මැදමුලනේ විසූ, තණමල්විල බිස්නස් කළ, නෙළුවේ ප්‍රියන්තගේ සාමාන්‍ය මරණය හෙවත් රටේ නිතියේ කතාව

(2011 ජුලි 06, W3Lanka) ගරුසිංහගේ ප්‍රියන්ත හෙවත් නෙළුවේ ප්‍රියන්ත යන නම අප මුල් වරට ඇසුවේ විශේෂ කාර්ය බලකාය විසින් ඔහු මරා දමන ලද බව වාර්තා වීමත් සමගයි.


ඔහු මිනීමැරුම් ඇතුළු දරුණු අපරාධවලින් දකුණු පළාතම භීතියට පත් කරගෙන සිටි පාතාල කල්ලි නායකයකු බව ද, මෙම පාතාල නායකයා සිදු කර ඇති මිනීමැරුම් ගණන 85 ක්‌ වන බව ද, ප්‍රශ්න කිරීම්වලදී මිනීමැරුම් 25 ක තොරතුරු පාපොච්චාරණය කර ඇති බව ද අපට පවසන්නේ දිවයින පුවත්‍පතේ පොලිස් වාර්තා ලියන හේමන්ත රන්දුණු ය.


නෙළුවේ ප්‍රියන්ත පාපොච්චාරණ කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායටයි. අප දන්නා පරිදි නම්, පාපොච්චාරණයක් නීත්‍යානුකූල වන්නේ සැකකරු ස්ව කැමැත්තෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු හමුවේ එය සිදු කළොත් පමණි. ඕනෑ ම අන්දමකින් ලබා ගන්නා කට උත්තරයක් පාපොච්චාරණයක් වන්නේ නැත.


1989 වර්ෂයේ සිට පාතාල කණ්‌ඩායම්වලට සම්බන්ධ වී විවිධ අපරාධවල නිරත වී ඇති බව කියන නෙළුවේ ප්‍රියන්ත සතු සුවිසල් නිවාස දෙකක්‌ වැල්ලවාය නෙළුවආර සහ බෙලිඅත්ත මැදමුලන ප්‍රදේශවල පිහිටි බව ද දිවයින වාර්තා තරයි.


මේ මැදමුලන ජනාධිපතිවරයාගේ මහගෙදර පිහිටි මැදමුලන හෝ ඒ ආසන්න ප්‍රදේශයක මැදමුලනක් නම්, ජනාධිපතිවරයා නිතර යන එන, එවැනි අධි ආරක්ෂාවක් සහිත ප්‍රදේශයක මොහුගේ නිවසක් පවත්වාගෙන ගියේ කෙසේ ද?


නෙළුවේ ප්‍රියන්ත විසින් මරා දමන ලද සියලු දෙනා ඔහුගේ ව්‍යාපාරවලට එරෙහි වූ පුද්ගලයන් බව ද ඔහු සතුව ටී 56 ගිනි අවි 11ක්‌ ඇතුළු තවත් අවි ආයුධ රාශියක්‌ තිබූ බව ද දිවයින පවසයි. ඔහුගේ ව්‍යාපාරවලට එරෙහි වූ පුද්ගලයන් ද ඇතැම් විට ඔහු මෙන් ම "මහා පරිමාණයෙන් ගංජා හේන් වගා කිරීම ඇතුළු විවිධ අපරාධවල" යෙදුණු අය වන්නට පුළුවන. එවැනි අයට ද ඔහු මරා දමන්නට උවමනාව තිබෙන්නට ඇත.


අද දිවයින මෙසේ කියයි: "දකුණු පළාත භීතියට පත් කරගෙන සිටි නෙළුවේ ප්‍රියන්ත නමැත්තා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්වීමෙන් පසු තණමල්විල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වී ඇති බව වාර්තා වේ.


නෙළුවේ ප්‍රියන්ත මරුමුවට පත්වීමෙන් පසු තමන්ට විශාල නිදහසක්‌ ලැබුණු බව කියමින් එම ප්‍රදේශවල ජනතාව පොලිස්‌ විශේෂ කාර්ය බළකායට සිය ස්‌තූතිය පුද කර ඇති බවද ආරංචි මාර්ග පවසයි.


තණමල්විල නෙළුව සූරියවැව ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව පොලිස්‌ විශේෂ කාර්ය බළකායට ස්‌තූතිය පුදකරමින් බැනර් පෝස්‌ටර් ප්‍රදර්ශනය කර ඇති බවද වාර්තා වෙයි."


අපට ඇති ප්‍රශ්න මේවා ය: හේමන්ත රන්දුණු නො කියන මෙකී ආරංචි මාර්ග මොනවා ද? මෙ රතිඤ්ඤා පත්තු කළ, පෝස්ටර් ඇලවූ තණමල්විල 'ජනතාව' ගංජා ව්‍යාපාර සමග කිසිදු සම්බන්ධයක් නැති අය ද?


දිවයින වාර්තා කරන අන්දමින් 1989 සිට 22 වසරක් දරුණු අපරාධ කරමින් නෙළුවේ ප්‍රියන්ත සැරිසරද්දී මේ රටේ පොලිසිය හිටියේ කොහි ද?


ඔහුට කිසියම් බලවත් පිරිසක් රැකවරණ සැලසුවා නම් ඒ කවුරු ද?


පාතාල අපරාධකරුවන් යයි නම් කරනු ලබන සියලු දෙනා ම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නට පෙර එක ම අන්දමින් අවසන් ගමන් යන්නේ ඇයි?


ඔවුන් එසේ අවසන් ගමන් යාමත් සමග නීතියෙන් වසන් වන රහස් මොනවා ද?


ප්‍රසිද්ධියේ ම පාතාලය සමග සම්බන්ධකම් පවත්වන හා හෙරොයින් වැනි ජාවාරම් සමග සම්බන්ධතා ඇතැයි සැකයට භාජනය වී තිබෙන මන්ත්‍රීවරුන් වැනි බලවත් පුද්ගලයන් ගැන පරීක්ෂණ නො පැවැත්වෙන්නේ ඇයි?


රටක අපරාධ මර්දනය කිරීම යනු පොලිස් අපරාධ යුක්ති යුක්ත කිරීම ද?


ජනමාධ්‍යකරුවන්ගේ කාර්ය භාරය රටක නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කිරීම ද, නැතිනම් නීති විරෝධී ක්‍රියා සාධාරණීකරණය ද?

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මරන්නෙ නැතුව බෑනෙ. ලොක්ක වෙනුවෙන් කරපුවා මූ වැමෑරුවොත්

    ReplyDelete
  2. heta thawa ekek awith oya widiyatama minissu baya karai. inna eka ona nathi unama ekawa marala thamanta ona eka dakune balawatha gani. baduth hamuduruwange natduth ehemai.

    ReplyDelete
  3. වැඩ අරගන්නවා ඊට පස්සේ ඌ දන්නදේවල් කරපු දේවල් නිසාම තර්ජනයක් වෙනවා ඊට පස්සේ පොලිස්ට් වෙඩිපහරින් මිය යනවා...

    ReplyDelete
  4. මේ තමා නීතීයේ ආධිපත්‍යය තහවුරු කරන හැටි. මේක දැන් සම්මත ක්‍රමය වෙලා ඉවරයි. මැරිච්ච එකා බරපතල අපරාධකාරයෙක් කීවම කවුරුත් කට වහ ගන්නවා. රටම මේකට දැන් පුරුදුවෙලා. මේ ක්‍රමයට අනුව අධිකරණ ඕන නැත. මිනිස්සුත් පාරේදී නඩු අහන්නේ නැතිව දඩුවම් කරන්නේ මේ නිසයි. දැන් පාර්ලිමේන්තුවක් නැත. තව ටිකක් යනකොට අධිකරණයත් නැත. දහහතර වෙනි ලුවී හිටියම ඇති. ආසියාවේ ආශ්චර්ය මෙහෙම ගියාම ගෙදරටම එනවා. ධර්ම දීපයක් වෙලා තිබුන "දිවයින" විකුණන අයට මොන ජනමාධ්‍ය ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා