ම යුරෝපා රටවලින්ද මුදල් ආධාර ලැබෙන්නේත් මුස්ලිම් අන්තවාදය හා කොටි ඊළම වෙනුවේන් ඔවුන් නිර්වස්ත්‍රවම පෙනී සිටින්නේ ඒ නිසාය.

    ඇතැම් පෙරටු ගාමී හෙන්චයියන් විළි ලැජ්ජා නොමැතිව තමන්ගේ ෆේස් බුක් ප්‍රොෆයිලය තුලින් සිංහලයාට නින්දා කරමින් බෞද්ධයාට ගරහමින් දිනා ගත් නිදහස අබමල් රේණුවකට නොතකමින් කොටින්ට ආවඩන බව පෙනෙන්නට තිබේ. මොවුන් මේ ආකාරයෙන් මොල ශෝධනයට ලක් වූයේ කෙසේද ? ජවිපේ තුල කැරලි ගසා වෙනම පාරක ගොස් කුමාර් ගුණරත්නම්ගේ ලණු ගිල නන්නත්තාර වූ කුරුටු නායකයන් යුරෝපය පුරා සන්චාරය කරමින් කොටි ඩයස්පෝරාව සමඟින් එක මේසයේ කටයුතු කරන බව ට වාර්ථා වන අතර සමාජ වාදය නම් අසාර්ථක දර්ශනය කරපින්නාගෙන ජීවිතය කාලකණ්ණි කරගත් නෂ්ඨාවශේෂ කොටි වල්ගයේ හෝ එල්ලී ගොඩ යාමට උත්සාහ කරන්නේ තම උපන් ජාතිකත්වය පවා පාවා දෙමිනි. මොවුන් තම සාමාජිකයන් සියල්ලටම වංචා කර නොමග යවයි. එහි අවසන් ප්‍රතිඵලය කොටි සංවිධානය නැවත පණ ගසන්නට සහයෝගය දෙන සිංහල කොටියන් බිහි කිරීමයි. මුලින්ම කී ආකාරයට තම පෞද්ගලික ප්‍රොෆයිලයන් තුලින් පවා එම ආකාරයට ක්‍රියා කරන්නට ඔවුන් කොතරම් දුරට නොමග යන්නට ඇත්ද ? එලෙසින්ම මතුවන තවත් කාරණයක් නම් ඔවුන්ව නොමග යවාපු ඔවුන්ගේ කුරුටුගාමී නායකයන් කොපමණ දුරක් නොමග ගිහින්ද යන්නයි.

    පවතින ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මත කටයුතු කිරීමට මොවුන් සූදානම් නැති අතර අරමුණ ජයගැනීමට එකම මග ආයුධ සන්නද්ධ විප්ලවය බව අදහති. ඒ වෙනුවෙන් විවිධ සමාජ ස්ථර සංවිධානකරණය කිරීමේ රහසිගත ක්‍රියාමාර්ගවලට මොවුන් දැනටමත් අවතීර්ණ වී තිබෙන අතර විශ්ව විද්‍යාල පද්ධතියද ආක්‍රමණය කර තිබේ. එය අතිශයින්ම භයානක කරුණ වන්නේ මීට පෙර අවස්ථා දෙකකදීම මොවුන්ගේ සන්නද්ධ විප්ලවයේ මව් බිම වූයේ විශ්ව විද්‍යාල පද්ධතියම වන නිසාය. ‍දැනට කොටි ත්‍රස්තයන් මෙන්ම මුස්ලිම් මූළධර්මවාදීන් සමග ද මොවුන සංවිධානගත වීම තුළින් බිහිසුණු අනාගතය පෙරනිමිත පළ කර තිබෙන්නේ යළිත් කොයි මොහොතක කුමන වේශයකින් හෝ රට තුළ ලේ වගුරවන සන්නද්ධ ක්‍රියාදාමයක් පිළිබදව රතු එළි දල්වමිනි.
    (උපුටා ගැනීමකි. source එක යලි සොයමින් සිටිමි )

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා