මිනීමරුවන්ටත් මානව හිමිකම් තිබේ

කැටයම් චින්තකගේ අම්මා ද අම්මා කෙනෙකි
කැටයම් චින්තක යනු බිහිසුණු අපරාධයක් කළ (බව ජනමාධ්‍ය හා පොලිසිය කියන) පුද්ගලයෙකි. අපි කැටයම් චින්තක තබා ඔහු කැපූ කැටයමක්වත් දැක නැත. කැටයම් චින්තක ඇසුරු කළ සමාජයට හෝ ඔහු පිළිබඳ කිසිදු හැඟීමක් නැත. එහෙත්, අපි කැටයම් චින්තකගේ අයිතිවාසිකම් ගැන කතා කළ යුතු ය. මන්ද, කැටයම් චින්තකගේ සිද්ධිය විසින් නිරූපණය කරනු ලබන්නේ අප ජීවත් වන සමාජයේ තිබෙන නීතියේ පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදයක්, මිනිස්කමක් නැති වනචාරී ගතිය වන හෙයිනි.

කැටයම් චින්තක ලංකාවේ පළමු මිනීමරුවා නො වේ. එසේ ම ඔහු වනාහි පොලිස් නිලධාරියකු හා බිරිඳ කෲර අන්දමින් මරා දැමූ පළමු මිනීමරුවා ද නො වේ. අනෙක, ලංකාව යනු මිනීමරුවන් ඉතා දුලබ ස්ථානයක් ද නො වේ. ලංකාවේ ඉතා වැදගත් යයි කියන මිනිසුන්ගේ පවා බොක්කේ තවමත් නො දිරවූ මිනිස් ඇට කැබලි තිබේ. 

කැටයම් චින්තක එකී මිනී මැරුම කළා ද නැද්ද යන්න අපි නො දනිමු. එය නීතිය ඉදිරියේ තහවුරු වී නැත. ශිෂ්ට සමාජයක නම්, ඕනෑම වරදක් කළ කෙනෙකුට නීතිය හමුවේ පෙනී සිට, නිසි අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා කළ වරදට දණ්ඩනයට ලක් විය හැකි ය. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන කියවෙන කතාවලට අනුව ඇහැලේපොළගේ පවුල ම‍රා දැමීම පවා සිදු වන්නේ යම් නීතිමය ක්‍රියාමාර්ගයක් හරහා ය.

කඹුරුපිටියේ පොලිස් නිලධාරියා මැරූ පුද්ගලයෝ සිව්දෙනාම මිය ගිය ආකාරය ගැන කටවල් අඹර අඹරා ලස්සන කතා හදා කියන්නට පුළුවන. එහෙත් සිදු වන්නේ කුමක් ද යන්න සියල්ලෝ ම දනිති. 

කඹුරුපිටිය ගම්වාසීන් ජනමාධ්‍ය කැමරා ඉදිරිපිට කිරිබත් උයා කෑවේ මේ වනචාරිත්වය අනුමත කිරීමට ය. අංගුලිමාලගේ අම්මා ගැන බණ අසන සමාජයේ මිනිස්සු කැටයම් චින්තක ජීවත් වූ දිළිඳු නිවස ගිනි තබා ඇය මහ මගට ඇද දමා ලොකු ආතල් එකක් ගත් හ.

කැටයම් චින්තකත් කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔවුන්ට ද අසන්නට ලැබෙන්නේ සිය පියාගේ බිහිසුණු මරණයයි. සමාජය ඒ මරණය සමරන ප්‍රීතියයි. 

කැටයම් චින්තක බෞද්ධයකු බව දැන ගන්නට තිබේ. ඔහුගේ පාංසකූලයට කිසිදු හාමුදුරු නමක් පැමිණ නැත. පැමිණියේ නම්, අනතුරට ලක් වන්නට ඉඩ තිබුණු නිසා ද විය හැකි ය. 

කැටයම් චින්තක ද ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරියා ජීවත් වූ ගමේ ම ජීවත් වූ අයෙකි. ඔහු මැරවරයකු වන්නට පුළුවන. මෙම මිනීමැරුම කළා වන්නට ද පුළුවන. එහෙත්, ඔහුට ද කියන්නට කතාවක් තිබෙනවා විය හැකි ය. 

කැටයම් චින්තක යනු ජනමාධ්‍යවලට නම් අති භයානක, කෲර මිනීමරුවෙකි. එහෙත්, ඇත්තම කියනවා නම්, ඒ පැත්තේ වැඩි දෙනෙක් ඒ මිනිහා ගැන දන්නේ කොළඹ ජනමාධ්‍යවලින් ඔහු ගැන කී දේ පමණි. 

මේ අන්දමින් ඔබ දන්නා ඕනෑම කලහකාරී පුද්ගලයෙක් යක්ෂයකු බවට පත් කර සමාජ වෛරයට ලක් කරන්නට ජනමාධ්‍යවලට පුළුවන. අවශ්‍ය වන්නේ යම් සමාජ විරෝධී ක්‍රියාවක් පිළිබඳ චෝදනාවක් පමණි. 

මෙහි භයානක ම තත්වය වන්නේ මානව හිමිකම් සංවිධාන පවා මෙම තත්වය පිළිබඳ මුනිවත රැකීමයි. 

කඹුරුපිටියේ පොලිස් නිලධාරියා මරා දැමූ මිනීමරුවනුත්, කැටයම් චින්ත‍කගේ බිහිසුණු මරණය දැක කිරිබත් කෑ මිනිසුනුත් අතර මම නම් කිසිදු වෙනසක් නො දකිමි. දෙපිරිස ම එක සමාන ම්ලේච්ඡයෝ වෙති. කොහොමත්, ශිෂ්ටත්වයත්, ම්ලේච්ඡත්වයත් අතර තිබෙන්නේ කෙස් ගසක වෙනසක් බව මගේ අදහසයි. 

ශිෂ්ට සමාජයක් දණ්ඩනය භාවිතා කරන්නේ නිවැරදි කිරීම පිණිස ය. සතුටු වීම පිණිස නො වේ.

හෙට ඔබේ අතින් හෝ ඔබ දන්නා හඳුනන වෙනත් කෙනෙකු අතින් යම් වරදක් සිදු විය හැකි ය. ඔබව විනිශ්චය කිරීම ජනප්‍රිය මතයට භාර දෙනවා ද නැතිනම් අධිකරණයට භාර දෙනවා ද යන්න ඔබ තීරණය කරන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අපේ සමාජය කිසිම දෙයකින් පාඩම් ඉගෙන ගන්නේ නෑ. 88/89 කාලේ ජේවීපී එකෙන්ගම් වල හිටිය හොරු, කසිප්පු කාරයෝ වගේ අය මැරුවා. මිනිස්සු බොහොම හොඳ කිව්වා ඒවට. නමුත් ටික කලක් ගියාම සිද්ධ වෙච්ච දේ අපි කවුරුත් දන්නවා. කවුරු කාව මරණවද කියලා හොයා ගන්න බැරි තැනකට සමාජය ගියා.

    මේකට මිනිස්සුන්ටම දොස් කියන්න අමාරුයි. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම කියන සාමාන්‍ය මිනිස්සුන්ගේ පාලනයෙන් පිට තියන දේ මේකට තදින්ම බලපානවා. සමහර සිද්ධි ගැන (මේ කතාවට අදාල සිද්ධියත් ඇතුළුව ) මිනිස්සුන්ට, සාපේක්ෂව සාධාරණ විනිශ්චයක් තියනවා. ඔවුන්ට අනුව කැටයම් චින්තක කියන්නේ අපරාධකාරයෙක්, ඒක නීතිය ඉදිරියේ ඔප්පු කරන්න ඕනේ කියන තර්කය ඔවුන්ට අදාල නැහැ. අපරාධකාරයෙක් කියලා ඔවුන් හොඳටම දන්න මේ පුද්ගලයාට දඬුවම් ලැබීම තමයි ඔවුන් බලාපොරොත්තු වෙන දේ. ඒ දඬුවම් ලැබෙන ක්‍රමය හරිද වැරදිද යන්න ඔවුන්ට අදාල වෙන්නේ නෑ. එක අතකින් කියන්න පුළුවන් රටේ අවනීතිය කොච්චර තිබුණත්, සාධාරණත්වය කෙරෙහි මිනිස්සුන්ගේ පැහැදිලි කැමැත්තක් තියනවා කියලා. නමුත් ඒ සාධාරණත්වය ක්‍රියාත්මක විය යුතු ක්‍රමවේදය ගැන තමයි අවබෝධය අඩු. රටේ අධිකරණය සහ නීතිය හරියට ක්‍රියාත්මක වෙන දවසකට, යුක්තිය ඉෂ්ටවන ක්‍රමවේදය ඒකයි කියලා මිනිස්සුන්ට දැනිච්ච දවසට, මිනිස්සු මෙහෙම හැසිරෙන එක නවතියි.

    ReplyDelete
    Replies
    1. ජේ වී පී එකෙන් කසිප්පුකාරයො මරන කොට සමාජය හොඳ කිව්ව .නමුත් ඒ ප්‍රචන්ඩතවය සමාජයට උහුලන්න බැරි වුනා.ශිෂ්ට සමාජයේ මරණ දඩුවමට වුනත් යම් ප්‍රමිතියක් හා රීති මාලාවක් තිබෙනවා.සමාජය තේරුම් නොගන්න කාරනේ තමයි පාතාලය නඩත්තු කරන්නෙ දේශපාලනය සහ ධනවතුන් බව.කොච්චර පාතාලයො මැරුවත් පාතාලෙ නැතිකරන්න බෑ.

      Delete
  2. This is a great article!

    ReplyDelete
  3. එකඟයි.අධිකරණ ක්‍රියාමාර්ග වල ඇති හිඩැස්/ප්‍රමාදවීම්, දේශපාලන අතපෙවීම් නිසා අධිකරණය ගැන ජනතා විස්වාශය නැතිවීම ආදිය මෙවැනි “දඬුවම්“ ජනතාව විසින් ඉහලින් අනුමත කිරීමට හේතු වන බව පැහැදිලිය.ඉහල සිට පහලට ප්‍රතිශෝධනයක් අත්‍යාවශ්‍ය වී තිබේ.
    [උදා;බන්ධනාගාරගතව සිට ඇප ලබා නිදහස් ව පැමිණ අපරාධ වල නියැලෙන්නෝ බොහෝය.ඔවුනට එරෙහිව නීතිය නිසිආකාරව ක්‍රියාත්මක වූයේ නම් අපරාධ බොහොමයක් වැලැක්වීමට හැකිව තිබිණි]

    ReplyDelete
  4. // කඹුරුපිටියේ පොලිස් නිලධාරියා මරා දැමූ මිනීමරුවනුත්, කැටයම් චින්ත‍කගේ බිහිසුණු මරණය දැක කිරිබත් කෑ මිනිසුනුත් අතර මම නම් කිසිදු වෙනසක් නො දකිමි. දෙපිරිස ම එක සමාන ම්ලේච්ඡයෝ වෙති. කොහොමත්, ශිෂ්ටත්වයත්, ම්ලේච්ඡත්වයත් අතර තිබෙන්නේ කෙස් ගසක වෙනසක් බව මගේ අදහසයි. //

    වෙන කීමට දෙයක් නොමැත.. එහෙත් මේ මරණයෙන් වත් අනෙක් කාළකන්නින් පාඩ්මක් ඉගෙන ගන්නවානම් ළොකු දෙයක්ය. කලින් කීවාක් මෙන් කුඩු බිස්නස් එකේ මහ උන් තාමතාතල් එකේය. චග්ගෝලයන්ට කවද සිඳුවන්නේ මේ දෙය බව මෙයින් වත් වටහා ගන්නේ නම්, ජඩ මාද්දිය කාරයෝ කළ දේ අගය කළ හැකිය.

    ReplyDelete
    Replies
    1. අනෙක් කාලකන්නින් කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නෑ මොකද උන්ගේ සිතීමේ සීමාව ඉතා පටු නිසා.පළාතේ දේශපාලකයා හෝ ධනපතියා අත මිට සරු වෙන කුඩු බිස්නස් එකක් ගැන කී විට එම කොන්තරත් එක ගන්නට එන්නේ පැනලා.

      Delete
  5. හොඳ කියවීමක්.... මාත් මේ ගැන ලියන්න හිතුවා. කිසිම කෙනෙකුට අපිට මේ විදිහට දඬුවම් කරන්න අයිතියක් නැහැ අධිකරණයේදී වැරදිකාරයෙක් නොවී. මේ කිරිබත් කාපු මිනිස්සුන්ට මේව තේරෙන්න නම් තමන්ගෙම කෙනෙකුට මේක වෙන්න ඕන.

    මටනම් පේන විදිහට මෙතන ලොකු දල කාරයෙක් ඉන්නවා. මැරුනේ කුලී කාරයෝ විතරයි. මිනිස්සු උඩ දාගෙන කෑගැහුවට අන්තිමට මැරයා ඉතුරුවෙලා.

    මේ විදිහට ඕනෑම අහිංසකයෙකුටත් මේ දේ වෙන්න පුළුවන්. තරහකාරයෙන් කතාවක් පතුරවනවා මිනිහා මැරයෙක් කියලා, ඊට පස්සේ නිවුස් නැතුව වේලෙන අපේ සිරා මාධ්‍ය කාරයෝ දෙනවා ගින්න. අන්තිමට මිනිස්සුයි පොලිසියයි එකතු වෙලා මරනවා මිනිහව. කිරිබත් කනවා. අනිත්මට මැරිලා තියෙන්නේ අහිංසකයෙක්.

    ReplyDelete
    Replies
    1. මටනම් පේන විදිහට මෙතන ලොකු දල කාරයෙක් ඉන්නවා.// ඒක විමසිල්ලෙන් බලන ඕනම කෙනෙකුට පේනවා.මෙතන ලොකුම රහසක් ඇති

      Delete
  6. ජේ වී පී එකෙන් කසිප්පුකාරයො මරන කොට සමාජය හොඳ කිව්ව .නමුත් ඒ ප්‍රචන්ඩතවය සමාජයට උහුලන්න බැරි වුනා.ශිෂ්ට සමාජයේ මරණ දඩුවමට වුනත් යම් ප්‍රමිතියක් හා රීති මාලාවක් තිබෙනවා.සමාජය තේරුම් නොගන්න කාරනේ තමයි පාතාලය නඩත්තු කරන්නෙ දේශපාලනය සහ ධනවතුන් බව.කොච්චර පාතාලයො මැරුවත් පාතාලෙ නැතිකරන්න බෑ.

    සරත් අබේ පිටිය මැරුවට පස්සෙ පාතාලයො 51 ක් මැරුව.මමත් සතුටු වුනා.නමුත් පාතාලෙ නැති වුනේ නෑ.යූ ඇන් පී ආන්ඩු කාලෙ පාතාලෙයක් තිබුන.ඒ ආණ්ඩුව වැටුන කියල පාතාලෙ නැති වුනේ නෑ.

    මම නම් මේ සිදුවීම් වලට සතුටු වෙන්නෙ නෑ.මොකද කැටයම් චින්තක කියන්නෙ මේ රටේ හිටපු එකම මිනී මැරුවා නොවන නිසයි.මම නිතරම පොලීසිය හමුදාව ගැන බ්ලොග් ලෝකයේ කොන්දේසි විරහිතව පෙනී සිටින කෙනෙක්.

    පාතාලය නැති වෙනවානම් කවුරුත් කැමතියි.නමුත් පාතාලය කියන්නෙ ඉස්සරහට ඇවිත් අපරාධ කරන අය කියලයි කවුරුත් හිතන්නෙ.නමුත් ඒ අය අයිස් කන්දෙ උඩින්ම පෙනෙන කොටස වගෙයි.අයිස් කන්දෙ අපට නොපෙනෙන කොටස තමයි දේශපාල්කයො හා ධනවතුන්.
    මේ අය සුදු රෙදි පොරවගෙන හෙටත් ක්‍රියාත්මක වෙනව.මේ අයට දඩුවමක් නෑ.

    මේ අය අතර අන්තර් සබදතාව කොතරම්ද කියනවනම් 2001 දි පොදු පෙරමුනු ආන්ඩුවෙ පාතාලයො දේශපාලකයන්ගෙ අපරාධ හෙළි කරන්න හිතල යූ ඇන් පී අයට කීවම යූ ඇන් පී එකෙන් ඒ ඔත්තුව පෙරමුනේ අයට දීල පාතාලය මැරෙව්ව.

    ජනතාව සවිඥානක වෙනකම් මොකවත් කරන්න බෑ.පාතාලය ,කුඩු තිබෙනව කියන්නෙ පවතින ආණ්ඩුවල උදවු ඒවට තිබෙනව කියන එකයි .නැත්නම් ඒව කරන්න බෑ.

    සිංගප්පූරුවෙ හිටිය රතු මකරු,කලු මකරු කියල පාතාලයො දෙවර්ගයක්.ජනතාව හිතුව මේ අය නම් මර්ධනය කරන්න බෑ කියල.සිංගප්පූරුව කියන්නෙ හොර ගුහාවකට කියාපු තැන.ලී ක්වාන් යූ බලයට ඇවිත් පාතාලයො එක එකා ආයුධ පෙන්නන්න එක්ක ගෙන ගියේ නෑ.පාතාලයො පිටිපස්සෙ ඉන්න දේශපාලකයො ඔක්කොම අත් අඩංගුවට ගත්ත.බලපුවම ලී ක්වාන් යූ බලයට පත් කරන්න උදවු කරල තිබෙන්නෙත් මේ අය.

    මේ රටේ මිනිස්සු මෝඩ බව පාලකයො දන්නව.පාතාලය කියන නූල් සූත්තරේ මෙහෙයවන අය හැමදාම නිදැල්ලෙ ඉන්නෙ ඒකයි.හැමදාම පාතාලය මැරෙනව පිටිපස්සෙ ඉන්න ධනපති දේශපාලකය නිදැල්ලෙ.
    හෙට තවත් කැටයම් චින්තකල සිය ගනනක් නිර්මානය කරන්නෙ ඒ දේශපාලනයයි.ඔය පොලිස් නිළධාරිය මරන්න හේතුව රහසක් රකින්න කියන කතාව ඇත්ත වෙන්න ඇති.දැන් අල්ලපු අයයි මරාපු අයයි කවුරුත් නැති නිසා රහස රැකිලා ඇති.

    ReplyDelete
  7. ධර්මරත්නDecember 5, 2013 at 9:47 PM

    කැටයම් චින්තක ප්‍රශ්ණයක් නම් මිනිහගේ 'බොස්' කොහොම ප්‍රශ්ණයක් ද?කව්ද මිනිහගේ බොසා.රේජිමයේ බුවෙක් වෙන්න බෑ.

    ReplyDelete
  8. මොනවද අයිසෙ මේ එකම මාතෘකාව යටතේ බ්ලොග් පෝස්ට් දෙක දෙක ලියන්නේ? ලියනව නම් ලියනවකෝ "හුලා" ගැන. ඒකනෙ දැන් නැගලා යන ටොපික් එක.

    ReplyDelete
    Replies
    1. හුලාටත් නැගලාම තමයි ඉන්නේ.

      Delete
  9. කැන්ගරු උසාවි ලංකාවේ ක්‍රියාත්මක වෙනවා කියන එකට හොඳම උදාහරණ තමයි මේ. ජාත්‍යන්තරය මේ කතාවේ අභ්‍යන්තරය දන්නවානම් අපිව හඳුන්වන්නේ ඇමේසන් වනාත්රයේ ඉන්න තවමත් අවට ලෝකයේ මිනිස් ශිෂ්ටාචාරය සමග සම්බන්ධ නොවුන ගෝත්‍රික පිරිසක් වගේ කියලයි.

    පොලීසියේ එකෙක් මැරුවොත් චුදිතයාට ආයුධ හංගපු තැන් පෙන්නන්න යන්න වෙනවාමයි. සාමාන්‍ය මිනිසුන් සහිත ගමක් මැරුවත් විත්තිකාරයෝ හොයාගන්නවත් නැහැ. මතකද මීට කලින් මේ ආකාරයටම පොලිස් නිලධාරියකු මරපු පිරිසක් පොලිස් වෙඩි පහරින් මියගියා දින කීපයක් තිස්සේ කල මෙහෙයුම් වලින් අඹේපුස්ස ප්‍රදේශයේදී.

    ReplyDelete
    Replies
    1. මගේ මතකය නිවැරදි නම් අනූව දශකය මුල ගාල්ලේදීත් එහෙම සිදුවීමක් වුනා.නීතිය හා සාමය රකින පොලීසිය හමුදාව යන ආයතන වල සාමාජිකයන්ට යම් ආරක්ෂාවක් තිබිය යුතුයි.නමුත් ඔවුනුත් දූෂිත නොවිය යුතුයි.පොලීසිය අන්ත දූෂිත රාජ්‍ය ආයතනයක්.

      Delete
  10. The Guy who wrote this letter, Why can not you talk about human rights of the murdered police man.

    You are only up to murders???

    ReplyDelete
  11. ලිපියේ හරය සමඟ 100%ක් එකඟයි. කාලෙකට පස්සේ පැරා එක්ක එකඟ වෙන්න පුළුවන් ලිපියක්. එත් මේ කලින් අනෝ කෙනෙක් කියලා තියෙනවා වගේ මම කාලෙක ඉඳන් නිරීක්ෂණය කරපු දෙයක් තමයි පැරා හැමවෙලාවෙම පෙනී හිටින්නේ ප්‍රති- ක්‍රියාව කල කෙනා වෙනුවෙන් පමණයි. මුල් ක්‍රියාව කල කෙනා වෙනුවෙන් අනුගමනය කරන්නේ බොහොම නිද්‍රාශීලී ප්‍රතිපත්තියක්. පොලිස් නිලධාරියා සහ බිරිඳ නීතියට පිටින් මරලා දානකොට නිදාගෙන ඉන්න පැරා ඒ මිනීමරුවව මරපුවම ඔන්න කඩි මුඩියේ මුඩියේ පොස්ට් එකක් දානවා. රටේම ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන බුර්කාව අඳිනකොට නිදාගෙන ඉන්න පැරා එක තහනම් කරන්න කවුරුහරි කතා කලාම ඔන්න අයෙත් ඇක්ටිව් වෙනවා. කොටි ත්‍රස්තයන් අමු අමුවේ අහිංසකයන්ව මරනකොට නිදාගෙන ඉඳල හමුදාවෙන් කොටි මරනකොට ඔන්න අයෙත් පරල වෙනවා. ඕවා තමයි රෙද්දේ සමාජවාදේ.....

    ReplyDelete
  12. Why are you silent about big murders,
    DUMINDA, MERVIN, CHANDANA, CHANDRAPUSHPA(TANGALLE)?

    ReplyDelete
  13. ලිපියේ හරය සමඟ 100%ක් එකඟයි.

    ReplyDelete
  14. Nithiyata pitin dhaduwam dhima kisima kondhesiyak matha sadharanikaranaya karanna behe. piligaththath nethath kathawa echcharai !!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා