මදුරු මර්දනයට ගෙන එන පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි එකක්

(2011 ජුලි 03, W3Lanka) දැඩි මුල්‍ය අර්බුදයක සිටින ලංකාවේ ආණ්ඩුව ඩෙංගු මර්දනය සඳහා අවශ්‍ය පියවර ගැනීමට අසමත් වීමේ සිය බැරිකම වසා ගැනීමට හා මදුරු මර්දන ස්ථාන පවත්වාගෙන යන්නන්ට දඩ ගැසීමේ මුවාවෙන් නව ආදායම් මාර්ගයක් සකසා ගැනීම සඳහා 2007 අංක 17 දරන මදුරුවන් බෝවීම වැලැක්වීමේ පනතේ වගන්ති 14ක් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.


නුදුරු දිනවලදී කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවේ සම්මත කැ ගැනීමට බලාපොරොත්තු වන මෙම පනත අනුව, මදුරුවන් බෝ කරන බවට පුද්ලලයන්ට චෝදනා ඉදිරිපත් කර උසාවි ගෙන ගොස් හිරේ දමන බවට බිය වද්දා එවේලේ ම රු. 2000ක දඩයක් අය කර ගත හැකි ය.


මේ ආකාරයට ඕනෑම පුද්ගලයකුට එරෙහිව දඩ ගැසීමට කරුණු සොයා ගත හැකි නිසා මෙමගින් විශාල ආදායමක් ලබා ගත හැකි වනු ඇති බව ද සෞඛ්‍ය බලධාරීන් ආණ්ඩුවට පෙන්වා දී ඇති බව වාර්තා වේ.


නව නීති අනුව, කිසිදු අනුමැතියකින් තොරව ඕනෑම අවස්ථාවක මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමේ බලතල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ කීට විද්‍යාඥයින්ට හිමි වේ. තමන්ට පළි ගැනීමට අවශ්‍ය පුද්ගලයන් මදුරු බෝ කරන්නන් ලෙස නම් කර හිරේ දැමීමේ බලය මෙම නීතිවලින් ආණ්ඩුවට ලැබේ. මන්ද, මදුරුවන් බෝ වන ස්ථානයක් ලෙස ඕනෑම වතුර රැ‍ඳෙන ස්ථානයක් නම් කළ හැකි බැවිනි.


මෙම නිලධාරීන් විසින් ලබා ගනු ලබන ඡායාරූප පුද්ගලයන්ට එරෙහිව සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට ද නව නීති අනුව හැකි ය.


දැන් සෞඛ්‍ය බලධාරීන් කලින් කළ පරිදි බී.ටී.අයි. බැක්ටීරියාව ගැන කතා කරන්නේ ම නැත. කියුබාවෙන් බී.ටී.අයි. ගෙන්වා ඩෙංගු මුළුමනින් ම තුරන් කිරීම ගැන ද බී.ටී.අයි. දේශීයව නිපදවා අඩු වියදමකින් ඩෙංගු මැඬලීම පිළිබඳව ද ආණ්ඩුව ගැසූ ඩෙංගු ටුකුටු බෙර දැන් පැලී ඇත. අන්තිමට නැටූ තොවිලෙකුත් නැත. බෙරේ පලුවකුත් නැත.


කියවීමේ සතුට පිණිස මේ ඩෙංගු ගැන ආණ්ඩුවේ පරණ පම්පෝරි කීපයකි. 



ඩෙංගු මර්දනයට කියුබාවෙන් බී. ටී. අයි බැක්ටීරියාව

ඩෙංගු වාහක මදුරු කීටයන් මර්දනය සඳහා කියුබානු තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් බී. ටී. අයි බැක්ටීරියාව මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය ආරක්ෂා හා පෝෂණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
තාක්ෂණික කමිටු වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව ටෙන්ඩර් මණ්ඩලයේ අනුමැතිය මත මෙසේ බී. ටී. අයි. බැක්ටීරියාව ගෙන්වනු ඇත.
රජය රුපියල් දසලක්ෂ 500 ක් ඩෙංගු මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදී ඇති අතර මෙයින් රුපියල් දසලක්ෂ 80 ක් බී.ටී.අයි බැක්ටීරියාව මිලදී ගැනීම සඳහා වැය කිරීමට නියමිතය.
මේ අනුව අකුරණ, මහනුවර නගර සීමාව හා ගම්පොළ කොට්ඨාශවල පළමු වටයේ දී මේ බැක්ටීරියාවෙන් ලීටර් 30000 ක් යොදාගෙන නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කැරේ. (දිනමිණ 2010 මාර්තු 08)

ඩෙංගු මර්දනයට දේශීය බී.ටී.අයි. යොදා ගැනේ



ඩෙංගු රෝග වාහක මදුරුවන් මර්දනය කිරීම සඳහා සහායක ක්‍රමවේදයක් ලෙස දේශීය වශයෙන් නිෂ්පාදිත බී.ටීී.අයි. බැක්ටීරියාව ලබන සතියේ සිට යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කැර තිබේ.
වැඩබලන සෞඛ්‍ය ඇමැති මහින්ද අමරවීර හා අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු රෝග පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා (19) සාකච්ඡාවක් පැවැත්විණි.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම දේශීය බී.ටී.අයි. බැක්ටීරියාව යොදා ගැනීමට එම රැස්වීමේදී තීරණය වී තිබේ.
ඩෙංගු රෝග වාහක මදුරුවන් මර්දනය සඳහා කියුබානු බී.ටී.අයි. බැක්ටීරියාව යොදා ගැනීමට මීට පෙර අදහස් කැර තිබූ අතර ඊට අදාළ කටයුතු ද මේ වන විට අවසන්ව තිබේ. කියුබානු රජය පසුගිය සඳුදා එකී බැක්ටීරියාව ශ්‍රී ලංකාවට එවීම සඳහා නැව් ගත කළ බවද අමාත්‍යාංශයට දන්වා ඇත.
එම බැක්ටීරියාව අඩංගු බෝතල් ශ්‍රී ලංකාවට ලැබීමට සති දෙකක පමණ කාලයක් ගත වන බැවින් එතෙක් මෙම දේශීය බී.ටී.අයි. බැක්ටීරියාව යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කැර තිබේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවට ජාතික මැලේරියා මර්දන වැඩසටහන හා ජාතික ඩෙංගු මර්දන වැඩසටහන නියෝජනය කරමින් නිලධාරීහු ද සහභාගී වූහ. (දිනමිණ 2010 අගෝස්තු 23)




මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ල0කාවේ මිනිස්සු හරි පාරට ගන්න නම් මෙවගෙ දේවල් කරන්න ඔනි. නැත්නම් කවදාකවත් හොදින් කියල කිසිදෙයක් කරන්න බැහැ. ඇයි මෙ මිනිස්සුන්ට බැරි තමන්ගෙ වටපිටාව පිරිසිදුවට තියාගන්න ???? මම නම් කියන්නෙ මේ නීති ත්වත් තද කරලා තරාතිරම / සමාජ තත්වය නොබලා ක්‍රියත්මක කරන්න ඔනි......

    ReplyDelete
  2. ඔබේ කියමනේ අන්තිම හරිය හරියටම කෙරෙනවානම් කමක් නැහැ ඒත් පුංචි මිනිහෙකුට විතරක් දඩ ගහයි. එහෙම නැතිනම් දඩ ගහනවා කියලා බය කරලා පගාව ගනී.එක උදාහරනයක් කියන්න බලන්න ලන්කාවෙ නීතිය තරාතිරම සමාජ තත්වය නොබලා ක්‍රියාත්මක වුන.කොහොම වුනත් මේක ආන්ඩුවට හොඳම ආදායම් මාර්ගයක් වෙයි.

    ReplyDelete
  3. බී ටී අයි බැක්‌ටීරියාව මෙරට නිපදවා මදුරු මර්දනයට
    යොදා ගැනීමේ තීරණයක්‌

    ඒමන්ති මාරඹේ

    මෙරට ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙල සඳහා එක්‌ කිරීමට යෝජිත කියුබාවේ නිෂ්පාදිත බී. ටී. අයි. බැක්‌ටීරියාව ඉදිරි දින 40 තුළදී මෙරටදීම නිෂ්පාදනය කර ඩෙංගු ඇතුළු මදුරු වර්ග හතරකට අයත් කීටයින් මර්දනය කිරීම සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    දැනටමත් මෙරට සමාගමක්‌ වන "බයෝ පවර් ලංකා පුද්ගලික ආයතනය" මෙම බී. ටී. අයි. බැක්‌ටීරියාව මෙරටදීම නිපදවීම ආරම්භ කර ඇති අතර ඉදිරි දින 40 තුළදී එය නිෂ්පාදනය කර අවසන් කිරීමට නියමිත බව අමාත්‍යාංශය කියයි. මෙම නිෂ්පාදන කටයුතු අවසන් වීමෙන් පසු එම බැක්‌ටීරියාව හා කියුබාවේ නිෂ්පාදිත බී. ටී. අයි බැක්‌ටීරියාව මෙරට ඩෙංගු. මැලේරියා, බරවා හා ජැපනීස්‌ එන්සෙපලයිටිස්‌ යන රෝග බෝ කරන මදුරු කීටයින් විනාශ කරලීම සඳහා යොදා ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙකු පැවසීය. මේ අතර මේ දිනවල ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු පිළිබඳ අධීක්‍ෂණය කිරීම සඳහා පැමිණ සිටින කියුබානු වසංගත රෝග විශේෂඥයින් දෙදෙනා එරට නිෂ්පාදිත බී. ටී. අයි බැක්‌ටීරියාව මෙරට ඩෙංගු මර්දන කටයුතු සඳහා යෙදවිය හැකි ආකාරය පිළිබඳ සවිස්‌තර වාර්තාවක්‌ මෙම සිකුරාදා (14 දා) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අතුල කහඳ ලියනගේ මහතා වෙත භාරදීමට නියමිතව ඇත.

    Divaina 2009-08-12

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා